රත්ගම පැහැරගැනීම: ව්‍යාපාරිකයින් දෙදෙනා මරා පුළුස්සා දමා ඇති බවට සැකයක්

ඝාතනය කර පුළුස්සා දමා ඇති බවට සැක

රත්ගම බූස්ස රත්නඋදාගමදි පැහැර ගෙන ගොස් ඝාතනය කරන ලද බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු වලස්මුල්ල කණුමුල්දෙණිය රක්ෂිතයේදී පුළුස්සා දමා ඇතිබවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.

වලස්මුල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිකුරාදා (පෙබරවාරි 22) එම ස්ථානය පරීක්ෂාවට ලක් කළේය.

එම පුද්ගලයින් දෙදෙනා අක්මිමණ ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී ඝාතනය කර ඇති බවට සැක කෙරෙන බව වාර්තාකරුවෝ පවසති.

ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් බ්‍රහස්පතින්දා (පෙබරවාරි 21) එම නිවස පරික්ෂාකරනු ලැබූ අතර, කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනී එල් එච් සමාධි ද එම අවස්ථාවට සහභාගි විය.

පැහැරගත් දෙදෙනා ඝාතනය කරන ලද බවට සැක කෙරෙන මෙම නිවස ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ කිලෝ මිටර් 12 ක් පමණ දුරින් ගොනාමුල්ල ප්‍රදේශයේ කන්දක් උඩ හුදෙකලා ස්ථානයක පිහිටා තිබේ.

මෙම නිවසේ පදිංචිකරු ප්‍රධාන මාර්ගය අසළ වෙළඳසලක් පවත්වා ගෙන යන පුද්ගලයෙකු වන අතර, ඔහු දකුණු පළාත් අපරාධ විශේෂ විමර්ශණ ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්තගේ සමිපතම මිතුරෙකු බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පොලිස් පරික්ෂක දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටියි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඝාතන සිදු වුවා යැයි සැකකෙරෙන නිවස

තමා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් පොලිස් පරීක්ෂකවරයා පැමිණ තමාගෙන් නිවසේ යතුර ඉල්ලාගෙන ගිය බවත් නිවෙස් හිමියා හෙළිකර තිබේ.

සිරිත් පරිදි එදින සවස තමා නිවසට ගිය බවත් මිනි මැරුමක සළකුණු නොතිබූ බවත් පරීක්ෂණ පවත්වන නිලධාරීන් හමුවේ ඔහු තවදුරටත් පැවසීය.

මෙතෙක් කරන ලද පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ එම නිවස අසළ ජීවත්වන වෙනත් ව්‍යාපාරිකයෙකුගේ සුඛෝපභෝගී වෑන් රථයකින් මෙම දෙදෙනා පැහැරගෙන ගොස් වෙනත් කැබ් රථයකට නංවාගෙන අදාළ නිවසට ගෙන ගොස් මරාදමා ඇති බවය.

මෙම තොරතුරුත් කියවන්න:

පසුව මළ සිරුරු වලස්මුල්ල ප්‍රදේශයේ ස්ථානයකට ගෙන ගොස් විනාශ කර ඇති බවට සැකකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර සඳහන් කළේය.

ඉකුත් ජනවාරි 23වන දින පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමින් ගිනි අවි රැගෙන පැමිණි පිරිසක් මෙසේ පැහැරගෙන ගොස් අතුරුදන් කර ඇත්තේ රත්ගම පොලිස් වසමේ බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි කොස්ම රසික් චින්තක සහ අසේල මංජුල කුමාර නමැති දෙදෙනෙකි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මහේස්ත්‍රාත්වරයා අද (පෙබ 22) ඝාතන සිදුවුවා යැයි සැකකෙරෙන නිවසට පැමිණියේය

මේ සම්බන්ධයෙන් පසුගිය සඳුදා අත්අඩංගුවට ගනු ලැබූ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ පොලිස් පරික්ෂක කපිල නිශාන්ත ද සිල්වා 28 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

මේ අතර සිකුරාදා උදෑසන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද එම ඒකකයේ උප පොලිස් පරික්ෂක එච් ජී විරාජ් මධුසංඛ පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම සිද්ධිය පිළිබඳව පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන අතර, එක් පොලිස් කණ්ඩායමක් විසින් මෙම පැහැර ගැනීමට යොදා ගෙන ඇති බවට සැකකෙරෙන සුඛෝපභෝගි වෑන් රථය අක්මීමණ පොලිස් වසමේ ගොනාමුල්ලේ වෙනත් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබියදි සොයාගෙන ඇත.

පැහැර ගැනිමෙන් දින දෙකකට පසු පැමිණි පිරිසක් වෑන් රථය හිමිකරුගේ නිවසේ ආරක්ෂිත කැමරාවේ ඩී වී ආර් කොටස ගලවා ගෙන ගොස් ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.