ශ්‍රී ලංකාවේ පාසැල් තුළ මුස්ලිම් ඇඳුම තහනම් කළ හැකිද?

Image copyright Getty Images

අබායා ඇඳුම පාසල තුළ තහනම් කිරීමෙන් ත්‍රිකුණාමලය ශම්මුගරාජා හින්දු කාන්තා විද්‍යාලය මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම පවසයි.

අබායා ඇඳුමින් සැරසී පාසලට පැමිණෙන ගුරුවරුන් හතර දෙනෙකු වෙනත් පාසල්වලට මාරුකර යැවීම සඳහා බලධාරීන් පියවර ගැනීම නිසා ඊට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබිණ.

අබායා යනු මුස්ලිම් ජාතික කාන්තාවන් හිසේ සිට දෙපතුල දක්වා මුළු සිරුරම ආවරණය වන පරිදි අඳින සාම්ප්‍රදායික ඇඳුමකි.

එමගින් බුර්කාව මෙන් පූර්ණ මුහුණු ආවරණය වීමක් නොවන නමුත් හිස ආවරණය කෙරේ.

බහුවාර්ගික රටක්

ශ්‍රී ලංකාව වැනි බහු ආගමික සහ බහු වාර්ගික රටක් විවිධත්වයට මෙන්ම බහුත්වභාවයට ගරු කළ යුතු බව ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සිය නිවේදනයෙන් අවධාරණය කර සිටී.

පාසැල තුළ අබායා ඇඳුම තහනම් කිරීමට එරෙහිව 2018 වසරේ ත්‍රිකුණාමලය ශම්මුගරාජා හින්දු කාන්තා විද්‍යාලයේ සහකාර ගුරුවරුන් සිව් දෙනෙකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනුකර තිබිණ.

එම විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ පාසල් කමිටුව මෙම තහනම පැනවීමට මුල් වී ක්‍රියා කර තිබේ. මෙම ක්‍රියාව ඔවුන් සාධාරණිකරණය කර තිබුණේ තම විද්‍යාලය හින්දු සංස්කෘතිය අනුගමනය කරන පාසැලක් බැවින් අබායා ඇඳුම පාසලේ චාරිත්‍ර සමග නොගැලපෙන බව පවසමිනි.

මේ පිළිබඳ තම ස්ථාවරය පැහැදිළි කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දසවැනි වගන්තිය ප්‍රකාරව ආගමික නිදහස ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ද බැඳි සිටින බව සහ එම අයිතිය උල්ලංඝනය කළ නොහැකි බවය.

පැමිණිලි කරුවන්ගේ අයිතීන් ප්‍රතික්ෂේප කිරීම මෙන්ම ආගම මත පදනම්ව අත්තනෝමතිකව වෙනත් පාසල් වෙත ඔවුන් මාරු කිරීමට පියවර ගැනීම ද කොමිසමේ අවධානයට ලක්ව තිබිණ.

එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 12 (2) වගන්ති වලට අනුව පැමිණිලිකරුවන්ට හිමිව ඇති අයිතිවාසිකම් මෙමගින් උල්ලංඝනය වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Image copyright Getty Images

යමෙකුගේ අයිතිවාසිකම් මෙන්ම නිදහස පිළිගැනීම සහ ගෞරවය දැක්වීම වෙනුවෙන් තවත් පුද්ගලයෙකුගේ ආගමික නිදහස සිමා කරමින් අබායා ඇඳුම තහනම් කිරීම සුදුසු නොවන බවද කොමිසම විසින් පෙන්වා දෙනු ලැබේ.

එමෙන්ම ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් වෙනුවෙන් විවිධත්වය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම අධ්‍යාපන අමාත්‍යංශයෙන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටී.

මේ ගැටලුවට අදාළව සමාජ මාධ්‍ය හැසිරීම කෙරෙහි ද තමන් දැඩි අවධානයක් යොමුකර ඇති බව මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කිසිදු පාර්ශ්වයක විමසීමකින් තොරව සමාජ මාධ්‍ය ඔස්සේ රහස්‍ය තොරතුරු හුවමාරු වීම සදාචාරාත්මක වගකීම් උල්ලංඝනය කිරීමක් බව පෙන්වා දෙන කොමිසම, මේ තත්වය, ප්‍රජාව තුළ ආගමික සහ ජනවාර්ගික වෛරය ඉස්මතුකිරීමට හේතු වන අතර පැමිණිලිකරුවන් සහ වින්දිතයින් තර්ජනයට ලක්වීමට ද එය හේතු වන බවත් සඳහන් කරයි.

ජන කොට්ඨාස අතර ප්‍රචණ්ඩත්වය නිර්මාණය කිරීමට ද මෙය හේතු විය හැකි බැවින් සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී වාර්ගික සමගිය මෙන්ම ආගමික සමගිය ගොඩනැංවීම වෙනුවෙන් ඒවා යොදාගැනීමේ වැදගත්කම කොමිසම වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Image copyright Getty Images

මොකක්ද මේ අබායා?

මුස්ලිම් සමාජය තුළ වර්ණවත් අබායා ඇඳුම උත්සව අවස්ථාවන්හි දී වැඩි වශයෙන් භාවිත කෙරේ. ඉහළ මිල ගණන්වලට අලෙවි වන වර්ණවත් අබායා ඇඳුමට විවිධ එම්බ්‍රොයිඩර් මෝස්‌තර එක් කිරීම පසු කාලයේ සිදුවිය.

ඒ සමගම ලොව පුරා මුස්ලිම් කාන්තාවන් අතර අබායාව වැඩියෙන් ප්‍රචලිත විය.

නමුත් ඇතැම් මුස්ලිම් නායකයෝ මෙම ඇඳුමට වැඩි මෝස්‌තර යෙදීම අනුමත නොකළහ.

එම්බ්‍රොයිඩර් හැඩ දැමූ ඇඳුම් පැළඳුම්වලින් සැරසීමෙන් වලකින මෙන් සහ තොල් සායම් ආලේපනය නොකරන මෙන් ප්‍රධාන පෙළේ මුස්ලිම් පූජකවරයෙකු දෙවසරකට පෙර නිකුත් කළ උපදෙසක් සම්බන්ධයෙන් ද සෞදි අරාබියේ කාන්තාවෝ සිය විරෝධය පළකළහ.

Image copyright Getty Images
Image caption එම්බ්‍රොයිඩර් හැඩ දැමූ ඇඳුම් පැළඳුම්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අතර වැඩියෙන් භාවිත වන්නේ කළු පැහැති අබායා ඇඳුම්ය.

එම ඇඳුම ද දේශීය වෙළෙඳපොළ තුළ මිල අධික ඇඳුමක් බව මුස්ලිම් කාන්තාවෝ පවසති.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට කළු පැහැති දිගු අබායාව වෙනුවට විවිධ වර්ණයෙන් යුත් අබායා හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය වසර කිහිපයකට පෙර අවධානය යොමු කළේය .

කළු පැහැති අබායා අධික මිලෙන් යුක්ත වන අතර විවිධ වර්ණයන්ගෙන් යුත් අබායා සහනදායි මිළකට ලබා ගැනීමේ අවස්ථාව උදාකරදීම එහි අරමුණක් වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසා තිබිණ.

සම්ප්‍රදායික මුස්ලිම් හිස් ආවරණ:

ඉස්ලාමීය ශුද්ධ ග්‍රන්ථය වූ කුරානයෙන් මුස්ලිම් ජාතික පිරිමින් සහ කාන්තාවන් හට පෙන්වා දෙන්නේ විනීත ලෙස හැඳපැළඳිය යුතු බවය. පිරිමින් විනීතව සිරුර ආවරණය කිරීම යන්නෙන් අර්ථ නිරූපනය කෙරෙන්නේ නාභියේ සිට දණහිස දක්වා ප්‍රදේශය ආවරණය කිරීම වේ.

කාන්තාවන් සම්බන්ධයෙන් ඉන් කියවෙන්නේ තමන්ට ඥාති නොවන හෝ විවාපත් නොවූ පිරිමින් ඉදිරියේ සිය මුහුණ, දෑත් හා පාද හැරුනුකොට සාමාන්‍යයෙන් සියලු ප්‍රදේශය ම ආවරණය කිරීමකි.

කෙසේවෙතත්, මෙය ප්‍රමාණවත් ද යන්න පිළිබඳ ඉස්ලාමය තුළ ම විවාදයක් පවතී. මේ තත්ත්වය නිසා ඊට දෙන ගෞරවය හිජාබ් (අරාබි බසින් "ආවරණය කිරීම" යන තේරුම) සහ නිකාබ් ("සම්පුර්ණ වේලය" යන තේරුම) අතර බෙදීයාමට මුල් වී තිබේ.

හිජාබ් යනු හිසකේ සහ ගෙල ආවරණය කෙරෙන සළුවක් වන අතර නිකාබ් යනු මුහුණ ආවරණය කෙරෙන වේලයකි. නිකාබයේ දෑස් ප්‍රදේශය නිරාවරණය කෙරේ. එය හිස වැසෙන සළුවක් හෝ දිගු ලෝගුවක් වැනි වූ 'අබායා' සමග ඇඟලයි.

බුර්කා යනු වඩාත් ම ආවරණය වන - සම්පූර්ණ මුහුණ හා ශරීරය වැසෙන්නකි. දැලක් වැනි කොටසකින් පමණක් අවට දැකිය හැකිය.

මෙම සාම්ප්‍රදායික මුස්ලිම් කාන්තා ඇඳුම් සිය රටවල් තුළ භාවිත කිරීම තහනම් කිරීමට ඇතැම් යුරෝපා රටවල් පියවර ගෙන තිබේ.

Image copyright Getty Images

පූර්ණ මුහුණු ආවරණ (full-face veils) තහනම් කළ පළමු යුරෝපීය රට ප්‍රංශය වේ. 2011 අප්‍රේල් මාසයේදී බුර්කා සහ නිකාබ් ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කළේ, කැපී පෙනෙන ආගමික සංකේත රාජ්‍ය පාසල් තුළ තහනම් කිරීමේ නීතිය හඳුන්වා දී වසර හතක් ගතවීමෙන් අනතුරුවය.

ඉන් මාස කීපයකින් අනතුරුව බෙල්ජියම ද එම පියවරට එළැඹිණි. ආරක්ෂක හේතු මත අඩක් හෝ පූර්ණ මුහුණු ආවරණ එරට ප්‍රසිද්ධ ස්ථානවල තහනම් කළේය.

එතැන් සිට පූර්ණ හෝ අර්ධ මුහුණු ආවරණ තහනම ඔස්ට්‍රියා, බල්ගේරියා මෙන්ම දකුණුදිග ජර්මානු ප්‍රාන්තයක් වන බැවේරියා හි පැනවුණු අතර අනතුරුව ඩෙන්මාර්කයේ ද ආරම්භ විය.

ඩෙන්මාර්කයේ නව නීතියට එරෙහිව විරෝධය පැන නැගුනු අතර එම නීතියෙන්, බුර්කා සහ නිකාබ් නාමිකව සඳහන් නොකෙරුණ ද "ප්‍රසිද්ධ ස්ථානවල ඇඳුමකින් මුහුණ ආවරණය කරන කවරකු හෝ වුව ද දඩයකින් දඬුවමකට යටත් කෙරෙනු ඇත" යැයි ඉන් කියැවේ.

මෑතකදී නවසිලන්ත මුස්ලිම් පල්ලියක් තුළ සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් පසුව එරට වැසියන් මෙන්ම එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් ද මුස්ලිම් ප්‍රජාව සමග කටයුතු කළ ආකාරය ලොව පුළුල් මාතෘකාවක් බවට පත්විය.

අග්‍රාමාත්‍යවරිය හිජාබයක් පැළඳ විපතට පත්වූවන්ට ගෞරව කිරීමට එක්ව සිටි අතර එරට රුපවාහිනී මාධ්‍ය රැසක නිවේදිකාවන් හිජාබ පැළඳ වැඩසටහන් ඉදිරිපත් කරනු ද දක්නට ලැබිණ.

කියවන්න :

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර