සෞඛ්‍ය: මස්තිෂ්ක ආඝාතය ගැන දැන ගත යුතු කරුණු කිහිපයක්

Image copyright Getty Images

Cerebral Palsy හෙවත් මස්තිෂ්ක ආඝාතය ගැන සමාජය තුළ කතාබහක් ඇති වූයේ විශ්වවිද්‍යාල කොමිසම ගත් තීරණයක් නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය අහිමිව ලතවෙන නිට්ටඹුවේ චමෝදි තරුෂිකා පෙරේරා නම් 20 හැවිරිදි තරුණිය නිසාය.

ඇය උපතින් ම මස්තිෂ්ක ආඝාතය රෝගය නිසා පීඩා විඳි තැනැත්තියකි.

නමුත් ඇයගේ නොපසුබට වීර්යයත් දෙමව්පියන්ගේ සහයත් නිසා විශ්වවිද්‍යාල වරම් හිමි කර ගැනීමට චමෝදි සමත් වූවාය.

මෙම කාරණා නිසාවෙන් මස්තිෂ්ක ආඝාතය ගැන වැඩිදුර තොරතුරු සොයා බැලීමට බීබීසී සිංහල සේවය අදහස් කළේය.

ස්විට්සර්ලන්ත සූසන් විශ්වවිද්‍යාලයේ සේවය කරන වෛද්‍ය චමීර නිලංග සමරසිංහ බීබීසී සිංහල සේවයට මස්තිෂ්ක ආඝාතය ගැන මෙම තොරතුරු ලබා දුන්නේය.

මෙම රෝගය ශ්‍රී ලංකාව තුළ උපත් 1000කට 2.5ක් හමුවේ.

"මස්තිෂ්ක ආඝාතය (Cerebral Palsy) යනු තේරෙන සිංහලෙන් කියනවා නම් සිරැරේ යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය නැති නම් මාංශ පේෂීන්ගේ ක්‍රියාකාරිත්වය පාලනය කරන මොළයේ ප්‍රදේශයේ ඇති වන විකෘති තත්ත්වයක් නිසා හට ගන්නා රෝගයක්." වෛද්‍ය සමරසිංහ කීය.

මෙම රෝගය සඳහා හේතුකාරකය වෙතැයි සලකනු ලබන්නේ ගර්භණී අවස්ථාවේ හෝ දරැවෙකු ප්‍රසූත කරන අවස්ථාවේදී මවක් මුහුණ දෙන කාරණා වේ.

ජානමය බලපෑමක් ඇත්තේ 2%ක් පමණි.

ගර්භණී සමයේ වැළඳෙන රුබෙල්ලා සහ සුරතල් සතුන් ආශ්‍රයෙන් වැළඳෙන ටොක්සොප්ලස්මෝසිස් නම් රෝගය ද කළලයේ මොළයට ඔක්සිජන් සහ සීනි අවශ්‍ය ප්‍රමාණයෙන් නොලැබීමට හේතු වන කළල අබාධ ද මේ අතර ප්‍රමුඛ බව වෛද්‍ය නිලංග සමරසිංහ පවසයි.

දරුවා ප්‍රසූත කරන අවස්ථාවේ සිදුවන මිකෝනියම් (අසූචි) පෙවීම/පිට උගුරේ යාම, අඬු පාවිච්චි කිරීම නිසා මොළයට සිදුවිය හැකි හානි සහ වැදෑමහ/පෙකණිවැල ආශ්‍රිත රෝගී තත්ත්ව ද මේ සඳහා බලපායි.

තව ද දරුවා කහ වීම ද (බිලිරුබින් වැඩි වීම) තවත් හේතුවකි.

මෙම රෝගය සහිත ඇතැම් දරුවන් උපන් විගස හඳුනා ගත නොහැකි වන අතර මාස නවයේදී පමණ ශාරීරික ක්‍රියාකාරකම්වල ඇති අසාමාන්‍යතා නිසා රෝගී තත්ත්වය වෛද්‍යවරු හඳුනාගනිති.

Image copyright Chamira Nilanga/FACEBOOK
Image caption වෛද්‍ය චමීර නිලංග

මෙහි රෝග ලක්ෂණ විශාල පරාසයක පවතී. මූලිකව දැකිය හැක්කේ ඇවිදින විලාසයේ ඇති අසාමාන්‍යතාවයි.

හන්දිවල මාංශපේෂී ගල් වීම නිසා මේ තත්ත්වය ඇති වෙයි. එසේ ම නිතර නිතර වලිප්පුව සෑදීම ද ඉගෙන ගැනීමේ, සිතීමේ සහ වෙනත් අය සමග අදහස් හුවමාරු කර ගැනීමේ දුර්වලතා ද ඇති වෙයි.

නමුත් මෙහි පරාසය ඉතා විශාලය.

Cerebral Palsy සහිත පුද්ගලයෙකු අතිශය බුද්ධිමතෙකුගේ සිට අකුරක් ලිවීමට නොහැකි පුද්ගලයෙකු දක්වා විහිදෙන බව වෛද්‍ය මතය වේ.

"මා මේ සියල්ල සඳහන් කළේ Cerebral Palsy රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවෙකු සිටින දෙමව්පියන් ද සමාජය හා රජය ද ඔවුන් ගැන අලුත් විදිහට සිතා බැලිය යුතු බව සිහිපත් කිරීමටත් යුරෝපීය රටවල එබඳු දරුවන්ට සාමාන්‍ය පන්ති කාමරවල ඉගෙනීමට අවස්ථාව සලසා දීමට උත්සහ කරන අතර විභාගවලදී බෝනස් ලකුණු ද ලබා දෙනවා," වෛද්‍ය සමරසිංහ පවසයි.

"උදාහරණයක් ලෙස වෛද්‍ය පීඨය සඳහා තෝරාගනු ලබන්නේ ලකුණු 80%න් නම් ලකුණු 70%ක් ගත් විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකුට ලකුණු 10 ක් බෝනස් ලබා දී වෛද්‍යවරයෙකු වීමට අවස්ථාව ලබා දෙනවා."

Cerebral Palsy රෝගය සඳහා අවශ්‍ය වන්නේ, වෙදකම නොව හෙදකම බව ඔහු පැවසුවේය.

"කුඩා කාලයේ සිට භෞත චිකිත්සාව නොහොත් physio-therapy, කථන පුහුණුව නොහොත් speech-therapy සහ එදිනෙදා කාර්යයන් සඳහා පුහුණු කිරීම නොහොත් occupational-therapy ලබා දීමෙන් ඔවුන් සමාජයට වැඩදායක හා බරක් නොවන තත්ත්වයට පත් කර ගන්න පුළුවන්." ඔහු තවදුරටත් පැවසීය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර