විදුලි කප්පාදුව: "2019දී අර්බුදයක් එන බව 2016දී දැන්වූවා"

Image copyright Getty Images
Image caption මුලදී නොරොච්චෝලේ බලාගාරයේ ඇති වූ දෝෂයක් නිසා මෙලෙස සිදුවන බව පැවසුවත් එම අලුත්වැඩියා කටයුතුවලින් පසුවත් නොදන්වා විදුලි කප්පාදුව සිදුවූ බව ප්‍රදේශ ගණනාවකින් වාර්තා විය

"වාහනයක බ්‍රේක් මාරු කරන්න වාහනේ උඩට ඉස්සුවා. උඩ තියෙද්දී විදුලිය ගියා, පැය 3ක් වාහනය පල්ලෙහාට බාගන්න බැරි වුණා. විනාඩි 5ක වැඩකට ආපු ඒ මහත්තයා අන්තිමට පැය 4ක් රස්තියාදු වුණා." මේ දිනවල කඩින් කඩ සිදු වන විදුලිය ඇණහිටීම නිසා දෙහිවල ප්‍රදේශයේ කුඩා ගරාජ් හිමියෙක් තමන් මුහුණ දුන් ගැටලුවක් පිළිබඳ බීබීසි සිංහල සේවයට මෙලෙස විස්තර ඉදිරිපත් කළේය.

"විදුලිය කපනව නම් කියල කරන්න ඕනේ, එතකොට අපි ඒකට හැඩ ගැහෙනවා. දැන් දවස් ගණනක් මාර පරිප්පුවක් කෑවේ මේක නිසා. අපි පොඩි මිනිස්සු, අපිට ලොකු ව්‍යාපාර වගේ ජෙනරේටර් (විදුලි ජනන යන්ත්‍ර) නැහැනේ." ගරාජය හිමි සුමිත් බණ්ඩාර පැවසීය.

අතීතයේ මෙන් නොව වර්තමානයේ සිදුවන සියලු වාහන අලුත්වැඩියා කටයුතු නව තාක්ෂණය භාවිත කරමින් සිදුවීම හේතුවෙන් විදුලි කප්පාදුව තම දිනපතා වැඩකටයුතුවලට දැඩි බලපෑම් එල්ල කරන බව ඔහු පවසයි.

"වාහන දෙකක් තියෙනවා පේන්ට් කරලා භාර දෙන්න සිකුරාදා වෙනකොට, දැන් ඒක කරන්න බැහැ. මොක ද දවසෙන් භාගයක් විතර විදුලිය නැහැ." සුමිත් බණ්ඩාර පැවසුවේය.

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය කැපීමේ වේලාවන් නිල වශයෙන් දැනුම් දීම එක්තරා ආකාරයකට තම වැඩ සැලසුම් කර ගැනීම සඳහා අස්වැසිල්ලක් වුවත් සඳුදා (මාර්තු 25) දින විදුලිය කැපීම එම කාලසටහන අනුව සිදු නොවූ බවට ඔහු චෝදනා කරයි.

"මගේ පුතා කාලසටහන එවලා තිබුණා. මේක තේරුම් ගන්න උපාධියක් තියෙන්න ඕනෙ. මේකෙ තියෙන්නේ දෙහිවල උදේ 11.30ට කපනවා කියලා, හැබැයි කැපුවේ දවල් 2.30ට. හැම වැඩකට ම වගේ විදුලියෙන් වැඩ කරන ගැජමැටික් තියෙන්නේ. ඔක්කොම වැඩ අවුල් වෙලා" යැයි ඔහු පැවසීය.

දැනට සතියකට වැඩි කාලයක සිට නොදන්වා විදුලිය කප්පාදු කිරීම් ගැන ප්‍රදේශ රැසකින් වාර්තා විය.

Image copyright Getty Images
Image caption නොරොච්චෝලේ බලාගාරය

මුලදී නොරොච්චෝලේ බලාගාරයේ ඇතිවූ දෝෂයක් නිසා මෙලෙස සිදුවන බව පැවසුවත් එම අලුත්වැඩියා කටයුතුවලින් පසුවත් නොදන්වා විදුලි කප්පාදුව සිදුවූ බව ප්‍රදේශ ගණනාවකින් වාර්තා විය.

තත්ත්වය එසේ තිබියදී පසුගිය මාර්තු 20 වන දින විදුලි බල මණ්ඩලය මෙන් ම විදුලි බල ඇමති රවී කරුණානායක නිකුත් කළ නිවේදනවල සඳහන් වන්නේ, නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් සිදුවූ විදුලිය බිඳ වැටීම් මේ වන විට සම්පූර්ණයෙන් ම යථා තත්ත්වයට පත් කර තිබෙන බවය.

අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි ඉල්ලුමේ පැහැදිලි වර්ධනයක් සිදුවී තිබුණත් කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවකට යාමට අදහස් නොකරන බව ද එහිදී ප්‍රකාශ විය.

මේ තොරතුරුද කියවන්න:

"බීබීසි සිංහල වෙබ් අඩවියේ අපි දැක්කා විදුලිය කප්පාදු කරන්නේ නැහැ කියලා විදුලි බල මණ්ඩලය කියලා තියෙනවා. නමුත් දවස් හතක් විතර කළුතර ප්‍රදේශයේ හැම දා ම පැය 4ක් 5ක් ලයිට් කපනවා" පසුගිය ඉරිදා දින බීබීසි සිංහල සේවය ඇමතූ කාන්තාවක් කියා සිටියාය.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ ආකාරයේ චෝදනා රැසක් විදුලි බල මණ්ඩලයට සහ විදුලි බල ඇමති රවී කරුණානායකට එල්ල වෙමින් තිබෙනු දක්නට හැකිය.

Image caption විදුලි බල පද්ධතියක් නිරීක්ෂණය කරන ඇමති රවී කරුණානායක

විදුලි බල ක්ෂේත්‍රය නියාමනය කරන නිල ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද මෙලෙස නොදන්වා විදුලිය කැපීම නීති විරෝධී බව ප්‍රකාශ කළ අතර, ඒ පිළිබඳ නීතිමය පියවර ගැනීමට තොරතුරු ලබා දෙන ලෙස විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබිණි. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් පුවත්පත් දැන්වීම් ද පළ කර තිබිණි.

"විදුලිය ධාරිතාවේ වර්ධනයක් සිදු නොවනවා නම් 2019 වෙද්දී විදුලිය හිඟයක් ඇති වන බව අපි විදුලි බල මණ්ඩලයට 2016දී දැන්වූවා. අපි කළ අධ්‍යනයක තොරතුරු අනුව අපි දැනුම් දුන්නා මේ ගැන දැන් ම පියවර ගත්තේ නැති නම් 2019දී අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා කියලා" ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂක ජයනාත් හේරත් බීබීසී සිංහල සේවයට පැවසීය.

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය ස්ථාපනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි වෙනත් බලාගාරයක් මේ දක්වා ඉදි කර නොමැති වීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

යෝජිත සහ වැඩ ආරම්භ කළ බලාගාර පවා විවිධ හේතු මත ඉදිකිරීම් ප්‍රමාද වීම නිසා අද වන විට ඇති විදුලි බල ඉල්ලුම සපුරාලීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

මාර්තු 25 සිට සිදු කෙරෙන නිල විදුලිය කප්පාදුවට පෙර ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ලබා ගත යුතු අවසරය ද ලබාගෙන නොමැති බව ජයනාත් හේරත් පැවසුවේය.

Image copyright Getty Images
Image caption "අපිට දැන් විදුලි හිඟයක් පවතිනවා. මට ඒක හංගන්න අවශ්‍ය නැහැ. මණ්ඩලයේ ඉන්ජිනේරුවො විදුලි කප්පාදුවකට යමු කියල කිව්වෙ මීට කාලයකට කලින්"

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා තිබෙන වියලි කාලගුණ තත්ත්වය වත්මන් විදුලි අර්බුදයට හේතු වී තිබෙන බව විදුලි බල ඇමති රවී කරුණානායක පවසයි.

"විදුලි ඉල්ලුම 15% කින් වැඩි වෙලා තියනවා. අධික රස්නේ නිසා ෆෑන්, වායුසමීකරණ වැඩිපුර භාවිත වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් 10ට කලින් මේකට විසඳුමක් දෙන්න" ඇමතිවරයා කියා සිටියේය.

"අපිට දැන් විදුලිය හිඟයක් පවතිනවා. මට ඒක හංගන්න අවශ්‍ය නැහැ. මණ්ඩලයේ ඉන්ජිනේරුවො විදුලි කප්පාදුවකට යමු කියල කිව්වෙ මීට කාලයකට කලින්. ඒත් මමයි ඒක වළක්වා ගත්තෙ. දැන් මට එහෙම බලපෑම් කරන්න බැරි මට්ටමකට මේක අර්බුදයක් වෙලා. විෂය භාර අමාත්‍යවරයා විදියට මම ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා. සොබාදහමේ වෙනස්කම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විදියට මට කිසි දෙයක් කරන්න බැහැනෙ." රවී කරුණානායක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

ශ්‍රී ලංකාවට පතිත වන දැඩි අව් රශ්මිය හේතුවෙන් අඟහරුවාදා (මාර්තු 26) දින කොළඹ, ගම්පහ, කුරුණෑගල, පුත්තලම සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් කර තිබිණි.

මෙම තත්ත්වය පසුගිය සති කිහිපය පුරා ම පැවති අතර විදුලි පංකා මෙන් ම වැඩි විදුලියක් වැය වන වායුසමීකරණ යන්ත්‍ර ද දැඩි ලෙස භාවිත වෙමින් තිබේ.

වායුසමීකරණ නඩත්තු කරන ආයතනයක නියෝජිතයෙකු බීබීසි සිංහල සේවයට පැවසුවේ, පෙබරවාරි සහ මාර්තු යන මාස දෙක තුළ අනිකුත් කාලවකවානුවට වඩා වායුසමීකරණ භාවිතයේ වැඩි වීමක් දක්නට ලැබෙන බවය.

Image copyright Facebook / Ravi Karunanayake

කෙසේ නමුත්, බලශක්ති ප්‍රවීණයන් පෙන්වා දෙන පරිදි විදුලිය කප්පාදු කිරීම සිදුව ඇත්තේ වියලි කාලගුණික තත්ත්වයට වඩා 2015 වසරෙන් පසු යෝජිත නව විදුලි ජනන ක්‍රියාවලි හා නව විදුලි බලාගාර ඉදි නොකිරීම හේතුවෙනි.

විදුලි බල අමාත්‍ය රවී කරුණානායක විසින් ද එම තත්ත්වය පිළිගනු ලැබීය.

"මම අමාත්‍යාංශය භාර අරන් දින 71කින් ඒ අමාත්‍යාංශයේ ඇති වන ගැටලුවලට කොහොම ද පිළියම් සොයන්නේ..? මේවට සූදානම් වෙන්න, කලින් අමාත්‍යවරුන්ට ඕන තරම් කල් තිබුණා. ඒ අයට තිබුණා විකල්පවලට යන්න. ඒත් හැමෝ ම කරල තිබුණේ ප්‍රශ්නවලට පැලැස්තර දාපු එක විතරයි.

මගෙන් පස්සෙ එන තවත් කිසි ම අමාත්‍යවරයෙකුට මේ වගේ ප්‍රශ්න කවදාවත් ඇති නොවන විදියට කටයුතු කරනවා." අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන් ම දැඩි උණුසුම් කාලයක දිනපතා දිවා කාලයේ පැය තුනක් සහ රාත්‍රී කාලයේ පැයක් ලෙසත් ක්‍රියාත්මක වන මෙම විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ.

කුඩා ව්‍යාපාරවල යෙදෙන්නන්ට එමගින් තම අදායම් මාර්ග පවා අහිමිව තිබේ. විදුලිය කප්පාදුව නිසා තමන් මුහුණ දෙන පීඩාවන් ගැන ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවට දැඩි විරෝධය පළ කර තිබේ.

"විනිසුරුතුමිය emergency lamp එකක හා rechargeable fan එකක ආධාරයෙන් නඩු අහනවා! අපි, ටයි කෝට් ඇඳගෙන සැමන් ටින් එක ඇතුළේ ඉන්න මාළු කෑලි වගේ සේවාදායකයෝ එක්ක කිටි කිටියේ හිර වෙලා තැම්බෙනවා! පුදුම පරිප්පුවක්! රටේ අනාගත විදුලි පරිභෝජනයවත් සපයා ගන්න බැරි ආණ්ඩු තමයි අපිට 1995 ඉඳලා තිබිලා තියෙන්නේ." නීතිවේදියෙකු තැබූ ෆේස්බුක් සටහනක එසේ සඳහන් වී තිබිණි.

තවත් තොරතුරු: