උතුරේ ඉඩම්: සිලාවතුර නාවික හමුදා කඳවුර ඉවත් කරන ලෙස ඉල්ලා විරෝධතාවක්

මන්නාරම මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිලාවතුර ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් තුළ ස්ථාපනය කර ඇති නාවික හමුදා කඳවුර ඉවත් කරන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු බදාදා (පෙබරවාරි 20) සවස නාවික හමුදා කදවුර ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
විරෝධතාකරුවන් කියා සිටියේ පැවති යුදමය තත්ත්වය හේතුවෙන් 1990 වසරේදී තමන් සිලාවතුර ප්‍රදේශයේ සිය ඉඩම් අතහැර කල්පිටිය ප්‍රදේශයේ අවතැන් කදවුරු වෙත ගොස් ජිවත් වූ බවය.
එහෙත් යුද සමයේදී සිය මුල් ඉඩම් අත්පත් කරගත් නාවික හමුදාව එහි කදවුරක් ඉදි කළ බව පවසන විරෝධතාකරුවෝ යුද ගැටුම් නිමාවීමෙන් අනතුරුව සිය පදිංචිය සොයා පැමිණි නමුත් තමන්ට සිය මුල් ඉඩම් අහිමි වී ඇති බවට මැසිවිලි නගති.
2009 වසරේ යුද්ධය නිමා වුවත් සිය මුල් ඉඩම් අහිමි වීම හේතුවෙන් තමන් නැවත වතාවක් අවතැන්ව මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචිව සිටින බව ප්‍රදේශවාසීහු පවසති.
ඒ සම්බන්ධයෙන් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා බීබීසී සිංහල සේවය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
කෙසේ නමුත් 2015 වසරෙන් පසු ආරක්ෂක අංශ යටතේ පැවති උතුරේ ඉඩම් මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අවස්ථා ගණනාවක දී කටයුතු කර තිබේ.
විරෝධතාව පැවතියේ සිලාවතුර නාවික හමුදා කඳවුර ඉදිරිපිටදීය
එමෙන්ම ආරක්ෂක හමුදා විසින් උතුරේ කිසිදු ප්‍රදේශයක අලුතෙන් ඉඩම් අත්පත් කර නොගන්නා බව ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කරුණාසේන හෙට්ටිආරච්චි 2016 වසරේදී පැවසීය.
විරෝධතාව සඳහා එක් වූ ප්‍රදේශවාසීන් පවසන පරිදි මුල් පදිංචිකරුවන්ට අයත් ඉඩම් අක්කර 35 ක් නාවික හමුදා කඳවුර සඳහා පවරා ගනු ලැබ ඇත.
ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ අදාළ ස්ථානයේ පවතින නාවික හමුදා කදවුර ඉවත් කොට තමන්ගේ මුල් ඉඩම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් මන්නාරම දිස්ත්‍රික් ලේකම් සහ මුසලි ප්‍රාදේශීය ලේකම් ඇතුළු බලධාරීන් වෙත ලිඛිත ඉල්ලීම් ඉදිරිපත් කොට ඇතත් මේ දක්වා තමන් වෙත යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවය.
වර්තමානයේ ආරක්ෂක අංශ සතුව පවතින උතුරු නැගෙනහිර සිවිල් ජනතාවගේ ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක වුවත් මේ දක්වා තමන්ට සාධාරණයක් ඉටු වී නොමැති බව ප්‍රදේශවාසීහු පවසති.
විරෝධතාවේ නිරත වූ පිරිසෙන් කොටසක්
ශ්‍රී ලංකා සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය පවසන පරිදි එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කර දස වසරකට ආසන්න කාලයක් ගත වී ඇතත් ගැටුම් පැවති ප්‍රදේශවලට අයත් පෞද්ගලික ඉඩම් අක්කර 4,241ක් තවමත් හමුදාව යටතේ පවතී.
මුල් ඉඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා සිවිල් විරෝධතා රැසක් උතුරේ තවමත් ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා යුද හමුදාව දැනට පරිහරණය කරමින් තිබෙන, මහජනයාට අයත්, නිදහස් කළ හැකි ඉඩම් ඔවුන් වෙත ලබා දෙමින් පවතින බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.
ආරක්ෂක සහ උපාය මාර්ගික වැදගත්කම හේතුවෙන් ඇතැම් ඉඩම්වලින් ඉවත්වීම අපහසු බව ආරක්ෂක හමුදා පවසයි.
නාවික හමුදාව යටතේ තිබූ දූපතක් යළි අත්පත් කර ගැනීම සඳහා සාමාන්‍ය වැසියන් දියත් කළ මෙහෙයුමක් පිළිබඳ මීට දින කිහිපයකට ඉහතදී බීබීසී පුවත් සේවය වාර්තා කළේය.