ජනාධිපතිවරණ තරග බිමට එනවා යැයි කී නාගානන්ද කොඩිතුවක්කු ගැන මේ කරුණු දැන සිටියා ද?

විල්පත්තුව ආසන්නයේ සිදු වෙතැයි පැවසෙන වන විනාශය ගැන මෙන් ම වෙනත් වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වී සිටින නාගානන්ද කොඩිතුවක්කු පිළිබඳ පසුගිය දිනවල සමාජ ජාල ඔස්සේ අවධානය යොමු විය.

ඒ, නීතිඥ ධූරයේ කටයුතු කිරීම වසර තුනකට අත්හිටුවමින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නිකුත් කිරීමත් සමගය.

නීතිඥ ධූරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබුණ ද තමන් අධිකරණයට ඉදිරිපත් කළ නඩු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා තවදුරටත් කටයුතු කරන බව නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එකී අධිකරණ තීන්දුව මගින් අදාළ නඩු විභාගවලට කිසිදු බාධාවක් එල්ල නොවන බවය.

ජනරජ ව්‍යවස්ථාව අනුව රටේ ඕනෑ ම පුරවැසියෙකුට තමන්ගේ නඩුවකට පෙනී සිටිය හැකි අතර එම අයිතිය ක්‍රියාත්මක කරමින් තමන් ඉදිරිටත් පෞද්ගලිකව ම නඩුවලට පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල වශයෙන් කතා බහට ලක් වන විල්පත්තුව සහ වෙනත් වංචා දූෂණ චෝදනා සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයට ගොනු කර ඇති නඩු පිළිබඳව බීබීසී සිංහල සේවය මීට ඉහතදී පළ කළ ලිපියට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් ප්‍රතිචාර ලැබිණි.

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙන ඔහු පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා බලෙන මෙම ලිපිය සැකසුණේ ඒ අනුවය.

අධ්‍යාපනය සහ රැකියාව

Image caption නාගානන්ද කොඩිතුවක්කු සිය බිරිඳ සමග

1954 ජූලි 31 වන දින රත්නපුර නගරය ආසන්නයේ පිහිටි බටුගෙදර ප්‍රදේශයේ උපන් නාගානන්ද කොඩිතුවක්කු දරුවන් එකළොස් දෙනෙකුගෙන් සමන්විත පවුලක දස වන දරුවාය. ඔහුගේ පියා ලිපිකරුවෙකු වශයෙන් සේවය කර ඇති අතර මව ගෘහණියකි. රත්නපුර සීවලී මහා විද්‍යාලය, සුමන විද්‍යාලය සහ සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ නාගානන්ද කොඩිතුවක්කු වාණිජ අංශයෙන් උසස් පෙළ හදෑරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වී තිබේ.

1978 වසරේදී රේගු නිලධාරියෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ බව කී නාගානන්ද, බදු වංචනිකයන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා ආරම්භයේ සිට ම තමන් ක්‍රියා කළ බව පැවසීය.

ඔහු පවසන පරිදි:

රෙදිපිළි අපනයනය කරන බවට ව්‍යාජ වාර්තා ඉදිරිපත් කරමින් රුපියල් මිලියන 876ක බදු වංචාවක් කළ සමාගමක් පිළිබඳව ඔහු කළ විමර්ශනවලින් අනතුරුව එම සමාගම වසා දැමීමට සිදුව තිබේ.

නාගානන්ද වැඩිදුරටත් කියා සිටියේ අදාළ විමර්ශනයෙන් අනතුරුව රේගුවේ සියලු විමර්ශන කටයුතුවලින් ඉවත් කෙරුණු තමන්ට විවිධ තර්ජන ද එල්ල වූ බවය.

නාගානන්ද අල්ලස් දැලේ

Image copyright Getty Images

1986 පෙබරවාරි 13 වන දා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනුණු තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බව ඔහු පවසයි. එවක කුප්‍රකට පාතාල නායකයෙකුගේ ගෝලයෙකු බන්ධනාගාරය තුළදී සිය ජීවිතයට තර්ජනයක් එල්ල කළ හැකි බවට ලද තොරතුරු අනුව ජීවිතාරක්ෂාව වෙනුවෙන් තමන්ව වෙන ම රඳවා තබන්නට බන්ධනාගාර නිලධාරීන්ට සිදු වූ බව නාගානන්ද සිහිපත් කරයි.

එහිදී ඔහුගේ නවාතැන බවට පත්ව ඇත්තේ, මරණීය දණ්ඩනය නියම වූවන්ගේ සිර කුටියකි. අල්ලස් චෝදනාවට ඇප ලබා පැමිණි තමන් වැඩතහනමට ලක්වූ කාලයෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා නීතී විද්‍යාලයට ඇතුළත් වූ බව ඔහු පැවසීය. එහෙත් වැඩි දවසක් ඔහුට නීතී විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නට නොහැකි වී ඇත්තේ අල්ලස් නඩුවක චූදිතයෙකු වන බැවින් ශිෂ්‍යභාවය අහෝසි කරන්නැයි ප්‍රතිවාදීන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීම හේතුවෙනි. ඒ අනුව නාගානන්දගේ ශිෂ්‍යභාවය වසර දහයකට අත්හිටුවා තිබිණි.

1991 වසරේදී අදාළ අල්ලස් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති අතර නාගානන්ද කොඩිතුවක්කු අල්ලස් ලබා ගැනීමේ චෝදනාවෙන් නිදහස් කෙරිණි. ඒ සමග ඔහුට වසර පහකට යළි රේගුවේ රැකියාව ලැබුණේ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස උසස්වීමක් ද සමගිනි. ජීවිත තර්ජන හේතුවෙන් තමන්ගේ පරිහරණය සඳහා ගිනි අවියක් නිකුත් කර තිබූ බව කී නාගානන්ද එවක ගිනි අවියක් ලබා දී තිබූ එක ම රේගු නිලධාරියා තමන් බව කියා සිටී.

බදු වංචා කළ ක්‍රිකට් තරු

2001 වසරේදී ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් තරු දෙකක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු සිදු කළ බදු වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කර ඔවුන්ට රුපියල් මිලියන හතරකට අධික දඩයක් පැනවීමත් සමග යළිත් තමන්ට මරණ තර්ජන එල්ල වූ බව නාගානන්ද පවසයි. රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න ද 2001දී වෙඩි තබා ඝාතනයට කිරීමත් සමග ම නාගනන්ද ජීවිතාරක්ෂාව සඳහා සිය බිරිඳ සහ දරුවන් සමග එංගලන්තය බලා පිටත්ව ගොස් ඇත්තේ, 2001 සැප්තැම්බර් 21 වන දාය. ඔහු පවසන පරිදි එවක ඔහුගේ දියණියගේ වයස මාස දෙකකි.

ඉහත කී තොරතුරුවල නිරවද්‍යභාවය තහවුරු කර ගැනීම සඳහා 2001 වන විට රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වශයෙන් ක්‍රියා කළ ලක්ෂ්මන් පෙරේරා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

විශ්‍රාමික රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එහිදී සඳහන් කළේ නාගානන්ද කොඩිතුවක්කුට ජීවිත තර්ජන එල්ලවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙතින් ප්‍රමාණවත් සහයක් නොලැබුණු බැවින් දරු තිදෙනා සහ බිරිඳ සමග රටෙන් පිටවීමට ඔහු තමන්ගේ උපකාර ඉල්ලා සිටි බවය.

ඒ අනුව ජීවිතාරක්ෂාව පතා ඔවුන්ට එංගලන්තයට යෑමට අවසර දෙන්නැයි තමන් එවක ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව ලක්ෂ්මන් පෙරේරා වැඩිදුරටත් පැවසීය.

"මට මතකයි එතකොට නාගානන්දට පොඩි දරුවෝ සිටියේ. එයා හොඳ සේවයක් කරපු කෙනෙක්. අපිට වටිනම දේ ජීවිතනේ. ඒ නිසා මං ඒ අයගේ ජීවිත ආරක්ෂා කර දෙන්න වැඩ කළා. මට අද හරිම සතුටුයි. අවංකව රාජකාරී කරන කාටත් මේ වගේ තර්ජන එනවා. බොහෝ දෙනෙක් හදන්නේ හොඳ නිලධාරීන් මුදල් ගන්නවා කියලා චෝදනා කරන්න" ඔහු වැඩිදුරටත් පැවසීය.

එංගලන්තයේ ජීවිතය

Image caption නාගානන්ද කොඩිතුවක්කු සිය සුරතලුන් සමග

සිය දියණිය සහ පුතුන් දෙදෙනා අදටත් එංගලන්තයේ ජීවත් වන බව පවසන නාගානන්ද කොඩිතුවක්කු ඔවුන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහසක් නැති බව කියා සිටී. ඒ ගැන කණස්සල්ල පළ කරන ඔහු පෙන්වා දෙන පරිදි සිය දරුවන් මව්බිමෙන් ඈත් කරනු ලැබ ඇත්තේ "ශ්‍රී ලංකාවේ පවතින දූෂිත සමාජ ක්‍රමය" විසිනි. එංගලන්තයේ ජීවත් වූ කාලයේදී සොලිසිටර් විභාගය සමත්ව නීතිඥයෙකු ලෙස ක්‍රියා කළ තමන් පසු කාලයේදී ශ්‍රී ලංකාවේ ද නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් බව නාගානන්ද පැවසීය.

යළි ශ්‍රී ලංකාවට

2009 වසරේදී යළි ශ්‍රී ලංකාවට පැමිණි තමන් යළි දූෂණ විරෝධී සටන ආරම්භ කළ බව ඔහු සඳහන් කරයි. ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ අදහසක් ඇතිව සිටින බැවින් යෝජිත ව්‍යවස්ථාව, බලය බෙදීම, අපරාධකරුවන්ට දඬුවම් ලබා දීම, සංහිඳියාව ගොඩනැගීම සහ ආර්ථීක, විදේශ ප්‍රතිපත්තිය ගැන ද බීබීසී සිංහල සේවය ඔහුගෙන් අදහස් විමසුවේය.

ජනාධිපතිවරණ පොරොන්දු

රට ගොඩ ගැනීම සඳහා තමන් ජනතාවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශය නීතිය හමුවේ ප්‍රශ්න කළ හැකි ගිවිසුමක් වනු ඇතැයි නාගානන්ද පවසයි. ඒ තුළ තමන් යෝජනා කරන නව ව්‍යවස්ථාව ගැන ද තොරතුරු එක් කිරීමට අපේක්ෂා කරන නාගානන්ද කොඩිතුවක්කු සිය යෝජිත ව්‍යවස්ථාව ගැන ජනතාව දැනුවත් කිරීම දැනටමත් ආරම්භ කර තිබේ.

නාගානන්ද කොඩිතුවක්කු පවසන පරිදි ඔහුගේ යෝජිත ව්‍යවස්ථාවේ ඇතුළත් මූලික කරුණු:

  • මහජනතාව අනුමත කළ ව්‍යවස්ථාවට ජයග්‍රහණයෙන් පසු තමා අත්සන් කිරීමත් සමග විධායක ජනාධිපති ධූරය අහෝසි වන අතර ඒ මොහොතේ සිට අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රියා කිරීම.
  • පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව 125කට සීමා කෙරේ.
  • ඇමතිවරු ගණන 15කි.
  • තීරුබදු සහිත වාහන බලපත්‍ර ක්‍රමය සම්පූර්ණයෙන් ම අහෝසි කෙරේ. (මන්ත්‍රීවරුන්ට පමණක් නොවේ)
  • පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අතීතයට බලපාන ලෙස අහෝසි කෙරේ.
  • පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි උපරිම වාර ගණන දෙකකි.
  • මහජන දේපොළ කොල්ල කෑ පුද්ගලයන්ට ඒවා නැවත භාර දීමට දින 30ක පොදු සමා කාලයක් ලබා දේ. දින 30 ඉක්මවූ පසු වරදකරුවන්ට දඬුවම් ලබා දෙනු ඇත.
  • පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුව ද ව්‍යවස්ථාවට පටහැනි නීති අහෝසි කිරීමට අධිකරණයට විශේෂ බලතල.
  • පළාත් සභා ක්‍රමය අහෝසි කෙරේ.
  • තේසවලාමේ නීතිය, මුස්ලිම් නීතිය හා උඩරට නීතිය අහෝසි කෙරෙන අතර එක රටක් තුළ එක නීතියක් බලාත්මක වනු ඇත.
  • උප්පැන්න සහතිකයට ජාතිය ඇතුළත් කිරීම ඉවත් කෙරේ.
  • යුද ජයග්‍රහණ සැමරුම් අවලංගු කිරීම

යුද්ධයකදී තම රටේ ම වැසියන් මිය යාම රජයකට ජයග්‍රහණයක් ලෙස සැමරිය නොහැකි බව පවසන නාගානන්ද කොඩිතුවක්කු එය අමතක කළ යුතු අඳුරු මතකයක් බැවින් යුද ජයග්‍රහණ යැයි හඳුන්වා ගාලු මුවදොර සැමරුම් උත්සව පැවැත්වීම අනුමත නොකරන බව සඳහන් කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර