කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අපිරිසිදු කිරීමට එරෙහිව කෝපය පළ වේ

පරිසරය සුරැකීම සහ පිරිසිදුව තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පෙර නොවූ විරූ ආකාරයේ නැඹුරුවක් ඇති වෙමින් පවතී.

විශේෂයෙන් රුක් රෝපණය මෙන්ම වෙරළ සහ නගරවල එක්ව ඇති කැලිකසල එක් රැස් කොට එම ස්ථාන පිරිසිදු කිරීම සඳහා තරුණ කණ්ඩායම් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ සංවිධානය වෙමින් සිටිති.

මේ අතර හෝමාගම ආසන්නයේ පිහිටි මාකුඹුරේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කර සුළු මොහොතකින් එහි පවතින "කණගාටුදායක තත්ත්වය" යැයි සඳහන් ඡායාරූප පෙළක් සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ කෝපය පළ වෙමින් පවතී.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ බහුතරය "ආකල්පමය වෙනසක අවශ්‍යතාව" අවධාරණය කරති.

බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමට ප්‍රථම, එහි පවතින පහසුකම් සහ ගුණාත්මකභාවය ඉදිරියටත් එලෙසම පවත්වාගෙන යාමේ වැදගත්කම සඳහන් වැකි සහිත ඡායාරූප ෆේස්බුක් ඔස්සේ හුවමාරු විය.

"තව මාස 6කින් වගේ ගිහිල්ලා බලන්න ලංකාවේ අපේ කලවැද්දො මේකට කරලා තියෙනදේ මොකක්ද කියලා.බුලත් විට කාලා බිත්තිවල හුණු ගාලා බුලත් කෙල ගහලා, කුණු ගොඩවල්,ප්ලාස්ටික් බෝතල් හැමතැනම, පෝස්ටර් බිත්ති පුරාම, බල්ලො,හරක්, හිඟන්නො, පුටු කඩලා ඇණ බුරුල්වෙලා."

මේවා කලරා වැඩක් නැහැ ලංකාවේ මේ වගේ දේවල් තව අවු.25කට පස්සෙ වගේ හදලා බේරගන්න පුළුවන්. ඊට මෙහා නම් ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප ගති සිරිත් වෙනස් කරන්න බැහැ." යනුවෙන් නුවන් ලියනගේ නමැති තරුණයෙක් අදහස් පළ කර තිබිණි.

කෙසේ නමුත් ප්‍රවාහන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව එහි "වැසිකිලි භාවිත කර තිබූ ආකාරය සහ අවට කසල බිම දමා යෑම" සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු කෝපය පළ කර තිබිණි.

නිමාලි පෙරේරා නමැති තරුණියක් අදහස් දක්වමින් පවසා තිබුණේ "මාර තර්ක තමයි සමහරුන්ට තියෙන්නෙ.Dust bin නැතිකම නෙවෙයි මෙතන වරද.විනයක් නැතිකම.තමන් පාවිච්චි කරපු දේ ඇයි බැරි බෑග් එකක දාගෙන ගිහින් නිසි තැන බැහැර කරන්න.කාන්තාවක් විශේෂයෙන් දැනගත යුතුයි අපහසුතා ඇති දවස් වල හොඳ සූදානමකින් ගමනක් යන්න.ඒ නැතත් කසළ බැහැර කරන්න නියමිත තැනක් නැත්නම් තමන්ගෙ කුණු ටික බෑග් එකක දාගෙන යන්න පුරුදු වෙන්න ඕන කවුරුත්.වෙන දෙයක් නෙවෙයි ඔය නැහැදිච්ච කම.මුන් එක්ක කොහොමද රටක් ලස්සන කරන්නේ," යනුවෙනි.

මාකුඹුර බහුවිධි ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කරනු ලැබුවේ ජයිකා ආයතනයේ ආධාර මත මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසිනි.

එම මධ්‍යස්ථානය පිරිසිදුව තබා ගැනීමට උපකාර වන ලෙස එහි පරිපාලනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ පොදු ස්ථාන සහ ස්වභාවික පරිසරය පිරිසිදුව තබා ගැනීම හා සම්බන්ධ ඡායාරූප සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් ද කැලිකසල එක්රැස් කරන ආකාරය දැක්වෙන ඡායාරූප ද ඒ අතර වේ.

මේ අතර නගර අලංකරණයට දැඩි බාධාවක් වී ඇති දැන්වීම් සහ පෝස්ටර් ඉවත් කිරීම සඳහා මහනුවර ඇතුළු නගර කීපයක බලධාරීන් මීට ඉහතදී කටයුතු කර තිබිණි.

එවැනි පෝස්ටර් ඉවත් කිරීම සඳහා තරුණ තරුණියන් ද ස්වේච්ඡාවෙන් ම සංවිධානය වන අයුරු මේ දිනවල දැකගත හැක.

එමෙන්ම ක්‍රීඩා තරග, විවිධ උත්සව සහ දේශපාලන රැලි අවසානයේ ඉවත දමන කසල එක් රැස් කිරීමට බොහෝ දෙනා උත්සුක වන ආකාරය ද මෑතදී දැකගැනීමට ලැබිණ.