නෑසෙන දෙසවනට හඬ දී නිහඬ මුවගට වදන් දෙන ගුරුතුමිය

Image caption ග්‍රේටා නාලවත්ත සොයුරිය

"ඇහෙන්නේ නැති ළමයින්ට ඉගැන්වීම ආරම්භ කරලා දැන් වසර 50ක් විතර වෙනවා. මම වෙන වැඩක් මගේ ජිවිතේ කරල ම නැහැ." ග්‍රේටා නාලවත්ත සොයුරිය බීබීසි සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියාය.

ඇය ස්වේච්ඡාවෙන් කළ එම සේවයට උපහාරයක් වශයෙන් මෑතකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිරිනැමූ සම්මානයකින් ද පිදුම් ලැබුවාය.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ශ්‍රවණාබාධිත පිරිස ලක්ෂ තුනකට වැඩිය.

ශ්‍රවණ ඌණතාව නිසා ම බොහෝ දෙනෙකුට වාචික සන්නිවේදනය අපහසු වීම සාමාන්‍ය දෙයක් වුවත් ග්‍රේටා නාලවත්ත සොයුරියගේ අරමුණ එම තත්ත්වය වෙනස් කිරීමය.

"මේ ලෝකේ කිසි ම ළමයෙක් සම්පූර්ණයෙන් ම බිහිරි නැහැ. ඇහීම ටිකක් හරි තියෙනවා. ළමයට උගන්වන්න ඕනේ ඒ තියෙන ඇහීම පාවිච්චි කරන්න ශ්‍රවණ උපකරණයක් භාවිත කරලා"

"බිහිරි ළමයින්ට තියෙන්නේ භාෂා ප්‍රශ්නයක්. ඇහෙන්නේ නැති නිසා කතා කරන්න බැහැ. ඒ නිසා අපි කරන්න ඕනේ ශ්‍රවණ උපකරණයක් භාවිත කරලා ඔවුන්ට කතා කරන්න පුරුදු කරන එක" ඇය ප්‍රකාශ කළාය.

මේ සඳහා ඇය කිසිදු මුදලක් අය නොකරන්නීය.

"ගොඩක් දෙනෙක් කරන්නේ ළමයෙකුට ඇහෙන්නේ නැහැ කියල දැන ගත්ත ම, මුකුත් කතාකරන්නේ නැතුව සංඥා භාෂාව පටන් ගන්නවා. එතකොට ඒ ළමයට කිසි ම වචනයක් දැන ගන්න ලැබෙන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ කියලා දැන ගත්ත විට කරන්න තියෙන්නේ ශ්‍රවණාධාර උපකරණයක් පළඳවන එක."

ශ්‍රවණ ඌණ දරුවන්ට හැකි තරම් ශබ්ද ඇසීමට සැලැස්වීමකින් තොරව භාෂාව වර්ධනය කර ගැනීමට නොහැකි බව පවසන ග්‍රේටා නාලවත්ත සොයුරිය, ඒ සඳහා නවීන තාක්ෂණික ශ්‍රවණ උපකරණ භාවිතය අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන්නීය.

"පටන් ගන්නව නම් පුංචි ම කාලේ පටන් ගන්න ඕනේ. මාස 8න් අවුරුද්දෙන් වගේ, මේ අධ්‍යාපනය. එතකොට ළමයින්ව හොඳ තැනකට ගේන්න පුළුවන්," ඇය කියා සිටියාය.

කතෝලික සොයුරියක් ලෙස ග්‍රේටා නාලවත්ත තම ඉගැන්වීම් මුලින්ම ආරම්භ කරන්නේ රාගම බිහිරි පාසලෙනි. නමුත් කෙටි කලකින් ඇය එයින් ඉවත් වන්නේ ශ්‍රවණ ඌන ළමුන්ට කථනය ඉගැනිවීමේ මුලික අරමුණ සහිතවය.

"කාලයක් ගියා ම මට හිතුණා ළමයින්ට එතන ම ඉඳල උගන්නන්න බැහැ කියලා. මොක ද ඉඟි භාෂාව කරන තැනක කතා කරන එක උගන්වන එක අමාරු නිසා. ඊට පස්සේ මට ශිෂ්‍යත්වයකින් ජපානෙට යන්න හම්බ වුණා. ඉගෙන ගෙන ඇවිල්ල තමයි වෙන ම තැනක් පටන් ගන්න ඕනේ කියලා හිතුණේ. මොක ද මේ ළමයි කතා කරන්නේ නැති වුණා ම සමාජයෙන් කොන් වෙනවා. සංඥා භාෂාව දන්නේ සීමිත පිරිසයි."

"මම ගොඩක් දුක් වින්දා. නමුත් මට ගොඩක් සතුටුයි අද මගෙන් ඉගෙන ගත්ත ළමයි, සාමාන්‍ය ළමයි වගේ සමාජයේ ඉහළ තැන්වල ඉන්නකොට. උපාධිධාරීන් ගණනාවක් ඉන්නවා." ඇය කියා සිටියාය.

සිය පල්ලියේ පියතුමන්ගේ හා දානපතියන්ගේ දායකත්වයෙන් වසර 37කට පෙර ශ්‍රවණ ඌණ ළමුන්ගේ ශික්ෂණ මධ්‍යස්ථානය ආරම්භ විය. එය මේ වන විට පවත්වාගෙන යන්නේ කැලණිය ප්‍රදේශයේය.

ඉන් අධ්‍යාපනය ලබා ඇති ශ්‍රවණාබාධිත ළමුන්ගේ සංඛ්‍යාව දහස් ගණනකි.

කුඩා වයසේ පසුවන දරුවන් සඳහා ශ්‍රවණ හා කථන අභ්‍යාස ලබා දී ඔවුන්ට වසර 5ක් සම්පූර්ණ වන විට සාමාන්‍ය පාසලකට ඇතුළත් කිරීමට හැකි දරුවෙකුගේ මට්ටමට ගෙන ඒම මෙම පාසලෙන් සිදු කෙරෙයි.

"මේ ඔක්කොම ළමයි ඉස්කෝලේ ගිහිල්ලා සාමන්‍ය ළමයි වගේ ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි මගේ වැඩසටහන. ඒකට තමයි මේ තැන පටන් ගත්තේ. මෙතන ඉගෙන ගන්න සියලු විෂය නිර්දේශ මම හදපු ඒවා. ගුරුවරුන් පුහුණු කරන්නෙත් මම."

"මෙතැනට ළමයින් භාර ගන්නේ ඉතා ම කුඩා අවදියේ සිට. නමුත් ඔවුන්ගේ අම්මලත් සමගයි අපි ඒ දරුවන් භාර ගන්නේ. අම්මා නැතිව තනියෙන් ම අපි දරුවන් භාර ගන්නේ නැහැ. මගේ ක්‍රමය අම්මා ළමයාගෙනුත්, ළමයා අම්මාගෙනුත් ඉගෙන ගැනීම. මොක ද මේ ළමයි ඉස්කෝලෙදි වගේ ම ගෙදරදීත් ඉගෙන ගන්න ඕන. විද්‍යාත්මක සහ නව තාක්ෂණික ක්‍රමවලින් ඒ දරුවන්ට ඇසීමට සහ කතා කර වීමට අපි මහන්සි ගන්නවා." ඇය කියා සිටියාය.

පාසලේ දරුවන්ගේ දෙමාපියන් විසින් සාමූහිකව තීරණ ගෙන පවත්වාගෙන යනු ලබන මෙය හැඳින්වෙන්නේ ප්‍රජා පාසලක් ලෙසිනි.

"මට ඕනේ මේ රටේ ඇසීම නැති එක ම ළමයෙක් වත් කොන් වෙන්නේ නැති තත්ත්වයක් ඇති කරන්න. මම මගේ සම්පූර්ණ ජීවිතය ම ඒ සඳහා කැප කළා. මම ඒ ගැන තෘප්තිමත්. නමුත් ලංකාවේ ඇසීමේ ගැටලු තියෙන හැම ළමයෙකුට ම මෙතනට එන්න බැහැ. ඒ නිසා මම උත්සහ කරනවා මේ දැනුම, ක්‍රමවේදය බෙදා ගන්න," ඇය කතා බහ අවසන් කරමින් කියා සිටියාය.

මෙම ප්‍රජා පාසල තුළ ජාති, කුල, ආගම් භේද නොමැත. ග්‍රේටා නාලවත්ත සොහොයුරියගේ මෙම පාසලේ වත්මන් අනුශාසකවරුන් වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් හා මහාචාර්ය ඇලෝයි පීරිස් පියතුමාණන්ය.

ශ්‍රවණාබාධිත දරුවන්ට අධ්‍යාපනය ලබා දෙමින් පනස් වසරක අත්දැකීම් ඇති ග්‍රේටා නාලවත්ත සොයුරිය ජනතාවගෙන් ඉල්ලීමක් කළාය.

"ඇහෙන්නේ නැති ළමයෙක් හිටියොත් මුලින් ම ශ්‍රවණ ආධාරක උපකරණයක් දාලා පුළුවන් තරම් ඒ ළමයත් එක්ක කතා කරන්න. සද්ද ඇහෙන්න සලස්වන්න. ඉඟි භාෂාවෙන් කතා කරන්න එපා."

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර