බ්‍රිතාන්‍යයේ වෙසෙන තවත් "දීප්තිමත්" ශ්‍රී ලාංකික දරුවෙක්: අයින්ස්ටයින්ටත් වඩා IQ ඉහළයි

බ්‍රිතාන්‍යයේ වාසය කරන දරු දැරියන් අතරින් දක්ෂතම දැරිය ලෙසින් සම්මාන ලැබීමට දොළොස් හැවිරිදි ශ්‍රී ලාංකික දැරියක් පසුගියදා සමත් වූවාය.

නිශී උග්ගල්ල එසේ සම්මාන ලැබුවේ චැනල් 4 නාලිකාව විසින් නිෂ්පාදනය කරනු ලබන "Child Genius" වැඩසටහනේදී තමන් සමග තරග කළ බ්‍රිතාන්‍යයේ වෙසෙන විවිධ ජාතීන්ට අයත් දරුවන් පිරිසක් පරදවා ඉහළ ජයග්‍රහණයක් ලබාගනිමිනි.

ඇය එසේ සම්මාන ලැබීමට ප්‍රථම වසර කිහිපයකට පෙර සමත් වූ ආකාරයේ බුද්ධි මට්ට්ම මැනීමේ පරීක්ෂණයකින් ඉතා ඉහළ ලකුණු ලබාගැනීමට තවත් ශ්‍රී ලාංකික දරුවෙක් සමත් වී සිටී.

Intelligence Quotient හෙවත් බුද්ධි මට්ටම මැනෙන IQ පරීක්ෂණයේ දී ලකුණු 162 ක් ලබා සිටින ඔහු සවන් අපූර්ව කස්තුරිආරච්චි ය.

ඒ අනුව දොළොස් හැවිරිදි සවන්ට ද "Child Genius" වැඩසටහනට සහභාගි වීමේ අවස්ථාව උදාවීමට ඉඩ තිබේ.

"මට හරිම සතුටුයි ... කියාගන්න බැරි තරම් සතුටුයි ...," සවන් අපූර්ව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් පැවසීය.

"මට හොඳ මතකයක් තියෙනවා. මට දෙයක් දැනගන්න ඕනේ නම් කොයිතරම් අමාරු වුනත්, පොත් කියවල, අන්තර්ජාලයට ගිහිල්ල මම ඒ දේ සොයා ගන්නවා."

"ඒ නිසා මේකෙන් මට දිනන්න පුළුවන් වේවි කියල හිතුනා."

Image caption සවන් අපූර්ව, සිය මව මිහි ප්‍රනාන්දු සහ පියා මංජුල කස්තුරිආරච්චි සමග

"මගේ ආසම විෂයය ගණිතය."

ළමා වියේ සිට සිය පුතනුවන්ගේ දක්ෂතා හඳුනාගත් ඔහුගේ මව, මිහි ප්‍රනාන්දු, ඔහු දිරිමත් කළ බව පැවසීය.

"පුංචි කාලෙම එයා වයසට වඩා ගොඩක් ඉස්සරහින් හිටිය. අවුරුද්දක් විතර වෙද්දී එයා කතාකරන්න පටන් ගත්තා. එයා අනිත් ළමයින්ට වඩා කලින් තමා හැම දෙයක්ම පටන් ගත්තේ," මව තම දරුවාගේ ළමා විය මෙනෙහි කළාය.

"පුතාට අවුරුද්දයි, මාස තුනේදී අපි එයාට අකුරු කියෙව්ව. ඊට පස්සේ අපි දෙන්නම වැඩ කරන නිසා අවුරුදු දෙක වෙනකොට අපි එයාව ළමා පාසලට යැවුවා."

'ටියුෂන් නෑ'

ශ්‍රී ලංකාවේ වාසය කළ සමයේ දෙහැවිරිදි කුඩා පුතු ළමා පාසලේදී ඉංග්‍රීසි භාෂාවෙන් පිළිගැනීමේ කතාවක් පැවැත්වූ අවස්ථාව ගුරු දෙගුරු බොහෝ දෙනා විශ්මය පත් කළ මොහොතක් විය.

"අවුරුදු දෙක වෙද්දී කොන්සර්ට් එකේදි එයා ඉස්සරහට ගිහිල්ල වෙල්කම් ස්පීච් එකක් කළා."

ළමා වියේ සිටම සිය කුඩා පුතු පොත පතට ඇලුම් කළ ආකාරයත් මව, මිහි ප්‍රනාන්දුට මතකය.

කස්තුරිආරච්චි පවුල බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණ තිබෙන්නේ 2011 දීය.

"මෙහෙට ඇවිල්ල මාස දෙක, තුනකින් පුතා බොහොම ඉක්මනට හැම දෙයක්ම තේරුම් අරගෙන ඉංග්‍රීසියෙන් කියවන්න, ලියන්න පුරුදු වුණා."

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ශිෂ්‍යත්ව විභාගය ආකාරයේ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන 11+ විභාගයේ දී සවන් අපූර්ව, මැන්චෙස්ටර් ප්‍රදේශයේ සියලුම ඉහළ පාසල්වලට ඇතුළත් වීමේ සුදුසුමක් ලබමින් එම විභාගය ඉහළින්ම සමත් විය.

"මම ඇත්තටම ගෙදර ඉගැන්නුවේ, එක අමතර පන්තියකටවත් යැවුවේ නෑ."

දරුවන්ට උපදෙසක්

සිය අධ්‍යාපන කටයුතු හමාර කර ගුවන් ඉංජිනේරුවරයෙකු වීම සවන් අපූර්ව ගේ බලාපොරොත්තුවය.

"එදා දෙන වැඩේ එදාම කරල ඉවර කරන්න, අතපසු කරන්න එපා," යන්න බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල වෙසෙන සිය සම වයසේ දරුවන්ට ඔහු දෙන උපදෙසය.

"දෙයක් හොයාගන්න ඕනේ නම්, දැනගන්න ඕනේ නම් උත්සහය අත්හරින්න එපා."

එමෙන්ම හැකි තරම් උනන්දුවෙන් පොත්පත් කියවන මෙන් ද සවන් අපූර්ව කස්තුරිආරච්චි සිය සම වයසේ දරු දැරියන්ට උපදෙස් දෙයි.

IQ යනු කුමක්ද?

Intelligence Quotient හෙවත් IQ යනු සිය බුද්ධිමත්භාවය මැනීමට භාවිත කළ හැකි ක්‍රමවේදයකි.

එසේ බුද්ධිමත්භාවය මනින IQ පරීක්ෂණ ගණනාවක් පවතී. තමන් විසින්ම පවත්වන පරීක්ෂණය ඇතුළු 200 කට ආසන්න පරීක්ෂණවල ප්‍රතිඵල Mensa ආයතනය පිළිගනියි. ඇතැම් පරීක්ෂණ පැයකින් පමණ අවසන්වන අතර, ඇතැම් පරීක්ෂණ සඳහා කාලය සීමිත නැත.

ඇමෙරිකානු Mensa ආයතනයේ ප්‍රධාන මනෝ චිකිත්සකයා වන ආචාර්ය ෆ්‍රෑන්ක් ලව්ලිස් (Dr Frank Lawlis) පවසන පරිදි ඔවුහු සාමාන්‍යයෙන් spatial, quantitative, and verbal skills දක්ෂතා සලකා බලති.

සාමාන්‍යයෙන් spatial questions ප්‍රශ්න යනු හැඩය සහ මැනීම පිළිබඳ ගැටලු වන අතර, ප්‍රමාණාත්මක ගැටලුවලට අයත්වන්නේ ගණිත විෂයට අදාළ කරුණුය.

verbal questions යනු භාෂා හැකියාවට අදාළ ප්‍රශ්න වේ. එක් වචනයක් තවත් වචනයකට සමානවන්නේ කෙසේද යන්න උදාහරණයකි.

Mensa ආයතනය පිළිගනු ලබන්නේ පරීක්ෂණවලට ඉදිරිපත්වන පුද්ගලයන්ගෙන් ඉහළම ලකුණු ලබාගන්නා 2% පමණය. IQ පරීක්ෂණයෙන් ලකුණු 130 ක් හෝ ඊට වැඩි ලකුණු ලෙස දළ වශයෙන් එය සැලකිය හැකිය.

මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් IQ පරීක්ෂණයට පෙනී සිටියේ නම් ඔහු ලකුණු 160 ලබා ගනු ඇතැයි විශ්වාස කෙරේ. මෑතදී දිවියෙන් සමුගත් මහාචාර්ය ස්ටීවන් හෝකින් ද IQ ලකුණු 160 ක් ලබාගෙන තිබිණ.

කියවන්න: