පොලිස් වධ හිංසා: "බොරු වාර්තා ලබා දෙන වෛද්‍යවරුන්ට එරෙහිව පියවර ගත යුතුයි"

Image copyright Getty Images

යම්කිසි අපරාධයකට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු නීත්‍යනුකූලව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට බලයක් තිබේ.

නමුත් නීතියට පරිබාහිරව ඇතැම් පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලැබූ සහ ඔවුන් දරුණු ලෙස වධ හිංසාවට ලක් කරන ලද අවස්ථා දුර්ලභ නොවේ. ඒ ආකාරයේ වධ හිංසාවට ලක් වූ ඇතැම් පුද්ගලයන් මරණයට පත් වූ අවස්ථා ද ඇත.

එවැනි සිදුවීමක් පසුගිය දා ගාල්ල, රත්ගම ප්‍රදේශයෙන් වාර්තා විය. අත්අඩංගුවට ගත් බව පැවසෙන රසින් චින්තක සහ මංජුල සම්පත් යන සැකකරුවන් දෙදෙනාට පහර දී, වධ හිංසා කර, ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එමෙන් ම චෝදනා ලැබ සිටින තවත් පොලිස් කොස්තාපල්වරු පස් දෙනෙකු තවමත් සැඟව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර පවසයි. ඔවුන්ට විදෙස්ගත වීම තහනම් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙබරවාරි 27 වන දා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද ලබා ගෙන තිබේ.

Image caption එක් දරු පියෙකු වූ රසින් චින්තකගේ බිරිඳ ගැබිනියක්

ඇතැම් පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම්, වධ හිංසා කිරීම් සහ ඝාතනවල ඉතිහාසය බලන විට බොහෝ අවස්ථාවල එවැනි අපරාධ සිදු වී ඇත්තේ පෞද්ගලික සබඳතා මත නිල ඇඳුම අයුතු ලෙස භාවිත කිරීමෙන් බව විශ්වාස කිරීමට බොහෝ හේතු තිබේ.

ප්‍රබල දේශපාලනඥයන් සමග පවතින සමීප සබඳතා හෝ ධන බලය පමණක් නොව කාන්තාවන් මුල් කර ගනිමින් සිදු කළ අපරාධ ද ඒ අතර වේ.

පොලිස් වධ හිංසාවල ඉතිහාසය

2009 වසරේ අගෝස්තු 13 වන දා අඟුලාන පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තරුණයන් දෙදෙනෙකු ඝාතනය කිරීම ඊට උදාහරණයකි.

අඟුලාන පොදු ජන විද්‍යාලය අසලදී කාන්තාවකට උසුළු කළ බව පැවසුණු තරුණයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබූ අතර වධ හිංසා පමුණුවා ඔවුන් ඝාතනය කර තිබිණි. ඒ සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ස්ථානාධිපතිවරයෙකු වු වීකී නිව්ටන් ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට 2011 අගෝස්තු 25 වන දා කොළඹ මහාධිකරණයේදී මරණ දඬුවම නියම විය. එම නඩු විභාගයේදී අනාවරණය වූයේ පැමිණිල්ල කළ කාන්තාව සමග තිබූ හිතවත්කමක් මත පොලිස් නිලධාරීන් ඒ සඳහා යොමු වී ඇති බවය.

Image caption මංජුල සම්පත්ගේ දරුවන් තිදෙනා

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, ආචාර්ය නෙරංජි විජේවර්ධන බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අත්අඩංගුවට ගනු ලබන ඕනෑම පුද්ගලයෙකුට පහරදීමට පොලිස් නිලධාරීන්ට අයිතියක් නොමැති බවය.

පොලිසිය විසින් ඇතැම් අවස්ථාවල අත්අඩංගුවට ගනු ලබන්නේ සැබෑ අපරාධකරුවන් නොවන බව ඇය කියා සිටියේ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කළ අත්අඩංගුවට ගැනීම් නිදසුනක් ලෙස සඳහන් කරමිනි.

"අධිකරණයකින් වැරදිකරු ද නිවැරදිකරු ද කියලා තීරණය කරන තුරු සියලු දෙනාම නිවැරැදිකරුවන් ලෙසයි සලකන්නේ. පොලීසිය දක්ෂ විය යුත්තේ ගහලා මිනිස්සුන්ගෙන් තොරතුරු දැන ගැනීමට නොවෙයි, විමර්ශන කරලා වැරදිකරුවන් හඳුනාගන්නයි," ආචාර්ය නෙරංජි විජේවර්ධන පෙන්වා දෙයි.

අපරාධය වූ ස්ථානය සහ වින්දිතයන් මෙන් ම සැකකරුවන් ආරක්ෂා කිරීමට දියුණු රටවල පොලිස් නිලධාරීන් ප්‍රමුඛත්වය ලබා දෙන බව කී ආචාර්යවරිය ශ්‍රී ලංකාව තුළ විමර්ශනවලට අදාළ බොහෝ කරුණු ක්ෂණිකව මාධ්‍ය ඔස්සේ පළවන බැවින් සාක්ෂි ලබා දීමට ජනතාව මැලි කමක් දක්වන බව සඳහන් කරයි.

Image copyright Neranji Wijewardhana/Facebook
Image caption ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, ආචාර්ය නෙරංජි විජේවර්ධන

"ලිංගේන්ද්‍රයේ කොච්චි තවරලා"

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනුගමනය කරන "හිංසාකාරී ක්‍රමවේද" කාලයත් සමග වෙනස් වී ඇති බව පොලිස් වධ හිංසාවලට ලක්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් වන ජන සංසදය පවසයි.

"ඉස්සර තමයි දෙකේ දෙකේ පොලුවලින් ගැහුවේ. දැන් එහෙම සාක්ෂි ඉතුරු කරන්නේ නැහැ. අපට දැන් බොහෝවිට පැමිණිලි එන්නේ ඔළුවට පොත් තියලා ගැහුවා, රබර් හෝස්වලින් ගැහුවා කියලා," ජන සංසදයේ ලේකම් චිත්‍රාල් පෙරේරා කියා සිටියේය.

සැකකරුවන් බාල්කවල එල්ලීම, පුටු මේස ආදියට තබා මාංචු දමා පහර දීම මෙන් ම නිරුවත්කර පහර දුන් අවස්ථා පිළිබඳව ද පොලිසියට චෝදනා එල්ල වී තිබේ.

"සමහර මිනිස්සුන්ව නිරුවත් කරලා සංවේදී ස්ථානවල කොච්චි තවරනව කියලා අපිට පැමිණිලි ලැබිල තිබෙනවා. ඇස්, නහය, කට, ලිංගේන්ද්‍රය සහ ගුද මාර්ගවල වගේ තැන්වල කොච්චි තවරලා ඊට පස්සේ නාවන බවට චෝදනා එල්ල වී තිබෙනවා," යනුවෙන් චිත්‍රාල් පෙරේරා කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

පැමිණිලිකරුගේ ස්වභාවය සහ අත්අඩංගුවට පත් පුද්ගලයා පොලිස් නිලධාරීන්ට දක්වන ප්‍රතිචාර මත වධ හිංසාවේ ප්‍රමාණය තීරණය විය හැක. එය කායික වධ හිංසාවක්, මානසික වධ හිංසාවක් හෝ අවමන්සහගත සැලකිල්ලක් වීමට ඉඩ ඇත.

ඇතැම් වෛද්‍යවරුන්ටත් චෝදනා

පොලිස් නිධාරියෙකු විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවක පැය 24 ක් හෝ සාධාරණ කාලයක් තුළ මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කළ යුතුය. එහෙත් ඇතැම් පුද්ගලයන් දින ගණනාවක් රඳවා තබා ගත් බවට පොලිසියට චෝදනා එල්ල වේ.

එවන් අවස්ථාවක ලේඛන සහ ව්‍යාජ වාර්තා සැකසීම ද ඇතැම් පොලිස් නිලධාරීන්ට එල්ල වන චෝදනාවකි. පොලිස් නිලධාරීන් පමණක් නොව වෛද්‍යවරුන් වැනි වෙනත් වෘත්තිකයන් වෙත ද එවැනි චෝදනා එල්ල වේ.

වැලිපැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකුට වධ හිංසා කළ බව පවසමින් ගොනු කළ SC.FR.NO 378/2010 මූලික අයිතිවාසිකම් නඩුව ඊට නිදසුනකි.

2010 මැයි 26 වන දා වැලිපැන්න පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද එගොඩවත්තගේ රුවන් නිරෝෂන් නඩු විභාගයේදී කියා සිටියේ, රන් මාලයක් කඩා ගෙන යාම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තමන්ට දෑතේ මහපට ඇඟිලි බැඳ, බාල්කයක එල්ලා දින තුනක් පහර දුන් බවය.

දින හතරක් පොලීසියේ රඳවා සිටි තමන්ට සිය මව්පියන් හමුවීමට අවස්ථාවක් ලබා නොදුන් බව ද ඔහු අධිකරණය හමුවේ පවසා තිබිණි.

එම තරුණයා පළමුව පරීක්ෂාවට ලක් කළ වෛද්‍යවරිය නිකුත් කළ වෛද්‍ය වාර්තාවේ දැක්වුණේ, ඔහුගේ ශරීරයේ තුවාල නොමැති බවය. ඇප ලබා පැමිණි පසු ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත වූ අවස්ථාවේදී අධිකරණ වෛද්‍ය නිලධාරියා නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව ඔහුගේ ශරීරයේ ඇති තුවාල ගණන දෙකකි. එයින් ද සෑහීමකට පත් විය නොහැකි නිසා රුවන් නිරෝෂන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසු කොළඹ විශේෂඥ වෛද්‍යවරයෙකු ඔහු පරීක්ෂා කළ අතර එම වාර්තාව ද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එහි දැක්වෙන්නේ ඔහුගේ ශරීරයේ තුවාල දහයක් ඇති බවය.

"මේ සිද්ධියේදී නිරෝෂන්ට වධ හිංසා කළ පොලිස් නිලධාරීන්ට දඬුවමක් ලැබුණා. ඒ වගේ ම පරස්පර වෛද්‍ය වාර්තා ඉදිරිපත් වීම ගැනත් අදාළ අංශවලින් පරීක්ෂණයක් කෙරුණා නම් හොඳයි. පොලිස් වධ හිංසා නතර කරන්න වැරදි කරන පොලිස් නිලධාරින්ට විතරක් දඬුවම් කරල මදි," යනුවෙන් ද චිත්‍රාල් පෙරේරා කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

Image caption ජනසංසදයේ ලේකම් චිත්‍රාල් පෙරේරා

පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ හිමිකම් ආරක්ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියා කරන බවය.

ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

පොලිස් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන් ම දක්වා ඇති පරිදි පොලිස් අත්අඩංගුවේ සිටින තැනැත්තන්ගේ හිමිකම් මෙසේය:

  • ඔබ කිසි විටෙක වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොකළ යුතුය
  • ඔබට නීතියේ රැකවරණය සර්ව සාධාරණව හිමි විය යුතුය
  • ඔබ ශාරීරික හෝ මානසික වධහිංසාවකට යටත් කළ නොහැකිය
  • නීතියේ සඳහන් පරිදි මිස කිසි ම තැනැත්තෙකු අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීම කළ නොහැකිය
  • අත්අඩංගුවට ගෙන පැය 24ක් හෝ සාධාරණ කාලයක් තුළ මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඔබව ඉදිරිපත් කළ යුතුය.
  • අත්අඩංගුවට ගැනීමේ හේතුව ඔබට දැනුම් දිය යුතුය
  • අත්අඩංගුවට ගෙන ඇති විට ඔබව අවමානයට භාජනය නොකළ යුතුය
  • ඔබ කාන්තාවක නම්, රඳවා තබා ගැනිමේදී කාන්තාවන් භාරයේ තබන ලෙස ද ඔබට ඉල්ලීම් කළ හැකිය
  • ඔබ කාන්තාවක් නම් සෝදිසි කිරිම විනීතභාවය ඇති ස්ත්‍රියක් විසින් කරවන ලෙසට ඔබට ඉල්ලා සිටිය හැකිය
  • නීතිඥ සහය ලබා ගැනීමට හැකියාව ඇති බැවින්, ඊට අවස්ථාව ලබා ගත හැකිය
  • ඥාතීන්ට දැනුම් දෙන ලෙස ඉල්ලීම් කළ හැකිය.
  • අපරාධ විමර්ශන කටයුතුවලට බාධා නොවන පරිදි ඔබගේ කිට්ටු ම ඥාතීන්, ලේ නෑයින් මුණ ගැසීමට අවස්ථාව ලබා ගත හැකිය
  • ළඟ ම ඥාතීන් සමග පණිවුඩ හුවවමාරු කර ගැනීමට ඔබට නිදහස ඇති බැවින්, අපරාධ විමර්ශන කටයුතුවලට බාධා නොවන පරිදි ඒ පිළිබඳව පහසුකම් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත

එමෙන් ම වධ හිංසාවකදී මහේස්ත්‍රාත්වරයාට හෝ උසස් පොලිස් නිලධාරීන්ට හෝ දැනුම් දීමට, වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරවන ලෙස ඉල්ලීම් කිරීමට ඔබට හිමිකමක් ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Image copyright Getty Images/BBC

ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම (2017-2021) අනුව පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් කෲර වධ හිංසාවට ලක්වූ විට සාධාරණය ඉටු කර ගැනීම සඳහා පහත සඳහන් බලධාරීන් දැනුවත් කළ හැක.

  • දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරී
  • කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී / පොලිස් අධිකාරී
  • දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති
  • පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
  • ඊට අමතරව පොලිස් මූලස්ථානයට පැමිණිලි කිරීමේ හැකියාව ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසන්නේ, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම, සිර භාරයේ තබා ගැනීම සහ වධ හිංසාවට ලක් වීම වැළැක්වීම සඳහා 1996 ක්ෂණික ඇමතුම් අංකයට ද තොරතුරු දැනුම් දිය හැකි බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්