මිලියන 13,000 ක වියදමින් සියලු දෙනාටම 'ඊ-හෙල්ත්' කාඩ්පත් - සෞඛ්‍ය ඇමති

Image caption ඊ කාඩ්පත් සහිත කවර

"කලින් භාවිතා කළේ අපි යන්නේ කොයි පාරේ කාල්මාක්ස් ගිය පාරේ කියලයි. නමුත් වර්තමානයේ අපි යන්නේ කොයි පාරේ සකර්බර්ග් (ෆේස්බුක් නිර්මාතෘ) ගිය පාරේ කියලයි භාවිතා වන්නේ."

සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මෙම වැකිය පැවසුවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ඩිජිටල් සෞඛ්‍ය සේවාවක් බවට පත්කිරීම ගැන සඳහන් කරමිනි.

තාක්ෂණයේ දියුණුව සමග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ද ඩිජිටල් සෞඛ්‍ය සේවාවක් බවට පත්කිරීමේ වැඩකටයුතු දැන් ආරම්භවී තිබේ.

ශ්‍රී ලංකාවේ සියලු රෝහල් සහ ඖෂධ බෙදා හැරීම පරිගණක ගත කිරීම තුළින් ආරම්භ වූ මෙම පියවරේ ඊළඟ අංගය වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම අනන්‍ය වූ හඳුනාගැනීමේ අංකයක් සහිත පුද්ගල සෞඛ්‍ය වාර්තාවක් ඇතුළත් 'ඊ-හෙල්ත්' කාඩ්පත හඳුන්වාදීමය.

මෙහි නියමු ව්‍යාපෘතිය පසුගිය සතියේ කළුතර මහ රෝහලෙන් ආරම්භ විය. එහිදී ප්‍රකාශ වූයේ ඉදිරි මාස 6 තුළ ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම තම සෞඛ්‍ය තොරතුරු ඇතුළත් කාඩ් පතක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදෙන බවය.

"කාඩ් එකක් ලැබුණා, නම ගම දාන තොරතුරු තමයි පේන්න තියෙන්නේ. අපිට කිව්වා ආයේ ඉස්පිරිතාලෙට එනකොට ගේන්න කියලා" තමන්ට ලැබුණු ඊ-හෙල්ත් කාඩ් පත ගැන අදහස් දැක්වූ කළුතර ප්‍රදේශයේ පදිංචි පි.ඩබ්ලිව් මල්ලිකා කියා සිටියාය.

තමන්ට ලැබුණු කාඩ්පත ගැන එතරම් තොරතුරක් ඇය සතු නොවීය. "ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ, අපේ සෞඛ්‍ය ඇමතිතුමාගේ පින්තුර තියෙන කවරෙක දාලා දුන්නේ" ඇය සිනාසෙමින් කියා සිටියාය.

මොකක්ද මේ ඊ-හෙල්ත් කාඩ්පත ?

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම අනන්‍ය වූ පුද්ගල සෞඛ්‍ය වාර්තාවක් සකස් කර සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම ඊ-හෙල්ත් කාඩ් ක්‍රමයේ අරමුණ වී තිබේ.

"යම් වෙලාවක සිහි නැති වෙලා රෝගියා ගෙනිච්චත් වෛද්‍යවරුන්ට පහසුවෙන් මේ කාඩ් එක මගින් තොරතුරැ ගන්න පුළුවන් රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන. මේ කාඩ්පත මැෂින් එකට ගැහුවම සියලු සෞඛ්‍ය තොරතුරු එනවා. එතකොට ප්‍රතිකාර කරන්න පහසුයි." සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

"මේ පුද්ගලයා දියවැඩියා රෝගියෙක්ද, හදවත් රෝගියෙක්ද, බෙහෙත්වලට අසාත්මිකතා මොනවහරි තියෙනවද වගේ කරුණු මේකෙන් ඉක්මනින් දැන ගන්න පුළුවන්"

"හදිසි අනතුරු අංශයට සිහිසුන්ව එන රෝගීන් ඔවුන්ගේ දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් නොදැන කරන ප්‍රතිකාර හේතුවෙන් මරණ පවා ඇතිවී තිබෙනවා. මේ තත්වයන් ඉදිරියේදී වළක්වාගත හැකියි" ඔහු කියා සිටියේය.

පෞද්ගලික සායන සහ පෞද්ගලික රෝහල්වලට ද ඊ-හෙල්ත් කාඩ්පත ලබාදීමෙන් ප්‍රතිකාර සේවා ලබාගැනීමට හැකිවන පරිදි එය නිර්මාණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

"ඊ-හෙල්ත් කාඩ්පත ලංකාවට හදුන්වාදීම සදහා රුපියල් මිලියන 13,000 ක් වැය කරනවා. නෙදර්ලන්තය මේ සඳහා සහන ණය මුදලක් ලබාදෙනවා. ඊ-හෙල්ත් කාඩ්පත ලබා දීම ජර්මනියේ ආරම්භ වුයේ පසුගිය ජුනි මාසයේදී. නමුත් මාස 06 ක් තුළ මිලියන 21 ක් වූ ජනතාවට ඊ- හෙල්ත් කාඩ්පත නිකුත් කරන ප්‍රථම රට ශ්‍රී ලංකාවයි. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හැදුනුම්පත් නිකුත් කර ඇති මිලියන 05 කට අධික ජනතාවට කඩිනමින් මෙම කාඩ්පත නිකුත් කිරීමට අපි පියවර ගන්නවා. දරුවන්ට පවා කාඩ්පත ලබාදෙනවා" රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේය.

ජනතාවගේ දත්ත ලබාගැනීම

මෙම ව්‍යාපෘතිය ගැන අසන බොහෝ දෙනා අතර ඇති ප්‍රශ්නයක් වන්නේ මෙම කාඩ්පතට දත්ත ලබාගන්නේ කෙසේද යන්නය.

ශ්‍රී ලංකාවේ සිටින මිලියන 21ක ජනතාවගේ සෞඛය තොරතුරු මාස 6 කින් ලබාගැනීම පහසු කාර්යක් නොවන බව පැහැදිලිය.

බීබීසි සිංහල සේවය මේ ගැන මෙම ව්‍යාපෘතියට සම්බන්ධ අධ්‍යක්ෂවරයකුගෙන් කරුණු විමසු විට ඔහු පැවසුවේ පළමු අදියරය වශයෙන් මෑතකදී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව ඇති මිලියන 5ක් පමණ වන ජනතාවගේ ඉලෙක්ට්‍රෝනික ලෙස ගබඩා කර ඇති දත්ත මේ සඳහා යොදාගැනීමට කටයුතු කරන බවය.

"අපි මේ කාඩ් එක ලබාදීලා බලාපොරොත්තු වෙනවා ජනතාවට කියන්න රෝහලට ඇවිල්ලා ඒකට අදාළ සෞඛය තොරතුරු ඇතුළත් කරගන්න කියලා, ලක්ෂ 210කටම මේ කාඩ් එක ලබාදීම පහසු කාර්යක් නෙවෙයි. දැන් සාකච්ඡා පැවැත්වෙනවා මේක කරන්නේ කොහොමද කියලා" අදාළ අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

මේ දත්ත ආරක්ෂිතද?

Image caption සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

"තොරතුරු බෙදා ගැනීමත් රහස්‍යභාවයෙන් යුතුව රෝගීන් ආරක්ෂා කිරීමත් වැදගත්"

මෙය එංගලන්ත සෞඛය සේවයේ ප්‍රධාන මුලධර්ම වලින් එකකි. ශ්‍රී ලංකාවේ සැකසෙන මෙම සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය මගින් පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බවට සහතිකයක් දිය හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි.

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15ට වැඩි, මිලියන 16.5ක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ දත්ත සහිතව සැකසෙන ජාතික පුද්ගල නාම ලේඛනය මගින්ද පෞද්ගලිකත්වයට දැඩි හානි ගෙන දෙන බවට චෝදනා එල්ල විය.

"අපේ ජනාධිපතිගේ වෙබ් අඩවිය පාසල් ළමයෙක් හැක් කරලා සෙල්ලම් කළා. දැන් එහෙම දෙයක් කළොත් අපේ සියලු තොරතුරු එළියට යනවා. තියෙන වාහනද, ඉඩම්ද, පවුලේ අය කවුද කියන එක වගේ ඔක්කොම" ජාතික පුද්ගල නාමලේඛනයක ගැන බීබීසි සිංහල සේවයට ඒ අවස්ථාවේ අදහස් දැක්වූ සමාජ ක්‍රියාකාරිකයකු වන රවී රත්නසභාපති කියා සිටියේය.

හැක් කිරීමක් මගින් හෝ නැතිනම් මෙම දත්ත පරිශීලනය කරන පුද්ගලයන් තොරතුරු අවභාවිතා කිරීමක් මගින් තොරතුරැ පිටතට යාමේ හැකියාවක් ගැන පළවන මතය ගැන බීබීසි සිංහල සේවය අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් කරුණු විමසුවේය.

දත්ත ආරක්ෂණ නීතිය

"මේ කාඩ්පතෙන් තොරතුරු ගන්න හැමෝටම බැහැ. ඒ සඳහා විශේෂ ඇප් එකක් තියෙනවා, ඒක ලබාදෙන්නේ ඒ සඳහා අවසර තියෙන වෛද්‍යවරුන්ට විතරයි. කාඩ් හිමියාගේ අවසරය තිබුණොත් විතරයි වෛද්‍යවරයට තොරතුරු බලන්න පුළුවන්. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ මේ ආකරයට මිලියන 40කට කාඩ් පත් දීලා තියෙනවා. ඒ අත්දැකීම් ඇති සමාගමත් මේ ව්‍යාපෘතියට සම්බන්ධ වෙනවා, පුද්ගලිකත්වය ආරක්ෂාවෙන විදිහට ජාත්‍යන්තරය භාවිතා කරන සියළු සම්මතයන් මේකේ භාවිතයට ගන්නවා" සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

පර්යේෂණ කණ්ඩායමක් වන ලර්න් ඒෂීයා ආයතනය මේ දිනවල ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සමග එක්ව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තොරතුරු ආරක්ෂණය පිළිබඳව ප්‍රතිපත්තියක් සැකසීම සඳහා සාකච්ඡා පත්‍රයක් සැකසීමේ කටයුතු වල නියැලී සිටී. එහි පර්යේෂණ සඳහා සම්බන්ධව සිටින අශ්විනි නටේසන් බීබීසි සිංහල සේවයට පැවසුවේ සෞඛ්‍ය දත්ත ආදී සංවේදී තොරතුරු සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලංකාව තුළ දත්ත ආරක්ෂණ නීතිමය ක්‍රියාදාමයක් නොමැති බවය.

"සෞඛ්‍ය දත්ත යනු අතිශය සංවේදී කරුණකි. එහි පවතින සංවේදී ස්වභාවය හේතුවෙන් බොහෝ කලාපවල මෙන්ම බලාධිකාරයන් යටතේ වෙනත් පෞද්ගලික දත්තවලට සාපේක්ෂව, සෞඛ්‍ය දත්ත සම්බන්ධයෙන් අමතර ආරක්ෂාවක් ලබා දෙනවා. පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී තිබුණ ද, සෞඛ්‍ය දත්ත ආදී සංවේදී තොරතුරු සම්බන්ධයෙන් තවමත් ශ්‍රී ලංකාව තුළ දත්ත ආරක්ෂණ නීතිමය ක්‍රියාදාමයක් නොමැත. මෙය ආරම්භ කිරීමට හොඳ ම අවස්ථාව වන්නේ, සෞඛ්‍ය දත්ත සම්බන්ධයෙන් ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමයි. එමගින් පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් පවතින ගැටලු අවම වන අතර, එම දත්ත උපයෝගී කර ගනිමින් පෞද්ගලික මෙන් ම මහජන සෞඛ්‍ය මට්ටම ඉහළ දැමිය හැකියි" ඇය කියා සිටියාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර