පැය 14කට අධික කාලයක් පැවති ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් මුහුණ පෑ දරුණුතම බිඳ වැටීම

Image copyright Getty Images

පැය 14කට අධික කාලයක් පුරා ෆේස්බුක් සහ එම සමාගමේ සෙසු උපාංගවලට පිවිසීමේදී පැවති අවහිරතා යථාතත්ත්වයට පත් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.

එම සමාගමේ ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක්, එහි කෙටි පණිවුඩ සඳහා භාවිත වන ඇප් දෙකක් සහ ඡායාරූප පළ කෙරෙන වෙබ් අඩවිය වන ඉන්ස්ටග්‍රෑම් යන සියල්ලට බලපෑම් එල්ල වී තිබිණි.

මෙම බිඳ වැටීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිත කරන්නන් ද අපහසුතාවට පත් වූ බවට කරුණු වාර්තා විය.

Image copyright Facebook
Image copyright facebook

ෆේස්බුක් සමාගම මේ සම්බන්ධයෙන් තවමත් කරුණු පැහැදිලි කර නැත.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය මීට පෙර මෙවැනි ආකාරයේ බිඳ වැටීමකට ලක් වූයේ, 2008 වසරේදීය. එවකට ෆේස්බුක් භාවිත කරන්නන් සංඛ්‍යාව මිලියන 150ක් වූ අතර, මේ වන විට මාසයකදී එය භාවිත කරන්නන් සංඛ්‍යාව බිලියන 2.3ක් බවට වර්ධනය වී තිබේ.

මෙම බිඳ වැටීම බදාදා (මාර්තු 13) ආරම්භ වූ අතර, එය යථාතත්ත්වයට පත් වන බවට සැබවින් ම පෙනී ගියේ බ්‍රහස්පතින්දා පෙරවරුවේය. එදිනෙදා සන්නිවේදනය සඳහා ජනතාව භාවිත කරන ප්‍රධාන මෙවලම් බොහෝමයක් එතෙක් අක්‍රිය වී තිබුණි.

කියවන්න:

"ඇතැම් අයට ෆේස්බුක් සමාගමේ ඇප්ස්වලට පිවිසීමේදී අවහිරතා සිදු වන බවට අපට දැන ගන්නට ලැබී තිබෙනවා," ෆේස්බුක් සමාගම ට්විටර් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

"අපි එය හැකි ඉක්මනින් නිරාකරණය කිරීමට පියවර ගනිමින් සිටිනවා."

Image copyright YUI MOK

ෆේස්බුක් සමාගමේ මෙවලම් (apps) බ්‍රහස්පතින්දා පෙරවරුව වන විට යථාතත්ත්වයට පත් වෙමින් පවතින බව දක්නට ලැබිණි. මේ අතර ඉන්ස්ටග්‍රෑම් නිවේදනය කළේ, එය ද යථාතත්ත්වයට පත් වූ බවය.

වෙනත් සමාජ මාධ්‍ය ජාලවල පැතිර ගිය දූෂමාන ආරංචි සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් සමාගම පැවසුවේ, සයිබර් සේවා ඉලක්ක කර එල්ල වූ සයිබර් ප්‍රහාරයක් (Distributed Denial of Service attack) හේතුවෙන් අදාළ බිඳ වැටීම සිදු නොවූ බවය.

එන්බීසී පුවත් සේවය වාර්තා කළේ, එම බිඳ වැටීමට "ප්‍රමාණය ඉක්මවූ" දත්ත ගබඩා ("overloaded" databases) හේතු වී ඇති බවය.

මෙම බිඳ වැටීම බදාදා පස්වරු 4.00ට පමණ ආරම්භ වූ බවට අනුමාන කෙරේ.

ෆේස්බුක් සමාජ වෙබ් අඩවියට පිවිසිය හැකි වුව ද, එය භාවිත කරන්නන් වාර්තා කළේ, කිසිවක් එහි පළ කිරීමට නොහැකි වූ බවය.

ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවිය ද රිෆ්‍රෙෂ් කිරීමට හෝ නව ඡායාරූප පළ කිරීමට නොහැකි මට්ටමක පැවතිණි. මෙසෙන්ජර්හි පරිගණක උපාංගය (desktop version) ක්‍රියාත්මක නොවූ අතර ජංගම දුරකතනවල පමණක් ඇතැම් අවස්ථාවල ක්‍රියාත්මක විය. වට්ස්ඇප්හි ද මෙම ගැටලුව පැවති බව වාර්තා විය.

සයිබර් ඇණහිටීම් තොරතුරු සකසන DownDetector නමැති තෙවන පාර්ශවික සමාගම පවසන්නේ, මෙම ගැටලුව ලෝකය පුරා පැවති බවය. එම සමාගම පැවසූ පරිදි යුරෝපයේ සහ ආසියාවේ ඇතැම් ප්‍රදේශවලට මෙම ගැටලුව බ්‍රහස්පතින්දා පෙරවරුව වන විටත් නිරාකරණය වී නොතිබිණි.

මෙම ගැටලු හේතුවෙන් ෆේස්බුක් සමාගමේ ආදායම්වලට දැඩි බලපෑමක් එල්ල වනු ඇත. බ්ලූම්බර්ග් සමාගම පැවසුවේ, ෆේස්බුක් සමාගම වැඩි ම ආදායම දැන්වීම් හරහා ලබන බවය. මෙම බිඳ වැටීම් හේතුවෙන් දැන්වීම්කරුවන් යෙදවූ මුදල් ආපසු ගෙවීමට ක්‍රමයක් තිබේ ද යන්න සොයා බලමින් සිටින බව බ්ලූම්බර්ග් සමාගම පැවසීය.

මහා පරිමාණ සමාගම්වල අභ්‍යන්තර සන්නිවේදන කටයුතු වෙනුවෙන් භාවිත කරන Facebook Workplace උපාංගයට ද මෙහිදී බලපෑම් එල්ල විය.

බුවනෝස් අයර්ස්හි ග්‍රැෆික් නිර්මාණ ශිල්පිනියක වන රෙබෙකා බෲකර් බීබීසී පුවත් සේවයට පැවසුවේ, ෆේස්බුක් මෙවලම් බිඳ වැටීම ඇයගේ ආයතනයට බෙහෙවින් බලපෑ බවය.

"පෞද්ගලිකව ෆේස්බුක් පාවිච්චි කරන අයට ප්‍රශ්නයක් නෑ. ඒත් ෆේස්බුක් ගැන විශ්වාසය තියාගෙන ව්‍යාපාරික සේවා පවත්වාගෙන යන විශාල සමාගම්වලට මොක ද වෙන්නේ?" ඇය පැවසීය.

"මම නිව්යෝර්ක්වල ඉන්න මගේ කණ්ඩායම සමග සම්බන්ධ වෙන්න උත්සහ කරමින් ඉන්නේ. ඊමේල් හැරුණා ම ඔවුන් සමග සම්බන්ධ වෙන්න තියෙන එක ම ක්‍රමය Facebook Workplace විතරයි."