නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර වෙනස එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ඇසින්

Image copyright Shanika/Heshan/Melissa
Image caption ශානිකා සෝමතිලක (වමේ), හේෂාන් පෙරේරා (මැද) සහ මෙලිස්සා සෝමවර්ධන (දකුණේ)

නවසීලන්තය යනු අපරාධ සම්බන්ධයෙන් නිතර පුවත් වාර්තා නොවන සාමකාමී රටක් බවට ලෝකයේ ප්‍රශංසාවට පාත්‍ර වී තිබූ රටකි. ඉඳහිට වාර්තා වූ භූ කම්පනයක් වැනි සිද්ධියක් මිස එරටින් පුවතක් වාර්තා වූයේ ද කලාතුරකිනි.

එහෙත්, පසුගිය සිකුරාදා (මාර්තු 15) ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ල වූ වෙඩි ප්‍රහාරය නිසා නවසීලන්තය ලෝකයේ ම අවධානයට ලක් විය.

වෙඩි ප්‍රහාරය පිළිබඳ ලෝකයේ අවධානය යොමු වීමට සමගාමීව එරට අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා ආර්ඩන්ගේ ක්‍රියාකලාපය, දේශපාලනික නායකත්වය සහ නවසීලන්ත වැසියන්ගේ චින්තනය පිළිබඳව බහුතර පිරිසක් ප්‍රසාදය පළ කළහ.

ඒ අනුව, නවසීලන්තය ආර්ථික සහ සමාජයීය වශයෙන් ලබා ඇති ප්‍රගතියට හේතු මොනවා දැයි එරට පදිංචි වී සිටින ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකුගෙන් විමසුවෙමු.

දේශපාලනය

බීබීසී සිංහල සේවය සමග අදහස් පළ කළ නවසීලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වන ශානිකා සෝමතිලක, මෙලිස්සා සෝමවර්ධන, හේෂාන් පෙරේරා සහ අබ්දුල් මුයිස් යන සිව් දෙනා ම පැවසුවේ, නවසීලන්තය තුළ ක්‍රියාත්මක වන දේශපාලනික නායකත්වය එරට භෞතික මෙන් ම මානසික දියුණුවට ද බලපා ඇති බවය.

"මෙහේ සුළු ජාතීන් කියලා කිසි ම ජන කොටසක් පැත්තකට දාලා තියන්නේ නැහැ. හැමෝටම එක ම වටිනාකමක් ලැබෙනවා. මෙහේ ප්‍රතිපත්තිය තමයි, සෑම පුද්ගලයෙකු ම රටේ ආර්ථිකයට වැදගත් කියන එක," නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දේශපාලනික කාටූන් හරහා අදහස් පළ කරන ශානිකා සෝමතිලක බීබීසී සිංහල සේවයට පැවසීය.

ඇය වෘත්තියෙන් එරට විදුලි ඉන්ජිනේරුවරියක වන අතර, ගායිකාවක සහ චිත්‍ර ශිල්පිනියක ලෙස ද යම් ප්‍රසිද්ධියක් ලබා සිටී.

Image copyright Shanika Somatilake

"රටක එක ජන කොටසක් වැටුණොත් රට ම වැටෙනවා. රටේ පදනම අස්ථාවර වෙනවා. සියලු ජන කොටස්වලට රට ගැන ආදරයක් ඇති වෙන්න ඕන. ඒක කරන්න නම් ජනතාව අතර එකමුතුකමක් ගොඩ නගන්න ඕන. ඒක කරන්න පුළුවන් නායකයෙක් බිහි වුණොත් තමයි ආර්ථිකය ගොඩ නගන්න පුළුවන් වෙන්නේ." ශානිකා සෝමතිලක පවසන්නීය.

නවසීලන්තයේ දේශපාලනික ක්‍රියාකාරීත්වය පිළිබඳව බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ, එහි වෙසෙන අබ්දුල් මුයිස් සඳහන් කළේ, නවසීලන්තය තුළදී තමන්ට කිසිදු වෙනස්කමක් නොදැනෙන බවය.

කියවන්න.

ඔහු පසුගිය දා ක්‍රයිස්ට්චර්ච්හි සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් යාන්තමින් දිවි ගලවා ගත් ශ්‍රී ලාංකිකයෙකි.

"මම මුස්ලිම් කියලා මේ රටේදී කිසි ම වෙනස්කමක් වෙලා නැහැ. ක්‍රයිස්ට්චර්ච් සිද්ධියට මුහුණ දුන්න කෙනෙක් විදිහට මට ඇති වුණ කම්පනය අඩු කරන්න නවසීලන්ත වැසියන් තමයි මට උදව් කළේ. ඔවුන් මාව තනි කළේ නැහැ."

"මේ රටේ කිසි ම කෙනෙකුට වෙනස්කමක් කරන බව දැනෙන්නේ නැහැ. අපිට ආරක්ෂාව දෙනවා කියල තියෙනවා රජය. ඔවුන් සාමාන්‍යයෙන් කියන දේ කරනවා. ඒ වගේ ම මිනිසුන් දක්වන ප්‍රතිචාරවලින් අපට විශ්වාසයක් ඇති වෙනවා," අබ්දුල් මුයිස් පැවසීය.

ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් පළ කළ ට්විටර් පණිවුඩයකින් ද මෙය තහවුරු විය.

භාෂාව, ආගම සහ සංස්කෘතිය

නවසීලන්තය යනු විවිධ ආගම්වලට අයත් එමෙන් ම විවිධ සංස්කෘතීන්ට අයත් ජන කොටස් රැසක් වෙසෙන රටකි. ඉංග්‍රීසි, දෙමළ සහ නවසීලන්තයේ ආදි වාසීන් භාවිත කරන මඕරි භාෂාව ආදී භාෂා කිහිපයක් එහි භාවිත වේ.

ඊට අමතරව, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී විවිධ ආගම් ද එහි පවතී. එම විවිධත්වය නවසීලන්තයේ දියුණුවට බලපා තිබේ ද?

"මේ රටේ ආගම සහ සංස්කෘතිය කියන දේ දෙවන ස්ථානයටයි දාලා තියෙන්නේ. මොක ද විවිධ ආගම් විවිධ සංස්කෘති තියෙන නිසා ඒවාට ප්‍රමුඛත්වනය දුන්නොත් රටේ ජනතාව බෙදෙනවා," ශානිකා සෝමතිලක සඳහන් කළාය.

Image copyright Shanika Somatilake

"දේශපාලන තීන්දු ගන්නකොට ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කරන්න ආගමික නායකයින්ට ඉඩක් නැහැ නවසීලන්තයේ. ප්‍රතිපත්තිමය තීන්දු ගන්නේ දේශපාලනඥයින්."

ලෝක ඉතිහාසයේ සිදුව ඇති ගැටුම්වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ආගම සහ සංස්කෘතිය පදනම් කරගෙන සිදුව ඇතැයි ඇතැම් අධ්‍යයනවලින් ද තහවුරු කර තිබේ.

"දේශපාලනඥයින් ආගම සහ සංස්කෘතිය ඉස්සරහට දාන්නේ උපක්‍රමයක් විදිහට. මිනිස්සු බුද්ධිමත්ව හිතන්නේ නැත්නම් ඔවුන් ඒ උපක්‍රමවල ගොදුරු බවට පත් වෙනවා," ශානිකා සෝමතිලක පැවසීය.

"ඒ වගේ ම සියලු භාෂා කතා කරන අයට ගරු කළ යුතුයි. පොදුවේ හැමෝට ම භාවිත කරන්න පුළුවන් භාෂාවක් භාවිත වෙනවා නම් ඒක හැම ජන කොටසක් අතර ම යම් වටහා ගැනීමක් ඇති කර ගන්න හේතුවක් වෙනවා."

නවසීලන්තයේ භාවිත වන ප්‍රධාන භාෂාව වන්නේ, ඉංග්‍රීසි භාෂාවය. ඊට අමතරව, ආදි වාසීන්ගේ බස වන මඕරි භාෂාව ද පාසල්වල උගන්වයි.

ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තර පාසල්වල ඉංග්‍රීසි බසින් ඉගැන්වීම් සිදු කෙරෙන අතර, ඇතැමුන් එය විවේචනය කරනු දක්නට ලැබේ.

"ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ සාමාන්‍ය වැසියන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න තිබුණ අවස්ථා නැති කළේ ඔවුන්ට හැම දා ම බලයේ ඉන්න ඕන වුණ නිසා. ලෝකය ගැන දන්න බුද්ධිමත් පිරිසක් රටේ බිහි වුණොත් තමන්ට දේශපාලන බලය අහිමි වන නිසයි එහෙම කළේ. සාමාන්‍ය ජනතාවට ඉංග්‍රීසි ඉගෙන ගන්න එක අහිමි කරලා ඔවුන් තමන්ගේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්නුවා. මේක තේරුම් ගන්න ඕන," ඒ, ශානිකා සෝමතිලකගේ අදහසයි.

එකමුතුකම

නවසීලන්තයේ පදිංචිව සිටින මෙලිස්සා සෝමවර්ධන බීබීසී සිංහල සේවයට පැවසුවේ, "මේ රටේ දියුණුවට හේතුව එකමුතුකම" බවය.

"මේ රටේ මිනිස්සු කිසි ම කෙනෙකුට වෙනස් විදිහට සලකන්නේ නැහැ. හැමෝට ම වටිනාකමක් දෙනවා. අපේ හම තද පාටයි කියල හෝ අපි වෙනත් රටකින් ආවා කියල කිසි ම වෙනස්කමක් අපිට වෙලා නැහැ."

Image copyright Reuters

අප සමග අදහස් පළ කළ ක්‍රයිස්ට්චර්ච්හි පදිංචිව සිටින හේෂාන් පෙරේරා ද මේ බව තහවුරු කළේය.

ඔහු සඳහන් කළේ, ක්‍රයිස්ට්චර්ච්හි වෙඩි තැබීම් සිදු වීමෙන් පසුව නවසීලන්ත වැසියන් ඉතාමත් එකමුතුව සහයෝගයෙන් ක්‍රියා කළ බවය.

"විශේෂයෙන් අගමැතිනිය වගේ දේශපාලන නායකයින් දෙන ආදර්ශය නවසීලන්ත වැසියන්ගේ විවෘත චින්තනයට ගොඩක් වැදගත් වනවා."

අධ්‍යාපනය

අධ්‍යාපනය යනු ඕනෑ ම රටක සෑම අංශයක ම දියුණුවට බලපාන ප්‍රබල සාධකයක් වන හෙයින් සෑම රටක් ම පාහේ අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරයි.

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට එල්ල වී ඇති ප්‍රධාන විවේචනයක් වන්නේ, රට වෙනුවෙන් ප්‍රතිපත්ති සකසන පාර්ලිමේන්තුවේ බහුතරයක් නිසි අධ්‍යාපනයක් නොලැබූවන් බවය.

"නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරෙන්න අවශ්‍ය අවම සුදුසුකම පාසල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කර තිබීම. ඒ වුණත් රටේ ජනතාව බුද්ධිමත් නිසා ගොඩක් හොඳට අධ්‍යාපනය ලබපු අයටයි ඔවුන් ඡන්දය දෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් උපාධිධාරීන් සහ විද්වතුන්," ශානිකා සෝමතිලක පැහැදිලි කළාය.

"ඒ වගේ උගත් පුද්ගලයින් දේශපාලන තීන්දු ගන්න නිසා රට භෞතික වශයෙන් විතරක් නෙවෙයි සමාජයීය වශයෙනුත් දියුණු වෙලා තියෙනවා."

Image copyright Www.parliament.nz
Image caption නවසීලන්ත පාර්ලිමේන්තුව

මේ අතර, මෙලිස්සා සෝමවර්ධන පැවසුවේ, නවසීලන්තයේ අධ්‍යාපන ක්‍රමය රැකියා වෙළෙඳපොළට මෙන් ම ගෝලීය ඉල්ලුමට ගැලපෙන ආකාරයට සකස් කර ඇති බවය.

"මෙහෙ ජීවත් වන අයට ඉගෙනීමෙන් ඉහළට ම යන්න බැරි වුණත් තමන්ගේ හැකියාවන් දියුණු කරගෙන ඒ හරහා ඉහළට යන්න ඕන තරම් අවස්ථා තියෙනවා."

"මෙහෙ අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියෙන්නේ කට පාඩම් කරලා විභාග සමත් වන ආකාරයට නෙවෙයි. දරුවන්ගේ හැකියාවන් ඉස්මතු කරන ඔවුන්ට නිදහස් පරිසරයක් නිර්මාණය කරන අධ්‍යාපන ක්‍රමයක් මෙහෙ තියෙනවා," කුඩා කල සිට ම නවසීලන්තයේ අධ්‍යාපනය ලැබූ ශානිකා සෝමතිලක පැවසීය.

කාන්තා අයිතීන්

නවසීලන්තය යනු කාන්තාවන්ට සම තැන දීම සම්බන්ධයෙන් ඉතිහාසයක් සහිත රටකි. ලෝකයේ පළමු වරට කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නේ නවසීලන්තයයි. ඒ, 1893 වර්ෂයේදීය.

"කාන්තාවන්ට මෙහේ ගොඩක් අවස්ථා තියෙනවා. විශේෂයෙන් ම වෙනත් රටවල පුරුෂයින්ගේ රැකියා විදිහට සලකන ඉන්ජිනේරු වගේ ක්ෂේත්‍රවල කාන්තාවන්ට අවස්ථාවන් වැඩියි. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ සෑම ක්ෂේත්‍රයක ම කාන්තා දායකත්වය ඉහළ දමන්න. ඒක රටේ ආර්ථිකයට ලොකු ශක්තියක්," විදුලි ඉන්ජිනේරුවරියක වන ශානිකා සෝමතිලක සිය අත්දැකීම් ප්‍රකාශ කළාය.

"අපේ අගමැතිත් කාන්තාවක්. එයාගේ වයසත් අඩුයි. ඒත් එයාට රටේ අගමැති වෙන්න අවස්ථාවක් ලැබුණා. දේශපාලනික කාරණා නිසා නෙවෙයි එයා එතනට ආවෙ. එයා පෞද්ගලිකව ජනතාව අතර ඇති කර ගත්ත විශ්වාසය නිසයි එයා අගමැති ධූරය ලබා ගත්තේ."

Image caption ජසින්ඩා ආර්ඩන් - නවසීලන්ත අගමැතිනිය

මාධ්‍ය භාවිතය

රටක දියුණුවට මාධ්‍ය භාවිතය බලපානවා ද? ශ්‍රී ලංකාවේ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වෙමින් තිබේ. මාධ්‍ය ආචාර ධර්ම ආදිය පිළිබඳව සමාජ මාධ්‍යවල ද නිරන්තරයෙන් කතාබහට ලක් වෙයි.

නවසීලන්ත මාධ්‍ය ක්‍රයිස්ට්චර්ච් වෙඩි ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ ක්‍රියා කළේ කෙසේ ද?

"මේ රටේ මාධ්‍ය ඉතා ම වගකීම්සහගත විදිහට ක්‍රියා කළා ඒ අවස්ථාවේ. මාධ්‍ය ආචාර ධර්මවලට අනුව තමයි ඔවුන් මේ සිද්ධිය වාර්තා කළේ. අගමැතිනිය ප්‍රකාශ කරන තුරු කිසි ම පාර්ශවයක් ඉක්මන් වුණේ නැහැ," මෙලිස්සා සෝමවර්ධන පෙන්වා දුන්නාය.

"රටේ ජනතාව කැළඹෙන ආකාරයට මාධ්‍ය හැසිරුණේ නැහැ."

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මාධ්‍ය එම සිද්ධිය වාර්තා කළ ආකාරයත්, ඇතැම් මාධ්‍යවේදීන් දක්වා තිබූ අදහසුත් දැඩි විවේචනය ලක් විය.

"නවසීලන්තයේ නම් වෛරී ප්‍රකාශන, ජාති භේදය වගේ දේවල් සම්බන්ධයෙන් කිසි ම සමාවක් නැහැ," ශානිකා සෝමතිලක සඳහන් කළාය.

තවත් කියවන්න.