උතුරු පළාතේ හර්තාලයක් හා අතුරුදහන්වූවන්ගේ ගැටළුවට විසදුම් ඉල්ලා විරෝධතා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ජිනීවා නුවරදී සිය 40 වෙනි සැසිවාරය ආරම්භ කරන අතරවාරයේ, ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස සහ මියගිය ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටිමින් සඳුදා (පෙබරවාරි 25) උතුරු පළාතේ හර්තාලයක් කැඳවා තිබිණ.

මානව හිමිකම් මණ්ඩලයේ මේ වසරේ සැසි වාරය ආරම්භ කිරීමට සමගාමීව මෙම හර්තාලය කැඳවන ලද බව අතුරුදහන්වූවන්ගේ ඥාතීහු පැවසූහ.

"අද උතුරේ කට්ටිය ඔක්කෝම කඩ වහලා තිබෙන්නේ. මොකවත් නෙවෙයි, මැරිච්ච අය සිහි කරන දිනයක් විදියට හිතලා තමයි කඩ වහලා තිබෙන්නේ. යාපනය, මන්නාරම, කිලිනොච්චිය මේ ලයින් එකේ ඔක්කෝම කඩ වහලා තිබෙනවා," යනුවෙන් උතුරු පළාතේ ක්‍රියාත්මක වන හර්තාල් වැඩසටහන ගැන එස් රත්නකුමරන් විස්තර කළේය.

"අද දවසම එහෙම තමයි. හෙට තමයි මේ ඔක්කෝම අරින්නේ. අද වවුනියාව ටවුමේ ඇරලා තිබෙන්නේ මේ පත්තර කඩේ විතරයි. තේ එකක් බොන්නවත් නෑ එක කඩයක්වත්. මැරිච්ච කට්ටිය හා නැතිවුණ කට්ටිය සිහි කිරීමක් තමයි කරන්නේ."

ඔහු පැවසූ පරිදිම හර්තාලයට සහයෝගය පළ කරමින් යාපනය, වවුනියාව, කිලිනොච්චිය, මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික් වෙළඳ සංගම් සිය වෙළඳ සැල් වසා දමා තිබූ අතර, හර්තාලය හේතුවෙන් උතුරු පළාතේ නගරාශ්‍රිත පාසල් වෙත ළමුන් නොපැමිණි ආකාරයක් ද දක්නට ලැබිණ.

හර්තාල් වැඩසටහනට සමගාමීව උතුරු පළාතේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා යුද්ධයෙන් මියගිය පිරිසගේ ඥාතීන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ විරෝධතා වැඩසටහනක් පැවැත්වූ අතර, විරෝධතාවයට එක්වූවන් පැවසූවේ අතුරුදහන්වූවන් වෙනුවෙන් රජය මැදිහත් වී කුමක් කර ඇත්දැයි සඳහන් කළ යුතු බවය.

"මගේ මහත්තයා"

විරෝධතාවයට එක් වූ උතුරු පළාත් හිටපු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ආනන්දි සෂිදරන් අදහස් දක්වමින්, "මගේ මහත්තයා යුද්දේ අවසන් දවස්වල සාක්ෂි සහිතව ආරක්ෂක අංශ වෙත භාරදුන්නා. ඒත් යුද්දේ ඉවරවෙලා දැන් අවුරුදු 10 ක් ගතවෙනවා මගේ මහත්තයා ගැන කිසිම සඳහනක් නෑ," යනුවෙන් කියා සිටියාය.

"මේ ගැන ඇහුවාට රජය මේ ගැන කිසිම තොරතුරක් දෙන්නේ නෑ. මම මගේ මහත්තයාගේ ගැටළුව ගැන හා උතුරු පළාතේ අනෙකුත් අතුරුදහන්වූවන්ගේ ගැටළුව ගැන ජිනීවා මානව හිමිකම් කමිටුවට පවා සඳහන් කරලා තිබෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සලයේදී මේ ගැන ශ්‍රී ලංකා රජයට කරුණු දක්වන්න කියලා තිබෙනවා. ඒත් රජය මේ අතුරුදහන්වූවන්ගේ ගැටළුව ගැන හා යුද සමයේ සිදු වූ යුද අපරාධ ගැන කිසිම පරීක්ෂණයක් පවත්වන්නේ නෑ."

මේ ගැටළුවට විසඳුම් ලබාදෙන මෙන් මානව හිමිකම් කවුන්සලයේ සැසිය ආරම්භයේදීම යළිත් වරක් ඉල්ලීමක් ඉදිරිපත් කරන බවත් ඇය කියා සිටියාය.

"ඒ වෙනුවෙන් අපි උතුරු පළාතේ හර්තාලයක් කැඳවලා තිබෙනවා. ඊට සමගාමීව උතුරු පළාතේ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද(25) කිලිනොච්චියේදී විරෝධතාවයක් පවත්වනවා. අපි ඉල්ලන්නේ ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා ‍අතුරුදහන්වූවන්ගේ ගැටළුවට හා යුද සමයේ සිදු වූ යුද අපරාධ වෙනුවෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියලා," යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මේ අතර සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබුණේ, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා කිසිදු යුද අපරාධයක් සිදු නොකළේය යන්න සිය ස්ථාවරය බවය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ද සම අනුග්‍රහයෙන් මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරනු ලැබ තිබෙන 30/1 දරන යෝජනාවෙන් ඉවත්වීම ගැන සිය අවධානය පළ වී තිබෙන බව ද ජනාධිපතිවරයා පවසා තිබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර