ලන්ඩන්හි පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු ඝාතනය කරයි

Image copyright MET POLICE
Image caption ඝාතනයට ලක් වූ 54 හැවිදිරි රවී කතකමාර්

බ්‍රිතාන්‍යයේ දිවි ගෙවූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු කොල්ලකරුවෙකු එල්ල කළ පිහි ඇනුමකින් ජීවිතක්ෂයට පත් වී තිබේ.

වයඹ දිග ලන්ඩනයේ පුවත්පත් නියෝජිතවරයෙකු ලෙස ක්‍රියා කළ 54 හැවිදිරි රවී කතකමාර්ට අයත් සිල්ලර භාණ්ඩ සාප්පුව කොල්ල කෑමට පැමිණි පුද්ගලයෙකු මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

පොලිසිය පවසන්නේ, ඔහු උදෑසන හයට සාප්පුව විවෘත කරන අවස්ථාවේ දී මෙම පහර දීම සිදුව ඇති බවය.

රවී කතකමාර් සිහිසුන්ව බිම වැටී සිටි ආකාරය සාප්පුව පසු කර යන පුද්ගලයෙකු දැක ඇති අතර, ඉන් මිනිත්තු 45කට පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහුගේ සාප්පුව පිහිටි 'පිනර්' ප්‍රදේශයේ පදිංචිකරුවන් ඔහු හඳුන්වන්නේ "ඉතා මිත්‍රශීලී සහ ආචාරශීලී" පුද්ගලයෙකු ලෙස වන අතර මෙම මරණය ඔවුහු දැඩි ලෙස කම්පාවට පත් කරන බව පැවසූහ.

සාප්පුවේ තිබූ මුදල් ලාච්චුව සොරකම් කර තිබූ අතර, බොහෝ දුරට එය යම් ස්ථානයකට විසි කර ඇතැයි පරීක්ෂකයෝ පවසති. මේ වන තෙක් මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

Image copyright PA
Image caption "මෙය ඉතා අහිංසක මිනිසෙකුට එල්ල කළ කුරිරු සහ අසාධාරණ ප්‍රහාරයක්" යැයි පොලිස් නිලධාරියෙකු වන සයිමන් ස්ටැන්කෝබ් පැවසීය

ඝාතනයට ලක් වූ රවී කතකමාර්ගේ පවුල වෙනුවෙන් මුදල් එකතු කිරීමේ වැඩසටහන් කිහිපයක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

මුදල් එකතු කිරීම සඳහා 36 හැවිදිරි මාධ්‍යවේදියෙකු වන කැරොන් කෙම්ප් 'GoFundMe' ලෙස වෙබ් පිටුවක් නිර්මාණය කර තිබෙන අතර, 31 හැවිදිරි ක්‍රිස්ටිනා බෙනට් ද තවත් වෙබ් පිටුවක් තනමින් සඳහන් කර තිබුණේ "රවීගේ මරණයෙන් අපි හැමෝම කම්පනයට පත් වුණා" යනුවෙනි.

මේ තොරතුරුද කියවන්න:

Image copyright PA
Image caption සිද්ධිය වූ ස්ථානයේ සිටින පරීක්ෂණ කණ්ඩායම්

"ඔහු සෑම වෙලාවකම ඉතා මිත්‍රශීලී සහ ආචාරශීලී ලෙස හැසිරෙන පුද්ගලයෙක්. පිනර් කියන්නේ ඉතා සුන්දර ස්ථානයක්. මම සිතනවා ඔහුගේ පවුලේ අයට උදව් කරන්න හැමෝම ඉදිරිපත් වෙයි කියලා ඒ අයට හැකි ආකාරයෙන්," ක්‍රිස්ටිනා බෙනට් තවදුරටත් සඳහන් කර තිබිණි.

සිද්ධිය වූ වෙලාවේ එම ස්ථානයේ සිට ඉතා වේගයෙන් ධාවනය වූ කළු පැහැති වොක්ෂෝල් රථයක් පිළිබඳ තොරතුරු සොයන බව පොලිසිය පවසයි.

"මෙය ඉතා අහිංසක මිනිසෙකුට එල්ල කළ කුරිරු සහ අසාධාරණ ප්‍රහාරයක්," යැයි පොලිස් නිලධාරියෙකු වන සයිමන් ස්ටැන්කෝබ් පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයන් හෝ යම් භාණ්ඩ පිළිබඳ තොරතුරු දන්නේ නම් වහාම දන්වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.