වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන්: ශ්‍රී ලංකාවේ ලොකු ම ජාත්‍යන්තර සමුළුව අවසානයේ කළු පැල්ලමක් වේවි ද?

Image caption සයිටීස් මහ ලේකම් ඉවෝනි හියුග්රෝ 2018 දෙසැම්බර් 21 දින ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාව

රටවල් 183ක නියෝජිතයන් 4500කගේ පමණ සහභාගීත්වයෙන් මේ වසරේ මැයි මස 23 සිට ජුනි මස 03 වන දා තෙක් කොළඹදී පැවැත්වීමට නියමිත CITES - Cop 18 සමුළුව ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර සමුළුවක් ලෙස සඳහන් වේ.

ඇස්තමේන්තුවලට අනුව ඒ සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක් වැය කෙරේ.

සමුළුව ආරම්භ වීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ, දින 60කට අඩු කාලයකි.

සමුළුව පැවැත්වෙන්නේ, වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් හා ශාකවල අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය (Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora - CITES) සම්බන්ධයෙනි.

එසේ වුව ද බ්‍රහස්පතින්දා (මාර්තු 28) වන විටත් ජාත්‍යන්තර සමුළුවේ සංවිධාන කටයුතුවලට අදාළව කළමනාකරණ සමාගම (Event Management Company) තෝරා ගැනීමේ ටෙන්ඩරය පවා මේ දක්වා කිසිවෙකුටත් ලබා දී නොමැත.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැත්වීමට නියමිත සමුළුව සංවිධානය කිරීම පිණිස තෙවසරක් මුළුල්ලේ සැලසුම් සකස් කෙරෙමින් පැවතිණි.

මේ අතර එය සංවිධානය කිරීමේදී සිදු වන "නීති විරෝධී ක‍්‍රියාවන්හි" වගකීම භාර ගත නොහැකි බව පවසමින් සයිටීස් ශ‍්‍රී ලංකා ලේකම් කාර්යාලයේ ප‍්‍රධානීන් ඉල්ලා අස්වීමත් සමග CITES - Cop 18 සමුළුව ශ්‍රී ලංකාවට කළු පැල්ලමක් එක් කරනු ඇති දැයි යන්න පිළිබඳව අවධානය යොමු වෙමින් පවතී.

එහෙත් ශ්‍රී ලංකා ආණ්ඩුව පවසන්නේ, නිලධාරීන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම මේ අර්බුදකාරී තත්ත්වයට හේතුව බවය.

2016 වසරේ සැප්තැම්බර් 05 වන දා ශී‍්‍ර ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව මෙම සමුළුවේ සත්කාරකත්වය ශ‍්‍රී ලංකාවට හිමි විය.

Image caption සමන්ත ගුණසේකර

එවකට බුද්ධ ශාසන අමාත්‍යවරයාව සිටි ගාමිණී ජයවික‍්‍රම පෙරේරා 2018 අගෝස්තු 11 දින ඉදිරිපත් කරන ලද MB/01 CITES/2018-2019-3 අංකය සහිත අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මෙම සමුළුවේ සංවිධාන කටයුතු සඳහා ආචාර්ය සෙව්වන්දි ජයකොඩිගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කෙරිණ.

එහෙත් CITES - Cop 18 සමුළුවේ සම්බන්ධීකාරක ලෙස ක‍්‍රියා කළ ආචාර්ය සෙව්වන්දි ජයකොඩි මෙන් ම සයිටීස් ශ‍්‍රී ලංකා කාර්යාලයේ ජෛව විවිධත්ව හා සංස්කෘතික අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මේ සතිය තුළ ඉල්ලා අස්වීමේ ලිපි භාර දී තිබේ.

එම ලිපි යොමු කර තිබෙන්නේ සංචාරක ප‍්‍රවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙතය. සමුළුවේ කටයුතු සඳහා උපදේශක ලෙස පත් කළ ඩැනියල් ප‍්‍රනාන්දු මීට මසකට පමණ පෙර ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී තිබිණි.

ඇමති ගැන අවිශ්වාසය හා සැකය

මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ලොව පළමු රේගු ජෛව විවිධත්ව ඒකකය නිර්මාණය කළ සමන්ත ගුණසේකර පැවසුවේ, විශේෂඥ උපදෙස්වලට පටහැනිව "දේශපාලන ඇඟිලි ගැසීම් මත සිදු වන නීති විරෝධී ක‍්‍රියා හා මූල්‍ය වංචාවන්ට" සම්බන්ධ විය නොහැකි නිසා තමන් ඇතුළු පිරිස ඉල්ලා අස්වූ බවය.

CITES පිළිබඳ විද්‍යාපති උපාධිය හිමි එක ම ශ‍්‍රී ලාංකිකයා ඔහුය.

අමාත්‍ය ජෝන් අමරතුංග සහ ඔහුගේ දියණිය මේ සඳහා වගකිව යුතු බවට ඔහු චෝදනා කළේය.

''මොන්ටිසෝරියක විවිධ ප‍්‍රසංගයක් සංවිධානය කළත් මාස දෙක තුනකට කලින් දන්නවා කවුද ඒක කරන්නේ කියලා. ඒත් අපේ රටේ තියෙන දැවැන්තම ජාත්‍යන්තර සමුළුව අවුරුදු තුනක් තිස්සේ ප්ලෑන් කරලත් අපි තාම දන්නේ නෑ Event Management කවුද කරන්නේ කියලා.'' යනුවෙන් පැවසූ සමන්ත ගුණසේකර වැඩි දුරටත් පෙන්වා දෙන්නේ සයිටීස්හි සංරක්ෂණ මාර්ගෝපදේශයන්ට පටහැනිව දැන් සමුළුවේ සංවිධාන කටයුතු සිදු කෙරෙන බවය.

ඉල්ලා අස් වීමේ ලිපි භාර දීමට පෙර සයිටීස් සමුළුවේ ප‍්‍රධානීන් 2019 මාර්තු 19 වන දා සංචාරක ප‍්‍රවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් යවා ඇත.

එම ලිපියෙන් පෙන්වා දී තිබෙන්නේ ආරම්භයේ සිට ම විෂය භාර අමාත්‍යවරයා සමග තිබූ සම්බන්ධීකරණය හා විශ්වාසය මේ වන විට සැකය හා අවිශ්වාසය බවට පත්ව ඇති බවය.

කෙසේ නමුත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන අමාත්‍ය ජෝන් අමරතුංග, දූෂණ සිදු වීමේ හැකියාව වැළැක්වීම හේතුවෙන් පදවිවලින් ඉල්ලා අස් වූ බවට අදාළ නිලධාරීන්ට චෝදනා කරයි.

මේ අතර, සයිටීස් ශ‍්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සඳහා පුද්ගලයෙකු නම් කරමින් අමාත්‍ය ජෝන් අමරතුංග ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි සයිටීස් මහ ලේකම් කාර්යාලයට 2019 මාර්තු 19 වන දිනය සහිතව යොමු කළ ලිපියක් ගැන ද අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

චෝදනාවලට ඇමතිගෙන් පිළිතුරු

මේ චෝදනා පිළිබඳව බීබීසී සිංහල සේවය අමාත්‍ය ජෝන් අමරතුංගගෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, මෙම ඉල්ලා අස්වීම් ගැන තමන් කිසිවක් නොදන්නා බවය.

''මේක මිලියන ගාණක වැඩක්. ඒ ගොල්ලන්ගේ ටෙන්ඩර් ගැන මම හාර අවුස්සනවා. ඒකට ඒ අය කැමති නෑ. ඒ ගොල්ලෝ අමුතු විදියට කරන්න හදනවා. මම ඒවාට ඉඩ දෙන්නේ නෑ. සල්ලිවලට අපි වග කියන්න ඕන,'' යනුවෙන් ද ඇමතිවරයා කියා සිටියේය.

සමුළුව සංවිධානයට අදාළ ප‍්‍රධාන ටෙන්ඩර් මේ දක්වා ප‍්‍රදානය කර නැති බව තමන් නොදන්නා බවත් අමාත්‍ය ජෝන් අමරතුංග බීබීසී සිංහල සේවය සමග පැවසීය.

CITES - Cop 18 සමුළුව සංවිධානය කිරීමේදී සංචාරක ප‍්‍රවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි වෙත සුවිශේෂී වගකීමක් පැවරී තිබේ. අවස්ථා ගණනාවකදී වනජීවී විෂය, අමාත්‍යවරුන් අතර මාරු වූ අතර ආරම්භයේ සිට ම සමුළුව සංවිධානය කිරීම සම්බන්ධයෙන් පැවතියේ අවිධිමත් සැලසුම් බව ද අනාවරණය වී තිබේ.

සමුළුව සදහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 250ක් බවට මුලින් ම ඇස්තමේන්තු කර 2017 දෙසැම්බර් 14 වන දින මුදල් වෙන් කර තිබේ. එහෙත් එය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ වියදම් ගෙවීමට පවා ප‍්‍රමාණවත් නොවන බව පසුව අනාවරණය විය.

සංචාරක ප‍්‍රවර්ධන, වනජීවී හා ක‍්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කියා සිටියේ මේ සඳහා රුපියල් බිලියන 1.2ක් වැය වන බවය. එයින් මිලියන 300ක අඩුවක් මේ වන විට ද පවතින අතර එය සොයා ගැනීම සඳහා මේ දිනවල පියවර ගනිමින් සිටින බවත් ඔහු ප‍්‍රකාශ කළේය.

එමෙන් ම ඉසව් කළමනාකරණ සමාගම (Event Management Company) තෝරා ගැනීමට අදාළ කටයුතු හැකි ඉක්මනින් අවසන් කරන බව ද ඉල්ලා අස් වීමේ ලිපි භාර දුන් විශේෂඥයන් සමග සාකච්ඡා කර කෙසේ හෝ මෙය ශුභවාදීව අවසන් කිරීමට උත්සහ ගන්නා බව ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේය.

මැයි 10ට පෙර අවසන් කළ යුතුයි

CITES - Cop 18 සමුළුවේ සියලු සංවිධාන කටයුතු සහ ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සිදු කරන පරිශ‍්‍රයේ අධීක්ෂණ කටයුතු අවසන් කර මැයි 10 වන දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක අංශයට භාර දිය යුතුව ඇත. සමුළුව සංවිධානය කිරීමේදී ලංකාවේ මතුව ඇති තත්ත්වය ගැන ජිනීවාහි පිහිටි සයිටීස් මූලස්ථානයට ද දැන් වාර්තා වී තිබේ. එහෙත් දැන් සමුළුව අවලංගු කිරීමට හෝ කල් දැමීමේ හැකියාවක් නැත.

සයිටීස් මහ ලේකම් ඉවෝනි හියුග්රෝ 2018 දෙසැම්බර් 21 දින ශ‍්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සහ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සමුළුව පැවැත්වීමේ කොළ සංඥාව නිකුක් කර අවසන්ය.

Image caption සයිටීස් මහ ලේකම් ඉවෝනි හියුග්රෝ 2018 දෙසැම්බර් 21 දින ශ‍්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සහ ඉහළ පෙළේ නිලධාරීන් හමුවිය

ලංකාවට ලැබෙන ප‍්‍රතිලාභ

"වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වන සතුන් හා ශාකවල අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ සම්මුතිය" සමුළුව ශ‍්‍රී ලංකාව පිළිබඳ ලෝක අවධානය යොමු වන අවස්ථාවකි. එය සංචාරක කර්මාන්තයට විශේෂයෙන් වැදගත් වේ.

විදේශ සබඳතා ශක්තිමත් කර ගැනීමට අවස්ථාවක් ද එමගින් උදා වී තිබේ. එමෙන් ම ලංකාවේ ජෛව විවිධත්වය හා සංස්කෘතිය පිළිබඳ ලෝක අවධානය යොමු වන සුවිශේෂී අවස්ථාවකි.

සමුළුවේ අරමුණ සංරක්ෂණ සංකල්පය (Conservation Concept) වන අතර හැකිතාත් පරිසර හිතකාමී ලෙස සමුළුව සංවිධානය කළ යුතුව තිබේ.

එහෙත් ප‍්‍රධාන සැලසුම් මේ වන විට වෙනස්ව ඇති අතර දැන් එය සංචාරකයන් පමණක් ඉලක්ක කර ගත් ප‍්‍රවර්ධන වැඩසටහනක් වන බවට පෙනෙන්නට තිබීම ගැන පරිසරවේදියෝ කනස්සල්ල පළ කරති.

1979 දී ශ්‍රී ලංකාව මේ සම්මුතියට අත්සන් කළ ද අන්තර්ජාතික ජාවාරමක් වූ වඳ වී යන සතුන් හා ශාක වෙළෙඳාම තහනම් කිරීමට අදාළ නීති හඳුන්වා දී නැත. එවැනි පසුබිමක සයිටීස් මාර්ගෝපදේශ උල්ලංඝණය කිරීම් හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාව අසාදු ලේඛනයට ඇතුළත් කිරීමේ අවදානමක් ද පවතින බවත් පරිසරවේදීන්ගේ මතය වී තිබේ.