භාෂණයේ නිදහස: ලේඛකයෙකු අත්අඩංගුවට ගැනීම ගැන සමාජ ජාල ඔස්සේ සංවාදයක්

Image copyright Getty Images

සිවුර හැරගිය පුද්ගලයෙකු පාදක කර ගනිමින් රචිත ප්‍රබන්ධ කෙටිකතාවක ලේඛකයා බන්ධනාගාර ගත කිරීමත් සමග භාෂණයේ නිදහස සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සංවාදයක් මතුව තිබේ.

2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 09 වෙනිදා තෙක් බන්ධනාගාර ගත කෙරිණි.

අදාළ ලේඛකයා සම්බන්ධයෙන් පෙබරවාරි මස පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඔහුගේ නිර්මාණ බුද්ධ චරිතයට නිගා දෙන බවට චෝදනා කර තිබුණි.

බුද්ධ ශාසනය කෙරෙහි ද්වේශසහගත අරමුණින් එකී නිර්මාණය පෙළ ගස්වා ඇති බව පවසන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය එය "සමස්ත බෞද්ධ ප්‍රජාවගේම සිත් රිදීමට" හේතු වී ඇතැයි සඳහන් කරයි.

කෙසේ නමුත් ලේඛකයා අත්අඩංගුවට ගැනීම භාෂණයේ නිදහස අහුරා දැමීමක් බව ඇතැම් කලාකරුවන් සහ මාධ්‍ය සංවිධානවල අදහස වී ඇති අතර අදාළ කෙටි කතාව මගින් බුද්ධ දර්ශනයට හානියක් සිදු වී නොමැති බවට තවත් සමහරෙක් තර්ක කරති.

ලේඛක ශක්තික සත්කුමාර සම්බන්ධයෙන් පැමිණිලි කළ බව පැවසෙන බුදු දහම රැකගැනීමේ යොවුන් පෙරමුණ නමැති සංවිධානය වෙත ලිපියක් යොමු කරන ප්‍රවීණ සාහිත්‍යවේදී ජයතිලක කම්මැල්ලවීර පවසන්නේ එකී නිර්මාණය මගින් බුද්ධ ධර්මයට කිසිදු නිගාවක් හෝ අපහාසයක් සිදු නොවන බවය.

"පන්සල්වල සිදුවන සමලිංගික පැවතුම් ගැන ලිවීම බුදු දහමට කෙසේ සම්බන්ධ වේ දැයි අපට නම් නොවැටහේ. එසේ ම පන්සල්වල එවැනි දේ සිදුවන බව මේ සමාජයට රහසක් ද නොවේ. මා කුඩා අවදියේ දී වසර පහක් ඒ කාලයේ රටේ විශාල කීර්තියක් දිනා සිටි මහා නායක ස්වාමීන් වහන්සේ නමක් යටතේ පැවති ළමා නිවාසයක ජීවත් වෙමින් අත්දැකීම් ලැබූවෙකි. මා ඒ අත්දැකීම් අලලා නවකතාවක් ලියා ඇති අතර මීට වසර විසිගණනකට පෙර පළ වූ එම නවකතාව විශාල වශයෙන් විචාරක අගැයීම්වලට ද භාජනය විය. ඊට කිසිම භික්ෂුවක් හෝ භික්ෂු සංවිධානයක් විරෝධය පළ නොකළේ එය සංඝ සමාජයේ කොටසක් විවේචනය කිරීමක් මිස බුදුදහම විවේචනය කිරීමක් නොවන බැව් එදා සංඝයා වහන්සේලා වටහා ගත් බැවිනි," යනුවෙන් ද ලිපියේ සඳහන් වේ.

"ශක්තික සත්කුමාරගේ කෙටිකතාව සාර්ථක රචනයක් ලෙස සැලකිය නොහැකි වන්නේ වුවද එය සාහිත්‍ය නිර්මාණයක් මිස බුදුදහමට විරැද්ධව ගැසූ කැලෑපත්තරයක් නොවේ. එහෙත් ඔබවහන්සේගේ පුවත්පත් නිවේදනය ඔප්පු කළ නොහැකි අසත්‍ය ප්‍රකාශ සහිත පුද්ගලික ජීවිතවලට අපහාස කරන කැලෑ පත්තරයකට සමාන බව කණගාටුවෙන් පෙන්වා දෙන්නෙමි."

ආගමික ප්‍රජා පදනම්ව කෙරුණු නිර්මාණ හෝ විවේචන සම්බන්ධයෙන් විරෝධය එල්ල වන එකම රට ශ්‍රී ලංකාව පමණක් නොවේ.

ආගමික කණ්ඩායමක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කලාකරුවෙකු අත්අඩංගුවට ගැනීම බෞද්ධ දර්ශනයට කෙතරම් එකඟ දැයි යන්න සමාජ ජාල ඔස්සේ ඇතැමෙක් ප්‍රශ්න කරති.

බ්ලොග් ලේඛක චමල් අකලංක පොල්වත්තගේ ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ සටහනක් තබා තිබුණේ චිත්‍රපට දර්ශනයක තිබූ ඉඟි පෑමේ දර්ශනයක් නිසා සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත් රංගන ශිල්පිනී ප්‍රියා ප්‍රකාශ් වරියර්ට එරෙහිව ගොනු කළ නඩුවක් උදාහරණ වශයෙන් දක්වමිනි.

මුස්ලිම් කණ්ඩායම් ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් තිබුණේ රංගන ශිල්පිනියගේ ඉඟි පෑම "ආගමට අවමන් කිරීමක්" යැයි චෝදනා කරමිනි.

මුහම්මද් නබි නායකතුමාගේ බිරිඳ ගැන සඳහන් වන "පූජනීය ගීතයක්" චිත්‍රපටයකට යොදාගැනීම මෙන්ම මෙවැනි ඉඟි පෑම් ඉස්ලාම් ආගමට අවමන් කිරීමක් බව පැමිණිලිකරුවෝ පවසුහ.

පැමිණිල්ල නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා තිබුණේ "යම් පුද්ගලයෙකු චිත්‍රපටයක ගීතයක් ගයනවා. ඔබට වෙන වැඩක් නැති නිසා ගීතයට එරෙහිව නඩු පවරනවා" යනුවෙනි.

යම් කිසි ආගමක් නියෝජනය කරන පුජකවරුන්ගේ ක්‍රියා කලාපය විවේචනය කර හෝ ඒ සම්බන්ධයෙන් නිර්මාණ කළ ලේඛකයන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා දුලභ නොවේ.

බීබීසී සිංහල සේවය, බීබීසී බෙංගාලි සේවයෙන් කළ විමසීමකදී එහි සංස්කාරක සබීර් මුස්තාෆා කියා සිටියේ ආගම හෝ ආගමික සංස්ථාව විවේචනයට ලක් කිරීම බංග්ලාදේශය තුළ ද තහනම් මාතෘකාවක් බවය.

ඔහු ඒ සඳහා උදාහරණ වශයෙන් දැක්වූයේ ඩකා අගනුවරදී තියුණු ආයුධවලින් කපා කොටා මරා දැමූ අවිජිත් රෝයි නමැති අදේවවාදී ලේඛකයාගේ ඝාතනයය. දැඩි මතධාරී මුස්ලිම් කණ්ඩායමක් විසින් අවිජිත් රෝයි ඝාතනය කරනු ලැබුවේ 2015 වසරේදීය.

ආගමික දර්ශනයෙන් ඔබ්බට ගොස් ආගමික සංස්ථාව තමන්ට වාසි සහගත අයුරින් අර්ථකතන ලබා දෙන බවට ඊට එරෙහි කණ්ඩායම් චෝදනා කරන බවත් ඔහු පැවසීය.

ආගමික සංස්ථාව විවේචනය කිරීම හෝ ඒ ආශ්‍රිත නිර්මාණ සිදු කිරීම සම්බන්ධයෙන් දැඩි දඬුවම් පමුණුවන රටවල් දෙසට ශ්‍රී ලංකාව ද ගමන් කරමින් සිටිනවා දැයි ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීමත් සමග ඇතැමෙක් සමාජ ජාල ඔස්සේ ප්‍රශ්න කරති.

Image caption සමාජ ජාල තුළ පළ වූ අදහස්

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ අඟුරුගල්ලේ සිරි ජිනානන්ද හිමි එම චෝදනාව ප්‍රතික්ෂේප කරති.

ලේඛක ශක්තික සත්කුමාරගේ නිර්මාණය භාෂණයේ නිදහස සීමාව ඉක්මවා භාවිත කිරීමක් ලෙස හඳුන්වන උන්වහන්සේ එමගින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ද පවසති.

"නීතිය උල්ලංඝනය කරපු එකට දඬුවම් ලැබෙන කොට ඒක බුදු දහමට මුවා වෙලා, බුදු දහමේ එහෙම දඬුවමක් නැහැ සහ අරාබි දේවල් සහ බුදු දහමයි සමාන වෙනවා කියන්න යන එකේ අර්ථය වැරදියි,"උන්වහන්සේ පැවසූහ.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ "කුමන සමාජයක වුනත් වැරදි තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. රහත් වෙච්ච් අය නැහැ. එහෙම අය ඉන්නේ සමාජයෙන් එපිට. නමුත් සමාජයේ තිබෙන්නා වූ ඒ වැරදි විවේචනය කළ යුත්තේ වැරදි නිවැරදි කරන අදහසකින් මිසක අපහාස කරන අදහසින් නොවෙයි," යනුවෙනි.

ඒ සම්බන්ධයෙන් නිර්මාණ සිදු කරන රචකයන් හෝ විවේචකයන් බොහෝ දෙනෙකුගේ අරමුණ "භික්ෂු සමාජය හෑල්ලුවට ලක් කිරීම" යැයි අඟුරුගල්ලේ සිරි ජිනානන්ද හිමි පවසති.

"අනික ඔය විවේචන කරන එක් අයෙකුවත් පන්සලකට දන් වේලක් දුන් අය නොවෙයි. හදිස්සියකට භික්ෂූන් වහන්සේ කෙනෙකුට වතුර උගුරක් දුන් ලේඛකයෝ නොවෙයි මේ විවේචන සිදු කරන්නේ."

Image copyright Buddhist Information Centre

ඇතැම් කතෝලික පූජකයන් විසින් කරන ලද ළමා අපයෝජන සහ සමලිංගිකත්වය සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්වහන්සේ පවා අදහස් දක්වා තිබේ. එසේම ළමා අපයෝජන ඇතුළු අපරාධ සිදු කිරීම ගැන පසුගිය සමයේ සියයකට ආසන්න භික්ෂුන් වහන්සේ පිරිසකට නඩු පවරනු ලැබ තිබේ.

බුදුන්ගේ දර්ශනයට පිටුපා ප්‍රචණ්ඩත්වය හෝ වෛරය වපුරුවන ඇතැම් බෞද්ධ හිමිවරුන් පිළිබඳ විවේචනය කිරීමට ශ්‍රී ලංකාව තුළ නොනිල තහනමක් පවතින්නේ දැයි බීබීසී සිංහල සේවය අඟුරුගල්ලේ සිරි ජිනානන්ද හිමිගෙන් විමසූ අවස්ථාවේ උන්වහන්සේ කියා සිටියේ ගැටලු නිරාකරණය කිරීමට ශාසනික සම්ප්‍රදායක් පවතින බවය.

"ඒ සෑම දෙකටම ශාසනය ඇතුලේ පිළියම් තිබෙනවා. බාහිර සමාජයෙන් ඒවාට ඇඟිලි ගහන්න අවශ්‍යතාවක් නැහැ. දැන් පල්ලියේ සිද්ධ වෙන දේකට බාහිර සමාජයෙන් ඇඟිලි ගහන්න බැහැනේ. පල්ලිය ඇතුලේ ඒකට යම් කිසි කමිටුවක්, සිස්ටම් එකක් තිබෙනවා. වැරැද්දකට දඬුවම් දෙනවා. සංඝ සමාජය ඇතුළෙත් ඒ දේම තිබෙනවා."