මානව හිමිකම්: 'ජිනීවා ගැටේ' ලිහන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සැරසේ

'ජිනීවා ගැටේ' ලිහන්න ජනාධිපති සැරසේ Image copyright PMD

එළඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම් සැසිවාරයේදී තමා නියෝජනය කිරීම සඳහා නියෝජිතයින් තිදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තහවුරු කළේය.

ඔහු මේ බව පැවසුවේ බදාදා (මාර්තු 06) මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයින් සමග පැවති සාකච්ජාවේදීය.

මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල, පොලීසියේ ක්‍රියා කලාපය, ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු ඇතුළු කරුණු ගණනාවක් ගැන මෙහිදී ජනාධිපතිවරයා අදහස් පළකර තිබේ.

ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී මතුකරන ලද කරුණු වලින් තෝරාගත් කරුණු කිහිපයකි, මේ.

1. ජිනීවා මානව හිමිකම් කොමිසම: "පරණ දේවල් අමතක කරමු"

"අපිට කරන යෝජනාවලින් බලපෑම් කරන්නේ නැතුව ඉන්නවා නම් හොඳයි. මේ ප්‍රශ්න අපි විසඳගන්නම්. යුද්ධය ඉවරවෙලා දැන් අවුරුදු 10ක් ගතවෙලා නැවත මේ පරණ දේවල් හාර හාර තුවාල පාරගෙන හිත් අමනාප කරන්නේ නැතුව අපි සියලු දෙනාම සාමය සඳහා කැපවෙන්න කියලා ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා මේවා අමතක කරලා," ඔහු පැවසීය.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තමන් නියෝජනය කිරීම සඳහා ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාගවන් පිටත්කර යවා ඉහත ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බව ද ජනපතිවරයා පැවසීය.

2. පොලිසිය තමන් යටතට ගත් ආකාරය

පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතට ගැනීම ව්‍යවස්ථානුකුලව සිදුවූ කාර්යයක් බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට හැකි අමාත්‍යාංශ ගැන සීමාවක් පවතින නමුත් ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට හැකි ආයතන ගැන සීමාවක් නොමැති බව පෙන්වාදුන් ඔහු කියා සිටියේ, තමාට අවශ්‍ය නම් ආයතන 500ක් පමණ වුවත් තබා ගැනීමට හැකි බවය. "අමාත්‍යාංශ දෙකයි පවත්වාගෙන යන්න පුළුවන් හැබැයි ඒ අමාත්‍යංශ දෙකට ඕනේ නම් පුළුවන් ආයතන 500ක් විතර ගැසට් කරන්න," යැයි ජනපතිවරයා පැවසීය.

Image copyright FABRICE COFFRINI/AFP/Getty Images
Image caption එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හමුවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන මහ කොමසාරිස්වරිය

3. පොලිසියේ අභ්‍යන්තර තත්වය"ඛේදවාචයක්"

85,000කට ආසන්න ශ්‍රී ලංකා පොලිස් සේවාවේ අභ්‍යන්තර තත්වය ඉතා කණගාටුදායක බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. "පොලිසියේ පහළ නිලධාරීන් සිටින්නේ දැඩි මානසික අසහනයෙන් වැටුප් ඇතුළු ගැටළු රැසක් නිසා. ගිය අවුරුද්දේ පොලිසියේ දේසීය ගාණක් මැරිලා තියෙනවා නොයෙකුත් අසනීප නිසා. කායික හා මානසික කිසිම තෘප්තියක් නැති කටුක ජිවිතයක් ඒගොල්ලෝ ගත කරන්නේ."

පොලිස් කාන්තාවන් 2500ක් මෙන්ම දෙමළ භාෂාව කතා කළ හැකි නිලධාරීන් බඳවා ගැනීමට ද කටයුතු යොදා තිබෙන බව ජනාධිපතිවරයා කීය.

පොලිසිය ගැන ජනාධිපතිවරයා එසේ අදහස් දක්වන අතරවාරයේ, නීතිවේදිනී භවානි ෆොන්සේකා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබුණි.

4. නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි නව ජාතික වැඩපිළිවෙළක්

මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යක්ෂම කිරීම සඳහා ඩොලර් මිලියන 10ක් - 15ක් අතර මුදලක් වැයකර නව අධි තාක්ෂණික උපකරණ මිලදී ගැනීමට අදහස්කරන බව කී ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනුම්දීමට 1984 නමින් විශේෂ දුරකථන සේවයක් හඳුන්වාදෙන බව සදහන් කළේය.

අප්‍රේල් 3 වැනිදා උදෑසන මුළු රට පුරාම මත්ද්‍රව්‍ය වලට එරෙහිව "බක් මහ දිවුරුම" දිවුරුමක් ලබාගැනීමට පියවර ගැනෙන අතර, "ලබන වෙසක් පෝය දිනෙන් පසු ශ්‍රී ලංකාවේ කසිප්පු තියෙන්න බැහැ," යනුවෙන් පොලීසියට දැන්වූ බව කීය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් පුනරුත්තාපනයට නව අධිකාරියක් පිහිටුවන බවත් ගංජා, කොකේන්, හෂිෂ් වැනි විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ලක්ෂ දෙකක් ශ්‍රී ලංකාවේ සිටින බවත් ඒ අතර පාසල් දරුවන් හා ගැහැණු දරුවනුත් සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රේල් 01 වනදා විනිසුරුවන් සහ පොලිස් නිලධාරින් ඉදිරියේ දී කටුනායක දී සිදු කෙරෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"මගේ දරුවන් මරලා මට කන්න දෙනවා කියනවා"

5. ලසන්ත ඝාතනය, එක්නැළිගොඩ අතුරුදන්වීම් පරීක්ෂණවලට හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

"අහවල් අහවල් පුද්ගලයන් මෙන්න මේ විදිහට කටයුතු කළා කියන තොරතුරු පරීක්ෂණ කණ්ඩායම් සොයාගෙන තිබුණත් අධිකරණයට ගියාම ඒවා ඔප්පුකිරිමේදී අධිකරණයට හරි සාක්ෂි අවශ්‍ය වෙනවා. ඇතැම් ගැටළුකාරී තත්වයන් ඔය ඇතැම් පරීක්ෂණවල තියෙනවා".

ලසන්ත වික්‍රමතුංග ඝාතනය, එක්නැළිගොඩ අතුරුදහන්වීම යන පරීක්ෂණ ගැන විමසූ විට ජනාධිපතිවරයා කීවේ මාස කිහිපයක් එම පරීක්ෂණවල ප්‍රගතිය ගැන සොයාබැලීමට තමාට නොහැකිවූ බවය. ඒ ගැන නැවත සොයා බලන බව ද ඔහු කියා සිටියේය.

හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් ජාත්‍යන්තර පොලිසිය හරහා නිකුත් කර ඇති බව පැවසූ ජනපතිවරයා තමා සිංගප්පුරු අගමැතිවරයා හමුවූ අවස්ථාවේදී ඒ ගැන දැනුම් දුන් බව කියා සිටියේය.

තවත් ලිපි:

6. "මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන දිනය දන්නවා"

මරණ දණ්ඩනය ක්‍රියාත්මක වීම ගැන ඔහු පැවසුවේ එය "අනාගතයේදී සිදුවේවි, කාලසීමාව නම් මම දැන් කියන එක හොඳ නැහැ, මම දන්නවා දිනය නම්."

මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ලබාදී තිබෙන මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන්ම සිදුකරන බව පැවසීය.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට යුරෝපා සංගමය දක්වන විරෝධතාවය හමුවේ ශ්‍රී ලංකාවට ජීඑස්පි ප්ලස් වැනි තීරු බදු සහන අහිම්විමට ඇති ඉඩකඩ ගැන විමසීමේදී ජනාධිපතිවරයා පැවසුවේ "ඔය විරෝධතා දක්වන අය මත්ද්‍රව්‍ය මර්ධනයට මොනවාද කරලා තියෙන්නේ. අඩුම වශයෙන් මම ඔය කියපු අධි තාක්ෂණික උපකරණ වත් දෙනවද? එහේ ඉඳන් ඇගිල්ල දික්කරන්න දන්නේ මානව හිමිකම් එක්ක. නමුත් මේ රටේ මේ සිද්ධවෙන මේ බරපතල මත්ද්‍රව්‍ය ප්‍රශ්නෙන් අපියි ගොඩ එන්න ඕනේ අපේ දරුවන් වෙනුවෙන්. ඒ නිසා කවුරු විරුද්ධ වුනත් මම මේක කරනවා."

කියවන්න:

7. රටේ ආර්ථික තත්වය

විදේශ ණය, දේශීය ණය, නිෂ්පාදනය පහත වැටීම, අපනයන කර්මාන්ත වල ඇතිව තිබෙන පසුබෑම් හමුවේ රටේ ආර්ථිකය ඉතා අමාරු තැනක සිටින බව ජනපති සිරිසේන පෙන්වාදුන්නේය.

වර්ෂ අවසානයේ ජනාධිපතිවරණය හා ඊට පෙර ඇතැම් විට පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්විය හැකි මැතිවරණ වසරක් වන මෙම වසර තුළ ආර්ථිකය අභියෝග ජයගැනීමට සියලු දේශපාලන බලවේග තම න්‍යාය පත්‍ර අතහැර එකට එක්විය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

මැතිවරණ වසරක් නිසා විරෝධතා වැඩිවිය හැකි බව පැවසූ ජනාධිපතිවරයා වැඩි වැටුප් ඉල්ලන්නන් රටේ තිබෙන ආර්ථික අර්බුදය ගැන සිතා බැලිය යුතු බවද කියා සිටියේය.

අයවැය ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ තමන් මෙම අයවැය විවේචනය නොකරන බවය. "අයවැයකින් සියලු දෙනා සතුටු කළ නොහැකියි."

මේ තොරතුරුත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර