මත්ද්‍රව්‍ය: "මෙච්චර අල්ලද්දීත් කුඩු තව හම්බ වෙන්නේ කොහොමද?"

Image copyright PMD

මේ දිනවල ශ්‍රී ලංකාවේ වැඩිපුරම කතාබහට ලක්වන කාරණා අතුරින් 'මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන'ද පුවත් අතර ප්‍රමුඛත්වයක් ගන්නා මාතෘකාවක් බව පෙනේ.

මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් අත්අඩංගුවට ගැනීම් නිතර නිතර වාර්තා වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනය කිරීමත් සමගම මෙම වැඩපිළිවෙල ගැන ජාත්‍යන්තර අවධානයද යොමුවී තිබේ.

"මතින් නිදහස් රටක්" නමින් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුද්ගලික අධීක්ෂණයෙන් ක්‍රියාත්මක වන බව පැවසේ.

පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 769ක් සඳුදා (අප්‍රේල් 01) ප්‍රසිද්ධියේ විනාශ කිරීමද සිදුවිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ එක් ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් මත්කුඩු සහ වෙනත් විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කරති.

මෙම තත්ත්වය ජාතික ඛේදවාචකයක් ලෙස සලකා මත්ද්‍රව්‍ය මර්ධනයට මෙම විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ බව ජනාධිපතිවරයා පවසයි.

මෙලෙස පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදාගෙන සිදු කරන දීපව්‍යාප්ත මත්ද්‍රව්‍ය මැඩලීමේ ව්‍යාපෘතිය සාර්ථකද? විෂ මත්ද්‍රව්‍ය භාවිතය අඩුවී තිබේද? මෙපමණ අල්ලද්දීත් තව හම්බවෙන්නේ කොහොමද? යන්න මේ දිනවල ජනතාව මතුකරන ප්‍රශ්න කිහිපයකි.

පසුගිය කාලයේ කොළඹ රාත්‍රී සමාජ ශාලා තුළ විෂ මත්ද්‍රව්‍ය බහුල ලෙස භාවිත වීම සහ හුවමාරුවීම සිදුවන බව ආරක්ෂක අංශ නිතරම පැවසූ කරුණකි.

"දැන් මාස 6කට කලින් මේක ජයට ම කෙරුණා. නමුත් දැන් නැහැ. කට්ටිය බයයි," කොළඹ ප්‍රධාන පෙළේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන තරුණයෙක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

"මේවට එන්නේ ලොකු සල්ලිකාර නෝනා මහත්වරු. අපි හොඳින් දකිනවා ඒගොල්ලෝ ඔය කාඩ්වලින් හුර හුර කොකේන් වගේ මත්ද්‍රව්‍ය ගන්නවා. මේවා අපි විකුණනන්නේ නැහැ එගොල්ලොම තමයි ගේන්නේ. සමහර අය කෝල් කරලා ගෙන්ව ගන්නවා. කොකේන් ග්‍රෑම් එකක් මාස 6කට කලින් රුපියල් 20,000 විතර වුණා. සමහරු ලක්ෂය දෙක දවසකට වියදම් කරනවා," ඔහු කියා සිටියේය.

නමුත් අවසාන මාස කිහිපයේ එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කිරීමක් තමන් සේවය කරන රාත්‍රී සමාජ ශාලාවේ නොදුටු බව ඔහු කියා සිටියේය.

කියවන්න:

Image copyright PMD
Image caption බක්මහ දිවුරුම

මේ ගැන බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ සමාජ ශාලා හිමිකරුවකු පැවසුවේ කිසිම අවස්ථාවක තම ආයතනය ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය භාවිතයට හෝ හුවමාරුවට ඉඩ ලබා නොදුන් බවය.

"මේවා රාත්‍රී සමාජ ශාලාවල ප්‍රසිද්ධියේ සිදුවුණා කියන එක වැරදියි. අපි කවදාවත් එහෙම වෙන්න ඉඩ දුන්නේ නැහැ. මම දන්න විදිහට පිටතින් මත්ද්‍රව්‍ය අරගෙන තමයි මේ අය එන්නේ. ඇතැම් අවස්ථාවල අපේ වැසිකිළිවල මත්ද්‍රව්‍ය අරගෙන අපිට අහුවෙලා තියෙනවා. මෙතනට එන්නේ මේ රටේ ප්‍රධාන බලපුළුවන්කාර මිනිස්සු සහ ඔවුන්ගේ ළමයි. ඉතින් අපිට ඔවුන්ව පරික්ෂාකරන්න බැහැ. රහසේ මේ දේවල් වෙන්න පුළුවන්," ඔහු පැවසුවේය.

"දැන් හොඳයි කවුරුත් මේ ගැන කතාකරන්නත් බයයි. හැමෝම කියනවා මේක පොඩි කාලෙකට ජනාධිපතුමාගේ ජනාධිපතිවරණ කැම්පේන් වැඩක් කියලා. එහෙම නැතුව දිගටම කෙරුණොත් හොඳයි," සමාජ ශාලා හිමියා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ඇතැම් නළු නිළියන් මෙන්ම නිරූපන ශිල්පීන් සහ ශිල්පිනියන්ද විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පසුගිය කාලයේ විවිධ වාර්තා පළ වී තිබුණි.

බීබීසී සිංහල සේවය මේ ගැන තරුණ නිළියක් මෙන්ම ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් සමග අදහස් හුවමාරු කරගත්තේය.

"මේවට ඇබ්බැහි වෙච්ච අපේ අය හිටිය. මමත් භාවිත කරලා තියෙනවා නිකම් ජොලියට. මොකක්ද කියලා බලන්න. හැබැයි අන්තිම කාලේ මේක ට්‍රෙන්ඩ් එකක් වුණා. හැම පාටියකම තිබුණා. හැබැයි දැන් නම් දකින්න නැහැ. බොහෝ ඇය බයයි පොලිසියට අහුවෙයි කියලා."

"නළු නිළියන් විතරක් නෙවෙයි ඔය රන්ජන් රාමනායක ඇමතිතුමා කියනවා වගේ පාර්ලිමේන්තුවේ ඉන්න අයත් ඕවා පාවිච්චි කරනවා මම ඇස් දෙකට දැකලා තියෙනවා. ලොකු පාටි වල මේවා ප්‍රධාන අංග. අපි නටන්න යනවනේ එතකොට හොඳට දකිනවා. අපේ ගැහැණු ළමයින්ටත් සමහරු දෙනවා," ඇය කියා සිටියාය.

මේ අතර රාත්‍රී සමාජ ශාලාවල සහ රාත්‍රී වෙරළ සාද වල DJ සංගීතය සපයන ශිල්පියකු බීබීසී සිංහල සේවයට පැවසුවේ අත්අඩංගුවට ගැනීම් ඉහළ යාමත් සමග මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය ඇණහිට තිබෙන බවය.

"ඉස්සර එක කෝල් එකයි බඩු ගෙනත් දෙනවා. දැන් මම හිතන්නේ කුඩු හංගල තියෙන්නේ පස්සේ එළියට ගන්න. මොකද කාලෙන් කාලෙට මෙහෙම අත්අඩංගුවට ගන්නවා පස්සේ නවතිනවා. දැන් මේ ගැන කතා කරනන්නත් බයයි කට්ටිය. හැබැයි මම අහලා තියෙනවා හොඳටම ඇබ්බැහි අය කොහොම හරි බඩු හොයා ගන්නවා කියලා" ඔහු කියා සිටියේය.

මත්ද්‍රව්‍ය භාවිතය ගැන පසුගිය කාලයේ කතාබහට ලක්වූ ස්ථානයක් වුයේ මිරිස්ස මුහුදු තීරයයි.

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇතිවූ ගැටලු රැසක් පසුගිය වසරේ මිරිස්ස මුහුදු තීරයෙන් වාර්තා විය.

මතට එරෙහි වත්මන් වැඩපිළිවෙලත් සමග මිරිස්ස ප්‍රදේශයේ තත්ත්වය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ සමාජ ශාලා හිමියෙක් බීබීසී සිංහල සේවය සමග දැක්වුයේ මෙවන් අදහසක්.

"මිරිස්සේ කට්ටිය මේ දේවල් වලට සම්බන්ධ නැහැ. විදේශිකයෝ තමයි මෙහෙ එනකොට ගේන්නේ. මම හිතන්නේ තාම ගේනවා. මෙහේ නම් ගන්න තැනක් නැහැ. ඉස්සර හිටියා මේවා පාටි වල බෙදන අය. දැන් නැහැ," ඔහු කියා සිටියේය.

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම ගැන දැනුම ඇති කිහිප දෙනෙකුම තහවුරු කළේ මේ දිනවල වෙළෙඳපොළේ මත්ද්‍රව්‍ය හිඟකමක් ඇති බවය.

බක්මහ දිවුරුම

රට පුරා ක්‍රියාත්කම වන "මතින් නිදහස් රටක්" වැඩසටහනේම තවත් පියවරක් ලෙස බදාදා (අප්‍රේල් 03) දින මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක් ව දෙන දිවුරුමක් ලෙස හැඳින්වූ බක්මහ දිවුරුම ලබාදීම සිදු කෙරිණි.

එහි ප්‍රධාන උත්සවය ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්විණි.

Image caption මත්ද්‍රව්‍ය විරෝධී සටන

මෙම දිවූරුමට සමගාමිව ශ්‍රී ලංකාවේ සියලු පුවත්පත්වල පළමු පිටුව වෙන්කර තිබුණේ මෙම මත්ද්‍රව්‍ය විරෝධී සටන පිළිබඳ පුවත් ඇතුළත් ජනාධිපති කාර්යාලයේ දැන්වීමක් සඳහායි.

එහි ශිර්ෂ පාඨය ලෙස සටහන්ව ඇත්තේ, "නීතිවිරෝධී මත්ද්‍රව්‍යවලට එරෙහි මරණ දණ්ඩනය ක්‍රියාත්මකයි," යනුවෙනි.

මේ අතර මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ ක්‍රියාකාරිනියක් වන යසස්මින් කවිරත්න සඳහන් කළේ මරණ දණ්ඩනය ලබාදීමට එරෙහිව ලබාදුන් දැන්වීම් පළකිරීම පුවත්පත් විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම මගින් මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ වළකාලීමට හැකි බවට සනාථ වෙන කිසිදු තොරතුරක් නොමැති බව සඳහන් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය නිවේදනයක්ද නිකුත් කර තිබේ.

එමගින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිසම ද කරුණු 4ක් මුලික කරගනිමින් මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකළ යුතු බවට රජයෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මරණ දඬුවම 'අත්හළ යුතු දඬුවම් ක්‍රමයක්' ලෙස සලකනු ලබන්නේ ඇයි?

  • පුද්ගලයෙක්ට ජිවිතයට තිබෙන අයිතිවාසිකම
  • කෲර සහ අමානුෂික දඬුවමක් වීම
  • මරණ දණ්ඩනය පැනවීම මගින් අපරාධ අඩුවන බවට සාක්ෂි නොමැතිවීම
  • රටේ පවතින යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය සර්ව සාධාරණ දැයි මතුවන ගැටලුව

"මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ක්ෂණික විසඳුමක් හැටියට පෙනෙනවා. ජනතාව ඉන් සතුටට පත්වෙනවා. මොකද තමන්ගේ සමාජයේ අපරාධ වැඩිවෙනවා දකින්න මහජනයා කැමති නැහැ. ඉතින් ඔවුන් හිතනවා මේක විසඳුමක් කියලා," යනුවෙන් එහි සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම බීබීසී සිංහල සේවයට මින් පෙර පවසා තිබිණි.

කෙසේ නමුත් ජනාධිපතිවරයා පවසන්නේ මරණ දණ්ඩනය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බවය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒ සඳහා අලුගෝසුවකු බඳවා ගැනීමට මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටින බව වාර්තා වේ.

ඊට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්තාපනය කිරීම සඳහා ද වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා පවසයි.

"ලබන සිංහල අවුරුද්දෙන් පස්සෙ යුධ, නාවික, ගුවන් යන ත‍්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය ඔක්කොම එකතුවෙලා රටේ මත්ද්‍රව්‍ය වැඩි ප‍්‍රදේශවල වරින්වර වැටලීම් කරනවා. මානව හිමිකම් ගැන කවුරුවත් එදාට කතා කරන්න එන්න එපා. අපි මත්කුඩු බෙදන අය, විකුණන අය විතරක් නෙමෙයි මත්කුඩු පාවිච්චි කරන අයත් අත්අඩංගුවට ගන්නවා එහෙම අල්ලපු ගමන් ම වෛද්‍යවරයකුගේ සහතිකයක් අරගෙන උසාවියට නොදා කෙළින් ම අරන් යන්නේ පුනරුත්ථාපන කඳවුරුවලට," පසුගියදා උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර