අයවැය දෙවැනි වර කියවීම: ආණ්ඩුවට 119යි, විපක්ෂයට 76යි

අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් අඟහරුවාදා (මාර්තු 12) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඊට පක්ෂව ජන්ද 119 ක් ද, විපක්ෂව ඡන්ද 76 ක් ද ලැබී තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය දීමෙන් වැලකී සිටි බව පක්ෂයේ මහ ලේකම්වරයා පවසන අතර, පක්ෂයේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළේය. ජනතා විමුක්ති පෙරමුණ ද එයට විරුද්ධව ඡන්දය දී තිබුණි.

එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජනතා සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේය.

පාර්ලිමේන්තුවේ බහුතරය වන මන්ත්‍රීවරුන් 113ක් නොමැතිව එක්සත් ජාතික පෙරමුණ වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යන අතර මෙවර අයවැය දෙවන වර කියවීම ජන්ද විමසීම ඒ අනුව ආණ්ඩුවේ ඉදිරි ගමනට තීරණාත්මක විය.

දෙසැම්බර් මාසයේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ මුහුණ දුන් තීරණාත්මකම ජන්ද විමසීම මෙයයි.

Image copyright Getty Images

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 106 දෙනාට අමතරව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අයවැයට සහය පළ කරමින් ජන්දය දුන් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේය.

අඟහරුවාදා පෙරවරුවේ පාර්ලිමේන්තුව ඇමතූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අයවැය සහ ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අතර ආණ්ඩුව පරාජයට පත් කිරීම සඳහා සහය ලබා දෙන ලෙස ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

කියවන්න:

"අපි කියනවා දැන් ඉවසුවා ඇති, මේ දේශයට අහිතකර මේ ආණ්ඩුව ඉතා ඉක්මනින් ඉවත් කරන්න සහයෝගය ඉල්ලනවා පසුපෙළේ මන්ත්‍රීවරුන්ගෙන්" ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සියලු දෙනා ආණ්ඩුවට සහය පළ කරමින් අයවැයට ජන්දය ලබා දුන්හ.

Image copyright Sri Lanka Parliament

අයවැය දෙවන වර කියවීම සම්මත වීමත් සමග 2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අදාළව කාරක සභා අවස්ථාවේ විවාදය බදාදා (13) සිට ආරම්භ වේ.

මේ දිනවල දැඩි කතාබහට ලක්ව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ වැය ශීර්ෂය පිළිබඳව විවාදය බදාදා පැවැත්වීමට නියමිත අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට ජන්ද විමසීමක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වේ.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පවසන්නේ තම පක්ෂය ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජයට පත් නොකරන බවය.

පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ටත් කිසියම් ගැටලු පවතින නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ ඔවුන් සමග සාකච්ඡා කොට තත්ත්වය සමථයකට පත්කරනු ඇති බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාළ බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

"මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ නායක තුමා, ගරු අගමැතිතුමා ඒ අය එක්ක සාකච්ඡා කරලා අවශ්‍ය වැඩපිළිවෙල කරයි," යනුවෙන් ද ඇමතිවරිය කියා සිටියාය.

තවත් කියවන්න: