ජිනීවා සමුළුව: යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට තවත් වසර 2ක්

Image copyright UN Human Rights/Twitter

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් 2015 වසරේදී සම්මත කර ගත් යෝජනාවලිය ක්‍රියාවට නැංවීම සඳහා තවත් වසර 2ක කාලයක් ඉල්ලා සිටීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී බ්‍රහස්පතින්දා (මාර්තු 21) ඒකමතිකව සම්මත විය.

ඒ අනුව, 2015 වසරේදී එකඟ වූ 30/1 යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා 2021 වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් හිමි වේ.

මෙම යෝජනාව සම්මත වීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන පැවසුවේ, "2015 වසරේ සිට ජාතීන් අතර සංහිඳියාව, මානව හිමිකම් තහවුරු කිරීම සහ වගවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලංකා රජය දක්වා ඇති දේශපාලනික කැපවීම පිළිබඳව යම් පිළිගැනීමක් මේ තුළින් ලැබුණු" බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන විවෘත සහ ක්‍රියාකාරී ප්‍රවේශය මෙහිදී පිළිගැනීමට ලක්වූ බව ඔහු සඳහන් කළේය.

"අපි අපේ ප්‍රමුඛතා නිවැරදිව සකස් කරලයි තියෙන්නේ. ඒ වගේ ම ශ්‍රී ලංකාවේ නීතිය සහ ව්‍යවස්ථාවට අනුකූලව රටේ ජාතික අවශ්‍යතාව සහ ශ්‍රී ලාංකිකයින්ගේ යහපත් දිවි පැවැත්ම වෙනුවෙන් නව්‍ය සහ ප්‍රායෝගික විසඳුම් සෙවීමට අපි කැපවී සිටිනවා," තිලක් මාරපන පැවසීය.

"විවිධ පාර්ශවවලින් අපට ලැබුණු සහය අගය කරනවා. ඒ වගේ ම ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු අදාළ දේශීය ආයතන සමග සමීපව කටයුතු කරන ලෙස මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටිනවා."

ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක කාලයක් ලබා දීම සෙසු රටවල ද ප්‍රසාදයට ලක්විය.

එක්සත් රාජධානිය වෙනුවෙන් පත් කර සිටින එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ජූලියන් බ්‍රෙත්වයිට් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ සෑම ජන කොටසකට ම අවශ්‍ය සාධාරණත්වය, සංහිඳියාව සහ මානව හිමිකම් තහවුරු කිරීමට ඒකමතික එකඟත්වයක් හිමි වීම පිළිබඳව සතුටු වන බවය.

මේ අතර, ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය සම්බන්ධයෙන් වූ 40/1 යෝජනාවලිය ඉදිරිපත් කළ අවස්ථාවේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ සඳහන් කළේ, "30/1 යෝජනාවලිය ස්ථාවර, පරිපූර්ණ සහ වේගවත් ක්‍රමවේදගයක් අනුව ක්‍රියාත්මක කළ යුතු" බවය.

30/1 යෝජනාවලිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයේ 30/1 යෝජනාවලිය අනුව රජය එකඟ වී ඇති කරුණු 9ක් තිබේ.

  1. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලියක් සඳහා පුළුල් ජාතික උපදේශකත්වයක් ලබා දීම (ඉටු කර අවසන්)
  2. සත්‍යය, නීතිය, සංහිඳියාව සහ යළි ඇති ගැටුම් නොවීම සම්බන්ධයෙන් කොමිසමක් ස්ථාපනය කිරීම (දුර්වල මට්ටමින් ක්‍රියාත්මකයි)
  3. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපනය කිරීම (ඉටු කර අවසන්)
  4. වන්දි ගෙවීම් කාර්යාලයක් ස්ථාපනය කිරීම (අඩක් සම්පූර්ණයි)
  5. එල්ටීටීඊ සංවිධානය විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියා සහ අපචාර විමර්ශනය කිරීම (දුර්වල මට්ටමින් ක්‍රියාත්මකයි)
  6. විශේෂ උපදෙස් මත ක්‍රියාත්මක අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම‍ (ක්‍රියාත්මක වී නැත)
  7. අධිකරණ සහ නීතිමය ආයතන මෙහෙයවීම සඳහා අවංක සහ අපක්ෂපාතී පුද්ගලයින් පත් කිරීම (ක්‍රියාත්මක වී නැත)
  8. ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම (ක්‍රියාත්මක වී නැත)
  9. කාලානුරූපී අධිකරණ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගෙන් මූල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහය ලබා ගැනීමට අවසර දීම (දුර්වල මට්ටමින් ක්‍රියාත්මකයි)

මේ අතර, යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විනිසුරුවරුන්, නීතිවේදීන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඒකාබද්ධ කිරීම සඳහා විශේෂ නීති සම්පාදනය කිරීමට දෙමුහුන් විශේෂ අධිකරණයක් ස්ථාපනය කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය දා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් නිර්දේශ අතර විය.

Image copyright FABRICE COFFRINI/AFP/GETTY IMAGES
Image caption එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව හමුවේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන මහ කොමසාරිස්වරිය

සම්පූර්ණ නිර්දේශ මාලාව දැන ගැනීමට පහත ලිපිය කියවන්න.

ඉදිරියට මොක ද වෙන්නේ?

ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ නව යෝජනාවලියට අනුමැතිය ලැබීමත් සමග 30/1 යෝජනාවලියේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තවත් වසර දෙකක කාලයක් ශ්‍රී ලංකාවට හිමි වනු ඇත.

මීට ඉහතදී නිවේදනයක් නිකුත් කළ අගමැති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කැපවන අතර ම මේ වසරේ ඉදිරිපත් කෙරෙන යෝජනාවට ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වන බවත් අවධාරණය කර තිබිණි.

එහි වැඩිදුරටත් දැක්වුණේ, "30/1 යෝජනා සම්මතය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළෙහි හිමිකාරීත්වය ශක්තිමත් කිරීම ඔස්සේ, ශ්‍රී ලංකාවට එරෙහිව අඛණ්ඩව නැඟෙන ජාත්‍යන්තර යුද අපරාධ චෝදනා වළක්වා ලීමට මෙම උපාය මාර්ගය සමත් වනු ඇති," බවය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් යහපතක් මිස කිසිදු අයහපතක් සිදු නොවන බව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පෙන්වා දුන්නාය.

"මේ සම්බන්ධයෙන් ජනාධිපති එක මතයක. අගමැති ඇතුළු රජය වෙනත් මතයක ඉන්නේ. විපක්ෂ නායක තවත් එකක් කියනවා. මේ තුළින් පෙනී යන්නේ රටේ දේශපාලන අර්බුදය උග්‍ර වී තියෙනවා කියන එකයි," ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නාය.

"මේ යෝජනාවලින් හමුදාවට කිසි බලපෑමක් වෙන්නේ නැහැ. මානව හිමිකම් උල්ලංඝණය කළ දේපාර්ශවයේ ම පුද්ගලයින්ට පමණයි බලපාන්නේ. ඒ නිසා මේක හමුදාවට කරන ද්‍රෝහීකමක් නෙවෙයි."

ඇය පෙන්වා දුන්නේ, මෙම යෝජනාවලට ප්‍රතිචාර නොදක්වා ශ්‍රී ලංකාවට "රටක් ලෙස ඉදිරියට යා නොහැකි" බවය.

"හැම පාර්ශවයක ම ජනතාව ඉදිරිපත් කරල තියෙන පැමිණිලි අනුවයි ඒ යෝජනා සකස් කරලා තියෙන්නේ. ඉතින් ජනතාව යම් දුක් ගැනවිල්ලක් ගැන පැමිණිලි කළා ම ඒක අපි ගණන් ගන්නේ නෑ කියලා කියන්න රජයට අයිතියක් නෑ. මේ තුවාල සුව කරන්න ඕන නම් ඒවා හොයලා බලන්න ම වෙනවා. යම් චෝදනාවක් එල්ල වුණා ම ඒ චෝදනාවලින් නිදහස් වෙන්න ඕන නම් ඒක විමර්ශනය කරන්න ම ඕන," ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

තවත් කියවන්න.