ශ්‍රී ලංකාවේ නව ත්‍රස්ත විරෝධී පනත: "මේකට අනුව දොස්තර වර්ජනයත් ත්‍රස්ත ක්‍රියාවක්"

1979 වසරේ තාවකාලික නීතියක් ලෙස සම්මත කළත් වසර 40ක පමණ කාලයක් දැඩි විවේචන මැද ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර, ප්‍රති-ත්‍රස්ත පනත ලෙස හැඳින්වෙන පනතක් සම්මත කර ගැනීමට රජය සුදානම් වෙමින් සිටී.

සාක්ෂි රහිතව පවා අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් නඩු පැවරීමකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට අවස්ථාව ලබා දුන්, දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශීයව මෙන් ම විදේශීයව ද දැඩි විවේචනයන්ට ලක් වූවකි.

මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) උපයෝගී කර ගනිමින් වධහිංසා සිදු කිරීම, ලිංගික අපචාර, බලහත්කාරයෙන් කට උත්තර ගැනීම වැනි දෑ සිදු කළ බවට පොලිසියට හා ආණ්ඩුවලට දිගින් දිගට ම චෝදනා එල්ල විය.

එයට එල්ල වුණු තවත් චෝදනාවක් වූයේ, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විරුද්ධ මතධාරීන්ට දඬුවම් කිරීමට සහ නිදහස් අදහස් ප්‍රකාශනය සීමා කිරීමට මෙම පනත යොදා ගන්නා බවය. මාධ්‍යවේදී ජේ තිස්සනායගම් හා දේශපාලකයෙකු වන අසාත් සාලි මෙම පනත යොදාගෙන අත්අඩංගුවට ගෙන තිබිණි.

පැරණි පනතේ ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ගුණාංග ඉවත් කර වර්තමානයට ගැලපෙන පරිදි ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනතක් ඉදිරිපත් කරන බව 2015දී බලයට පත් වූ නව ආණ්ඩුව ප්‍රකාශයට පත් කළේය. ඒ, පැරණි පනත සම්බන්ධයෙන් එල්ල වූ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල විරෝධය ද සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව වසර කිහිපයක් තිස්සේ සැකසුණු මෙම පනතට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ කැබිනට් අනුමැතිය හිමිව තිබූ අතර එය පසුගිය ඔක්තෝබර් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මෙලෙස ඉදිරිපත් කර ඇති පනත මේ වන විට පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාවේ සංශෝධන සඳහා සාකච්ඡාවට ගනිමින් තිබේ.

නව පනතටත් විරෝධය

පැරණි පනත සමග සංසන්දනය කිරීමේදී නව පනතේ පවතින, සැකකරුවන් සම්බන්ධයෙන් ඇති ඇතැම් කරුණු ශුභවාදී ලෙස දකින බව මානම හිමිකම් සංවිධාන මේ වන විටත් ප්‍රකාශ කර තිබේ. සැකකරුවන් රැඳවුම් නියෝග මගින් රඳවා තබා ගැනීමට තිබූ බලතල යම් තරමකට සීමා වීම, බලහත්කාරයෙන් ලබා ගන්නා පාපොච්චාරණ සාක්ෂි ලෙස භාවිත කළ නොහැකි වීම, නීතිවේදීන්ට හා මානව හිමිකම් කොමිසමට සැකකරුවන් බැලීමට ප්‍රවේශයක් ලබා දීම එලෙස නව පනතේ ඇති ශුභවාදී අංශ ලෙස ඔවුන් පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් විපක්ෂයේ දේශපාලන පක්ෂ, මානව හිමිකම් සංවිධාන, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති යන සියල්ලට ම නව පනතේ ඇති ප්‍රධානතම ගැටලුව වී තිබෙන්නේ මෙමගින් ත්‍රස්තවාදයට ලබා දී තිබෙන පුළුල් නිර්වචනයයි.

මෙයට විරෝධය පළ කරන පිරිස් පෙන්වා දෙන්නේ, අත්‍යවශ්‍ය සේවාවලට බාධා කිරීම පවා ත්‍රස්ත ක්‍රියාවක් ලෙස එමගින් නිර්වචනය වී ඇති අතර සාමාන්‍යයෙන් ත්‍රස්තවාදී ක්‍රියා නොවන කරුණු ද මෙහි ත්‍රස්ත ක්‍රියා ලෙස හඳුන්වා ඇති බවය. දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට, විරෝධතාකරුවන් හා වෘත්තීය සමිති මර්දනයට රජයකට අවශ්‍ය නම් මෙම නීතිය යොදා ගත හැකි තත්ත්වයක් ඇති වීම ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ ගැටලුවක් බව ඇතැම් විද්වත්හු පවසති.

"ත්‍රස්තවාදය කුමක් ද කියලා මේකේ නිර්වචනය කරලා තියෙන ආකාරය ප්‍රශ්න සහගතයි. ඒ නිසා කවදා හරි දිනක පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ නීතිය වැරදි ලෙස භාවිත කරන්න පුළුවන්." මෙම නව පනත ගැන පුළුල් ලෙස අධ්‍යයනය කළ මානව හිමිකම් නීතිවේදිනියක වන එර්මිසා ටීගල් බීබීසි සිංහල සේවයට කියා සිටියාය.

දැනට පොලිසියට පමණක් පවතින, පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය යුද්ධ හමුදාවට ලබා දීම මෙන් ම තහනම් නියෝග පැනවීම සඳහා පොලිසියට ලබා දී ඇති බලය ද ගැටලුකාරී වන බව ඇය පවසන්නීය.

ඕනෑ ම සංවිධානයක් තහනම් කිරීම, රැස්වීම, වත්කම් රැස් කිරීමේ බලය අදාළ විෂය භාර අමාත්‍යවරයාට මෙම නව පනත මගින් හිමි වන බව පෙන්වා දුන් ඇය, එම තීරණය අධිකරණ ඉදිරියේ අභියෝග කරන විට එම සංවිධානයට සිදු විය යුතු හානිය සිදු වී තිබෙන්නට ඉඩ ඇති බව ද කියා සිටියාය.

විරෝධතා මර්දනයට මෙම නව පනත භාවිතයට ගත හැකි ආකාරය පැහැදිලි කරමින් "ජල දූෂණයට එරෙහි රතුපස්වල වගේ විරෝධයකුත් මේ පනත අනුව අවශ්‍ය නම් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒක බරපතළ තත්ත්වයක්." යැයි නීතිවේදීනි එර්මිසා ටීගල් පැවසුවාය.

"වැඩ වර්ජනයක් වැනි දෙයක් නිසා" අත්‍යවශ්‍ය සේවාවලට බාධා ඇති වුවහොත් එය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස මෙම පනත මගින් අර්ථ ගැන්වීමේ හැකියාවක් ඇති බව ද ඇය කියා සිටියාය.

නීතිවේදිනී භවානි ෆොන්සේකා ඇතුළු බොහෝ දෙනා ද ප්‍රති-ත්‍රස්ත පනත ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් දක්වා තිබිණ.

ජනාධිපතිවරයා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද මෙම පනතට විරෝධය පළ කළේ රටේ වැඩ කරන ජනතාව, වෘත්තිය සමිති හෝ කම්කරු පන්තිය ගන්නා ඕනෑ ම වෘත්තීය ක්‍රියාමාර්ගයක් ත්‍රස්තවාදී ක්‍රියාවක් සේ සලකා ක්‍රියා කිරීමේ බලය මෙම පනතේ ඇති බව පවසමිනි.

"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උද්ඝෝෂණයක් කළොත් ඒකත් අර්ථ දක්වන්න පුළුවන් ත්‍රස්ත ක්‍රියාවක් කියලා. දඬුවම බරපතළ වැඩ සහිත වසර 20ක් හිරේ." මෙම පනත පරාජයට පත් කරන බව පවසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද මෙම පනතට විරෝධය පළ කර තිබෙන අතර ඔහු පවසන්නේ, එමගින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් මෙන් ම වෘත්තීය සමිති මර්දනයක් සිදු විය හැකි බවය.

කලින් සම්මත වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මෙන් ම අලුතින් හඳුන්වා දී ඇති සංශෝධිත පනත් කෙටුම්පතට ද ජනතා විමුක්ති පෙරමුණ සිය විරෝධය පළ කර තිබේ. එම පක්ෂය පවසන්නේ මෙම පනත ක්‍රියාත්මක වුවහොත් අඩු ම තරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹීමට ඇති අයිතිවාසිකම පවා අහෝසි වී යන බවය. පසුගිය දා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ජනතා විමුක්ති පෙරමුණ අතර පැවති හමුවේදී ද මෙම පනත පරාජය කිරීමට එක්ව කටයුතු කිරීම ගැන සාකච්ඡා වී තිබිණි.

මේවන විට නව ආණ්ඩුව පවත්වාගෙන යාමට එක්සත් ජාතික පක්ෂයට සහය දෙන දෙමළ ජාතික සන්ධානය තවමත් මෙම නව පනත ගැන නිල වශයෙන් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර නොමැත. 1979 පනතට දැඩි විරෝධයක් දක්වන එම පක්ෂය නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පෙර යෝජිත නව පනතේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගැටලුකාරී තැන් ගැන අදහස් පළකර තිබිණි.

ජනමාධ්‍ය සංවිධාන මෙන් ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන ද මෙම පනතට සිය විරෝධය පළ කරයි.

ප්‍රති-ත්‍රස්ත පනත පාර්ලිමේන්තුවේ විවාද කර සමම්ත කර ගැනීමට පෙර මේ වන විට පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික කාරක සභාව මගින් සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ.

එම කමිටුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් නියෝජනය කරන අතර එහි සභාපති ධූරය දරනු ලබන්නේ, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මයන්ත දිසානායක විසිනි. බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම නව පනතට සංශෝධන රැසක් ඇතුළත් කර ඇති බවය. එමගින් ඉහත මතු කරන ගැටලු රැසකට පිළිතුරු ලැබෙනු ඇති බව ඔහු පැවසුවේය.

"අපි කමිටුවක් ලෙස මේකට සංශෝධන රැසක් කරලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යංශය ඇතුළු පාර්ශව සමග සාකච්ඡා කරලා." මයන්ත දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේය.

"හැමදේටම විරුද්ධ වෙන්න ඕනේ"

වෘත්තීය සමිති අරගලයක් ත්‍රස්ත ක්‍රියාවක් බවට හැඳින්වීමේ හැකියාව පනතේ ඇති බවට පළ වන මතය ප්‍රතික්ෂේප කළ මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ, "එහෙම වෙන්නේ නැහැ. ඔබ මෙයට දැන් අප සිදු කර ඇති සංශෝධන බැලුවොත් තේරෙයි. කමිටුව අවසානයේදී මේ සංශෝධන ප්‍රසිද්ධියට පත් කරනවා." යනුවෙනි.

"විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙනා යෝජනා රැසක් අපි මේකට ඇතුළත් කළා. නමුත් ඔවුන් මේකට විපක්ෂය ලෙස හැම දේට ම විරුද්ධ වෙන්න ඕනේ කියන මතය නිසා මේකට විරුද්ධව ඡන්දෙ දෙයි."

"මගේ පියා ගාමිණී දිසානායක මිය ගියේ ත්‍රස්තවාදය නිසා. ඒ නිසා මම දන්නවා ශක්තිමත් මේ වගේ පනතක අවශ්‍යතාව. මොක ද මොන අවස්ථාවකදී වත් ත්‍රස්තවාදී තර්ජනයකදී රාජ්‍යය දුර්වල වෙන්න ඉඩ තියන්න බැහැ. ඒ වගේ ම මම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 100%ක් පෙනී සිටින කෙනෙකු ලෙස මේ පනත යොදාගෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සිදු කරන්න ඉඩ ප්‍රස්ථාව ඇති කරන්නේ නැහැ." මයන්ත දිසානායක මන්ත්‍රීවරයා කියා සිටියේය.

ලබන 25 වනදා සිය කමිටුව යළි රැස්වෙන බව පැවසූ මන්ත්‍රීවරයා එහිදී යෝජිත සංශෝධන ගැන අවසන් එකඟත්වයක් ඇති කර එය ප්‍රසිද්ධ කරන බව කියා සිටියේය. දැනට මතු කර ඇති ගැටලු රැසකට එමගින් පිළිතුරු ලැබෙන බව ද ඔහු සිටියේය.

ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බව මයන්ත දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර