නවකවදය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය: සමාජ ජාල ඔස්සේ කතාබහට

පළමු වැන්නා: "ලෝකේ වෙන රටවල විශ්වවිද්‍යාලවලට එන ළමයි එන්නේ විශ්ව දැනුම හොයාගන්න මිසක් දන ගාන්න බඩ ගාන්න ඉගන ගන්න නෙවේ.ඒ හින්දා ලෝකේ විශ්වවිද්‍යාලවලින් ලෝකෙට වැඩක් ඇති මිනිස්සු බිහිවෙනවා. අපේ ඒකත් නොමිලේ උගන්නලා ඊට පස්සේ ආණ්ඩුවෙන් රස්සාවකුත් හොයලා දෙන්න ඕන කියලා උද්ඝෝෂණ කරනවා. එහෙම තමා හොඳට මුහුණ දෙන්නේ ජීවිතේට."

දෙවැන්නා: "ඒක පෞර්ෂය අක්කේ. නවකවදය කියන දේ අමානුෂිකයි නම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ ගැන කිසිම තර්කයක් නෑ. හැබැයි නවකවදය කියන සමාජ භීතිය ඇති කරන්නෙත් ඔයාලා වගේ විශ්වවිද්‍යාලයක හතර මායිමවත් නොදන්න අය. අන්න ඒක වැරදි අක්කේ කවුරු හරි කියපු දෙයක් අහලා හැම දේම දන්නවා වගේ කථා කරන්න එපා. ඒක හොඳ මදි."

තෙවැන්නා: "නවකවදය තුළ මානුෂික අමානුෂික කතාවක් නැහැ. කෙනෙකුට අකමැත්තෙන් වතුර වීදුරුවක්වත් බොන්න බල කරන්න තව කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. එපමණයි.බල කරලා වතුර බීම වගේ ජාති බොන්න කැමැති අය කණ්ඩායම් ගැහිලා එක එක්කෙනාගෙන් රැග් වුණා නම් හරි නේ. මොකටද අකමැති අයට බලෙන් රැග් දෙන්නේ ?"

ඉහත දැක්වෙන්නේ, "ඇත්තටම විදෙස් සරසවි වල රැග් එක නැද්ද? එතකොට ඒ ළමයි සමාජෙට මුහුණ දෙන කොට ලංකාවේ ළමයි තරම් දරා ගැනීම අඩුද?" අසමින් ෆේස්බුක් කණ්ඩායමක පළ කර තිබූ පැනයක් මුල් කර ගෙන පුද්ගලයන් තිදෙනෙකු පළ කළ අදහස්ය.

නවකවදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ යළි සංවාදයක් මතුව ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ හෝමාගම-දියගම තාක්ෂණික ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකු ගෙල වැළලාගෙන මිය යාමත් සමගය.

එකී අවාසනාවන්ත සිදුවීමත් සමග පිරිසක් නවකවදය සාධාරණීකරණය කරමින් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කරන අතරේ තවත් පිරිසක් ඊට එරෙහිව අදහස් පළ කර තිබිණි.

විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබ නවකවදය සාධාරණීකරණය කරමින් අදහස් පළ කරන බහුතරයකගේ මතය වී ඇත්තේ නවකවදය තුළින් පුද්ගලයෙකු සමාජ ගතවන බවය.

එසේම ශ්‍රී ලංකාව තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නොලැබ නවකවදයට එරෙහිව අදහස් පළ කරන්නන් "කුහකයන්" ලෙස ද හඳුන්වනු ලැබ ඇති ආකාරයක් සමාජ ජාල ඔස්සේ දැක ගත හැකිය.

නවකවදයට එරෙහි වීම, විශ්වවිද්‍යාල වරම් අහිමිවීමේ "ඇරියස් එක කවර් කර ගැනීමක්" (වාඩුව පියවා ගැනීමක්) බවට ද තර්ක ඉදිරිපත් වේ.

නවකවදය හේතුවෙන් තමන්ට මුහුණ පෑමට සිදු වූ චිත්ත පීඩාව පිළිබඳ ප්‍රවීණ රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම විසින් පළ කරන ලදැයි සඳහන් සටහනක් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වේ.

Image copyright සක්වළ

නවක වදය උපසංස්කෘතියක් බවට පත්ව ඇති බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ලහිරු වීරසේකර මීට ඉහතදී බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

එය එසේ නම් විශ්වවිද්‍යාල ජීවිතය අවසානයේ එකී උපසංස්කෘතියට තිත තැබේද?

"කැම්පස් එකේ රැග් ඒක දීලා මිනිස්සුන්ව හදලා ගන්නවනේ එහෙම හැදුනු පොරවල් අපිට එළියේදී දකින්නේ නොලැබෙන්නේ ඇයි?" යනුවෙන් අයෙකු ෆේස්බුක් ඔස්සේ ප්‍රශ්න කර තිබිණි.

යම් කිසි පුද්ගලයෙකු ඉලක්ක කර ඔහු/ඇය මානසිකව හෝ ශාරීරිකව පීඩාවට ලක් කරන්නේ නම් එය 'බුලි' (Bullying) කිරීමක් බව විශේෂඥ මතයයි.

'බුලි'කිරීම (Bullying) සිංහල භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ අරියාදු ලෙසය.

මේ අතර නවකවදය සහ බුලි කිරීම අතර වෙනසක් නොමැති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වාගේ අදහසය.

සාමාන්‍යයෙන් සංවර්ධිත යැයි සම්මත රටවල 'බුලි' කිරීම සංවේදී මාතෘකාවකි. ප්‍රාථමික පාසල්වල සිට සේවා ස්ථානය දක්වා බුලි කිරීම් වළක්වා ගැනීම සඳහා ක්‍රමෝපායන් සකස් වී ඇත.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ පාසලක හෝ උසස් අධ්‍යාපන ආයතනයක තවත් සිසුවෙකු හෝ සිසුවියක බුලි කරන පුද්ගලයෙකුට හිමි වන්නේ බිය මුසු ගෞරවයකි. නමුත් සංවර්ධිත යැයි සම්මත රටවල එය ලජ්ජාවට කරුණකි. (එම රටවල අරියාදු සිදු නොවෙතැයි මින් අදහස් නොකෙරේ)

රූපය, ලිංගිකත්වය, පවුල් පසුබිම වැනි කරුණු මත අපහාසාත්මක නම් පට බැඳීම හෝ වධ හිංසාවට ලක් කිරීම නිසා පාසල් යාමට මැලිකම් දැක්වූ අවස්ථා අප සමාජයේ බහුලය.

එමෙන්ම නවකවදය වැනි කරුණුවලදී වැඩි වශයෙන් ම කතාබහට ලක් වන්නේ වින්දිතයා පිළිබඳය. ඔහු හෝ ඇය මුහුණ දුන් මානසික හෝ ශාරීරික පීඩා පිළිබඳවය.

නවකවදය නැතිනම් බුලි කිරීම් සඳහා යොමු වන පිරිසෙන් කොටසකට මානසික ප්‍රශ්න ඇති බව මනෝ චිකිත්සා මගින් තහවුරු කර ගෙන ඇති බව මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා පවසයි.

එසේ "මානසික ප්‍රශ්න ඇති" බොහෝ දෙනෙකු තවකෙකු අතින් අපයෝජනයට ලක් වූවන් බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අරියාදු සහ අඩන්තේට්ටම්: විශේෂඥ උපදෙස්

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ රැකියා ස්ථාන තුළ ද ඒ ඒ කේෂ්ත්‍ර සහ ආයතනවල අනන්‍ය වූ උප සංස්කෘතීන් පවතී.

තමාට සිදු වෙතැයි හැඟෙන අසාධාරණයක්, නොසලකා හැරීමක් පිළිබඳ දුක්ගැනවිල්ලක් සිය ප්‍රධානියාට යොමු කරන අවස්ථාවක ඊට විසඳුමක් ලබා දෙනු වෙනුවට කලෙක තමන්ට සිය ප්‍රධානියා අතින් සිදු වූ එවැනිම අකටයුත්තක් සඳහන් කරමින් එය සාමාන්‍යකරණය කෙරෙන අවස්ථා දුලභ නොවේ.

"ඉස්සර අපේ ගුරුවරු හිටියා වාට්ටුවේ ඉගෙන ගන්න අවස්ථාවේ මොකක් හරි වැරදුනොත් ඇඳවල් අස්සේ රිංගවනවා. ඒ ඇඳ යට රිංගවපු පුද්ගලය විශේෂඥය වුණ ගමන් තමන්ට පහළ මිනිස්සුන්ව, ශිෂ්‍යයන්ව යවන්නෙත් ඇඳ යටට," යනුවෙන් මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා කියා සිටියේ සිය අත්දැකීමක් උදාහරණ වශයෙන් සඳහන් කරමිනි.

"ඒ මානසිකත්වය දිගට යනවා. ගෙදර ගිය විට බිරිඳට කරන්නෙත් ඒ ටික. තමන්ගේ ළමයින්ටත් කරන්නේ ඒ විදිහටම තමයි."

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර