විදුලිය කැපීම: "ඉතිහාසයේ පළමු වරට" විදුලි බල මණ්ඩලයට නඩු

Image copyright Getty Images

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව විදුලිය කප්පාදු කිරීමේ වරදට එරෙහිව මහජනතාව වෙනුවෙන් නඩු මගට බැසීමට තීරණය කර ඇති බව එම කොමිෂන් සභාව පවසයි.

එසේ "නීති විරෝධී ලෙස" විදුලිය කප්පාදුවක් සිදු කිරීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නඩුවක් ගොනු කෙරෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.

මේ සඳහා මහජනතාවගෙන් සාක්ෂි එක්රැස් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය.

"විදුලිය කැපීමක් කරද්දී කොමිෂන් සභාවේ අවසරය සහිතව මහජනතාවටත් කලින් දැනුම් දීල තමයි කළ යුත්තේ. මාර්තු 18 වනදා සිට ඇතිවුණු විදුලිය අත්හිටුවීම ඒ අයුරින් කෙරුණේ නැහැ." ඔහු කියා සිටියේය.

තමන්ට ලැබී ඇති බලපත්‍රයට අදාළ කොන්දේසි කඩ නොවන ආකාරයට ක්‍රියා කරන ලෙස මාර්තු 19 වැනිදා ම විදුලි බල මණ්ඩලයට ලිඛිතව දැනුම් දුන් බවත් ඊට කිසිදු අනුකූලතාවයක් නොදැක්වූ බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසීය.

නීතියක් ඇත්තේ කුමට ද?

Image copyright JAYANAT HERATH
Image caption ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත්

ලංකා විදුලි බල මණ්ඩලය විසින් විදුලිය කප්පාදුවක් සිදු කරනු ලබන බවට නිල වශයෙන් ජනතාවට දැනුම් දී ඇත්තේ මාර්තු 24 වනදා ය. ඒ සඳහා කාලසටහනක් ඉදිරිපත් කෙරුණේ මාර්තු 25 වනදා ය.

එම කොමිෂන් සභාව තවදුරටත් කියා සිටියේ මෙවැනි නීති රීති පනවා ඇත්තේ විදුලිය අත්හිටුවීමක් කිරීමේදී ආර්ථිකයට සිදුවන හානිය සහ මහජනතාවට සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා බවය.

"නීතියේ පෙන්වා දී තියෙන ආකාරයට කටයුතු නොකළොත් මහජනතාව අපහසුතාවයට පත් වෙනවා. ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා. මේවා කලින් දැනුම් දුන්නහම මහජනතාවට පුළුවන් කලින් සුදානම් වෙන්න." ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් පැවසීය.

විදුලිය අත්හිටුවීමක් සිදු කළ යුතු අවස්ථාවක දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය, ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දී ඇති සම්ප්‍රේෂණ බලපත්‍රයේ 30 වන කොන්දේසියේ 10 වැනි උප වගන්තියේ ඉතා පැහැදිලි ලෙස සඳහන් කර ඇති බව ද ඔහු අවධාරණය කළේය.

Image caption විදුලි බල පද්ධතියක් නිරීක්ෂණය කරන ඇමති රවී කරුණානායක

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරය ස්ථාපනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි වෙනත් බලාගාරයක් මේ දක්වා ඉදි කර නොමැත.

යෝජිත සහ වැඩ ආරම්භ කළ බලාගාර පවා විවිධ හේතු මත ඉදිකිරීම් ප්‍රමාද වීම නිසා අද වන විට ඇති විදුලි බල ඉල්ලුම සපුරාලීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.

විදුලි බල අමාත්‍ය රවී කරුණානායක විසින් ද එම තත්ත්වය පිළිගනු ලැබීය.

"මම අමාත්‍යාංශය භාර අරන් දින 71කින් ඒ අමාත්‍යාංශයේ ඇති වන ගැටලුවලට කොහොම ද පිළියම් සොයන්නේ..? මේවට සූදානම් වෙන්න, කලින් අමාත්‍යවරුන්ට ඕන තරම් කල් තිබුණා. ඒ අයට තිබුණා විකල්පවලට යන්න. ඒත් හැමෝ ම කරල තිබුණේ ප්‍රශ්නවලට පැලැස්තර දාපු එක විතරයි."

"මගෙන් පස්සෙ එන තවත් කිසි ම අමාත්‍යවරයෙකුට මේ වගේ ප්‍රශ්න කවදාවත් ඇති නොවන විදියට කටයුතු කරනවා." අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම විදුලි කප්පාදුව ගැන ඇමතිවරයා පාරිභෝගිකයන්ගෙන් සමාව ඉල්ලා සිටියේය.

"මණ්ඩලයේ ඉන්ජිනේරුවො විදුලි කප්පාදුවකට යමු කියල කිව්වෙ මීට කාලයකට කලින්. ඒත් මමයි ඒක වළක්වා ගත්තෙ. දැන් මට එහෙම බලපෑම් කරන්න බැරි මට්ටමකට මේක අර්බුදයක් වෙලා. විෂය භාර අමාත්‍යවරයා විදියට මම ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා. සොබාදහමේ වෙනස්කම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විදියට මට කිසි දෙයක් කරන්න බැහැනෙ."

විශේෂයෙන් ම දැඩි උණුසුම් කාලයක දිනපතා දිවා කාලයේ පැය තුනක් සහ රාත්‍රී කාලයේ පැයක් ලෙසත් ක්‍රියාත්මක වන මෙම විදුලි කප්පාදුව හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර