ඔස්ට්‍රේලියාවේ රඳවා ගත් ශ්‍රී ලාංකිකයන් රැගත් නැව: "ප්‍රමාණවත් ආහාර තිබුණේ නැහැ"

Image copyright www.bluships.com
Image caption ඇනා එලිසබෙත් නෞකාව

ශ්‍රී ලාංකික සහ පිලිපීන ජාතික නාවික සේවකයින් 17 දෙනෙකු රැගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්හි කෙම්බ්ලා වරායේ රඳවා ගනු ලැබ ඇත.

ඔස්ට්‍රේලියානු සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය (Australian Maritime Safety Authority) එය රඳවාගැනීමට පියවර ගෙන ඇත්තේ, නෞකාවේ සිටි සේවකයින්ගෙන් ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනයට (International Transport Workers Federation) ලැබුණු පැමිණිලි කිහිපයක් මතය.

ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනයේ පරීක්ෂක ඩීන් සමර්ස් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, ඇනා එලිසබෙත් නමැති අජර්මනියට අයත් නෞකාවේ සේවකයින්ගේ තත්ත්වය අනාරක්ෂිත බවට පැමිණිලි ලැබුණු බවය.

නෞකාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ කර ගැනීම පිළිබඳ විමසූ අවස්ථාවේ ඩීන් සමර්ස් සඳහන් කළේ, නෞකාවේ කපිතාන්වරයා ඔවුන් සමග කතා කිරීමට ඉඩ ලබා නොදෙන බවය.

කෙසේ වෙතත්, තමන් නෞකාවේ ගබඩා පරීක්ෂා කළ අතර එහි පැවති ආහාර ප්‍රමාණවත් නොවන බව ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය.

"මේ නැව ඔස්ට්‍රේලියාවේ ඉඳලා ඉන්දියාවට ගල් අඟුරු ප්‍රවාහනය කරන එකක්. ඒක ඉන්දියාවට යාත්‍රා කරන්න දවස් 14ක් ගත වෙනවා. ඒ දවස් 14ට ප්‍රමාණවත් ආහාර නෞකාවේ නැහැ."

එමෙන් ම, සේවකයින්ට නෞකාවෙන් පිටතට ඒමට ද අවස්ථාව ලැබී නැතැයි ඔහු සඳහන් කළේය.

"මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වන තෙක් නැව රඳවාගෙන තියා ගන්නවා," ඩීන් සමර්ස් පැවසීය.

Image copyright Maritime Union of Australia
Image caption ඩීන් සමර්ස්

මේ අතර, ඔස්ට්‍රේලියානු සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය උපුටා දක්වන එරට මාධ්‍ය පවසන්නේ, ඔස්ට්‍රේලියානු සමුද්‍රීය සංගමය (Maritime Union of Australia) සහ ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනය තමන්ට සේවකයින්ගේ අනාරක්ෂිත බව සම්බන්ධයෙන් පැමිණිලි කළ බවය.

"නෞකාවේ ප්‍රමාණවත් ආහාර නොතිබූ බවට සහ සේවකයින්ට අයහපත් ලෙස සැලකූ බවට අපිට පැමිණිලි ලැබුණා" ඔස්ට්‍රේලියානු සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වන ඒබීසී පුවත් සේවය ද වාර්තා කළේය.

එම නෞකාව ජර්මානු සමාගමකට අයත් වුව ද, එය ලියාපංදිංචි කර ඇත්තේ, ලයිබීරියාවේය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කර ඊට ප්‍රතිචාර දක්වන බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර