අයවැය 2019: ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාවක්

Image copyright Getty Images

2019 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ, පසුගිය නොවැම්බර් මාසයේදීය.

එහෙත්, ඔක්තෝබර් 26 වන දා ඇරඹුණු දේශපාලන අර්බුදය හේතුවෙන් එය ඉදිරිපත් කිරීම ප්‍රමාද කෙරුණු අතර, පසුගිය ජනවාරි මාසයේ ඉදිරිපත් කෙරුණු අතුරු සම්මත ගිණුමක් මගින් රජයේ වියදම් සම්මත කරගනු ලැබිණ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අඟහරුවාදා (මාර්තු 05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියේ තේමාව වී ඇත්තේ, 'ජනතාවට සවිය - දුප්පතුන්ට රැකවරණය' යන්නය.

මෙම අයවැය යෝජනාවලියේ විශේෂත්වයක් වූයේ, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට කාන්තා දායකත්වය වැඩි කිරීම සඳහා වන විශේෂ යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසුවේ, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ 50%ත් 60%ත් අතර ඉහළ ප්‍රතිශතයක් කාන්තාවන්ට වෙන් වී තිබුණ ද, ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 30%ක් පමණක් බවය.

ඊට ප්‍රායෝගික ගැටලු රැසක් බලපා ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, ශ්‍රම බලකායට කාන්තා දායකත්වය ඉහළ දැමීම සඳහා විශේෂ යෝජනා කිහිපයක් ඉදිරිපත් විය.

  • සේවකයින් 250 වැඩි ආයතනවල ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට දිරිමත් කිරීම සහ ආධාර ලබා දීම.
  • තෝරාගත් පාසල්වල නිවාඩු දින සහ පාසල් අවසන් වීමෙන් පසු ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට ආධාර ලබා දීම.
  • මාස 3ක ප්‍රසූත නිවාඩු ලබා දෙන ආයතනවලින් අදාළ මාස සඳහා මව්වරුන්ට වැටුප් ගෙවීමට සමාගම් බද්ද අඩු කිරීම.
  • ප්‍රසූත නිවාඩු මාස 4ක් දෙන්නේ නම් එම අතිරේක මාසය සඳහා වැටුප් ගෙවීමට සමාගම් බදු 100%ක් දක්වා කපා හැරීම.
  • ව්‍යාපාරික අංශයේ අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තා දායකත්වය ඉහළ දැමීම.
  • කාන්තාවන්ට සේවය කිරීම සඳහා ඔවුන්ට පහසු සහ නම්‍යශීලී වේලාවන් ලබා දීම.
  • කාන්තාවන්ට නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව සැලසීම.

දරුවන්ගේ රැකවරණය ඇතුළු විවිධ කරුණු නිසා කාන්තාවන් ශ්‍රම බලකායෙන් ඉවත්ව යාම අවම කිරීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍ය මංගල සමරවීර පෙන්වා දුන්නේය.

අයවැය යෝජනා ගැන තවත් විස්තර බලාපොරොත්තු වන්න.

කියවන්න: