මහනුවර රූගත කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ කරුණු දැක්වීමක්

සාම්ප්‍රදායික උඩරට ඇඳුමින් සැරසුණු විදේශිකයන් දෙදෙනෙකු මහනුවර ශ්‍රී දළදා මාලිගය ආසන්නයේ කළ රූගත කිරීමකට අදාළ වීඩියෝ දර්ශන සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ පිළිගත් මාධ්‍ය ආයතනයක් එකී පුවත වාර්තා කර තිබුණේ "දළදා මාලිගය අසල උඩරට නිලමේ ඇඳුමින් සැරසී අශෝභන ලෙස විදේශිකයන් පිරිසක් රඟ දෙයි," යනුවෙනි.

"විදේශීය සමලිංගික විවාහයක් සම්බන්ධයෙන් කළ රූගත කිරීමක් නිසා මහනුවර නගරය උණුසුම් වෙයි" යනුවෙන් සඳහන් කරමින් තවත් ෆේස්බුක් පිටුවක අදාළ වීඩියෝ දර්ශන පළ කර තිබිණි.

"අශෝභන" සහ "සමලිංගික" වැනි සංවේදී වචන සහිතව පළ කළ වීඩියෝ දර්ශනවලට ප්‍රතිචාර දැක්වූවන් අතරින් බහුතරය එකී ක්‍රියාව හෙළා දැක තිබුණේ දැඩි කෝපයෙන් යුතුවය.

Image caption ෆේස්බුක් හි පළ වූ වීඩියෝව

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ නිෂ්පාදන ආයතනය විසින් කරන ලද කරුණු දැක්වීමක් යැයි සඳහන් කරමින් ෆේස්බුක් සමාජ ජාලයේ සටහනක් තැබූ කපිල එම් ගමගේ පවසා තිබුණේ "එක් පාර්ශවයක් කියන දේ අසා තීරණ ගන්න එක මොනතරම් මූඪ ක්‍රියාවක් ද කියා මෙය කියවන විට දැනෙනවා," යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍ය වාර්තා කළ පරිදි විදේශීය පුරුෂයන් දෙදෙනෙකු සාම්ප්‍රදායික උඩරට ඇඳුමින් සැරසී සිටීම සමලිංගික විවාහයක් පිළිබිඹු කිරීමක් නොවන බව ඉහත කී කරුණු දැක්වීමේ සඳහන් වේ.

Image caption ෆේස්බුක් හි පළ වූ කරුණු දැක්වීම

ඊට සිය අදහස (comment) එක් කරමින් ප්‍රවීණ සිනමාවේදී අසෝක හඳගම සඳහන් කර තිබුණේ "මම මෙහි සම්පූර්ණ කතාව දන්නවා. කතාවේ එක් පැත්තකට පමණක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇහුම්කන් දීම අනුවණ ක්‍රියාවක්. මේ වැඩසටහන ශ්‍රී ලංකාවේ සංචාරක ගමනාන්ත සඳහා ලොවපුරා ප්‍රසිද්ධියක් ලබා දී තිබෙනවා. රට විසින් එවැනි ප්‍රසිද්ධියක් සඳහා මුදල් වැය කරනවා නම් ඒ සඳහා රුපියල් බිලියන ගණනක් වැය වේවි. මෝඩයෝ. ඔවුන් ශ්‍රී ලංකාවෙන් ඉවත් වෙන්න තීරණය කරලා. ඉතිරිය ඉන්දියාවේ සිදු කෙරෙයි. මොවුන් පසුගිය වසර කිහිපය පුරා පටිගත කිරීම් සිදු කර තිබෙනවා. වඩාත්ම වැදගත් දේ ඔවුන් ආපසු නොඒවි. ඔවුන් පමණක් නොවෙයි, බොහෝ දෙනෙක්," යනුවෙනි.

මොකක්ද මේ වැඩසටහන?

ෆේස්බුක් හි පළ වී ඇති ඉහත කී කරුණු දැක්වීමේ සහ සිනමාවේදී අසෝක හඳගම පවසන පරිදි අදාළ රූගත කිරීම සිදු කර ඇත්තේ එකොලයින් නමැති බෙල්ජියම් නිෂ්පාදනාගාරයක් විසිනි. ඒ 'Asia Express'(ශියා එක්ස්ප්‍රස්) නමැති රියැලිටි රූපවාහිනී වැඩසටහනක් සඳහාය.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සිනමාවේදී අසෝක හඳගම කියා සිටියේ "යුරෝපයේ සහ වෙනත් රටවල සංචාරකයන් ඉලක්ක කර ගනිමින් රට රටවල සංචාරක වැදගත්කමක් තිබෙන ස්ථාන, සංස්කෘතිය, ඒ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර වගේ දේවල් එමගින් ප්‍රවර්ධනය කරනවා. මහනුවරට කලින් මීගමුවේ පටිගත කිරීමක් සිදු කර තිබෙනවා" යනුවෙනි.

චිත්‍රපට සංස්ථාව භාරව සිටින අමාත්‍ය සජිත් ප්‍රේමදාස විසින් පටිගත කිරීම් අත්හිටුවනු ලැබ ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මහනුවරදී සිදු වූයේ කුමක්ද?

නිෂ්පාදන ආයතනයේ කරුණු දැක්වීමට අනුව රියැලිටි වැඩසටහනට සහභාගි වන විදේශීය තරගකරුවන්ට පැවරී තිබූ අභියෝගය වන්නේ මහනුවර වැව ආසන්නයට ගොස් මනාලයෙක් සහ මනාලියක් ලෙස සැරසී ඡායාරූපයකට පෙනී සිටීමය.

"එක් කණ්ඩායමක් හැර සෙසු සියලුම කණ්ඩායම්වල කාන්තාවක් සහ පුරුෂයෙක් බැගින් සිටියා. පුරුෂයන් දෙදෙනෙකු සිටි කණ්ඩායමට අදාළ අභියෝගයට අනුව පුරුෂයෙක් සහ කාන්තාවක් ලෙස සැරසීමට සිදු වුනා. ඒ අනුව ඡායාරූපයට පෙනී සිටීම සඳහා ඔවුන් එහි ගියා," ඉහත කී කරුණු දැක්වීමේ සඳහන්ය.

"මාධ්‍ය වැරදි ලෙස වාර්තා කළ පරිදි සමලිංගික විවාහයක් ලෙස පෙනී සිටීමක් නොවන බවත් එම ස්ථානය අසලින් ගිය පුද්ගලයන් ද එය සමලිංගික විවාහයක් යැයි සිතා නිශේධනීය ප්‍රතිචාරයක් පළ කළ," බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

"ලංකාව ගැන වැරදි චිත්‍රයක්"

කෙසේ නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජයම්පති හීන්කෙන්ද කියා සිටියේ අදාළ රූගත කිරීම මගින් සංචාරකයන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ වැරදි චිත්‍රයක් ඇඳෙන බවය.

"මේක ඒ රටවල සංචාරක ප්‍රවර්ධනය සඳහා යොදා ගන්නවා කියනවා. එතකොට මේ රටේ මුල් ඇඳුම ඇදගෙන මෙන්න මෙහෙම හැසිරෙන්න පුළුවන්. සමලිංගික විවාහ සිදු කරන්න පුළුවන් කියල ද ලෝකෙට පෙන්වන්නේ. උඩරට වැදගත් තනතුරු දරන නිලමේවරු හැටියට අපට කරබාගෙන ඉන්න කියලද කියන්නේ. අන්න එතනයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඒකයි මම ඒක නවත්වන්න උත්සහ කළේ," ඔහු කියා සිටියේය.

පසුගිය දිනවල සමාජ ජාලවල අවධානයට ලක්වූ සිදුවීම්:

බස්නායක නිලමේවරයා විසින් පටිගත කිරීම හඳුන්වනු ලැබුවේ උඩරට සම්ප්‍රදායට පහර ගැසීමේ අරමුණින් "සිය තනතුරු හෑල්ලු කර තම ගරුත්වයට හානි කිරීමේ උත්සහයක්" වශයෙනි.

"ලෝකයම පිළිගත්ත උඩරට මහා මංගල්‍යයට ගහන්න ගොඩක් සූදානම් වුනා. පළමුවෙන් ම එන්ජීඕ එකතු වෙලා අලින්ට හිංසා කරනවා කියලා ලෝකයට ප්‍රචාරය කළා. ඊට පස්සේ අපේ කුල පරම්පරා තිබෙනවා එමගින් මානව හිමිකම් කඩවෙනවා කියලා ප්‍රචාරය කළා. නමුත් අපි ඒවයෙන් වැටුනේ නැහැ,"

අදාළ පටිගත කිරීම සිදු වූ ස්ථානයට යෑමට හේතුව විස්තර කළ බස්නායක නිලමේවරයා, "යාලුවෙක් එක්ක මම රෙස්ටුවරන්ට් එකකට කෑම කන්න යද්දී පිරිමි දෙන්නෙක් මුල් ඇඳුම් ඇඳගෙන ඉන්නකොට අපි හිතුවේ බීලා මොකක්හරි කියලා. පාරේ මිනිස්සු අන්න ඔබතුමාලගේ ඇඳුම, අන්න වෙලා තිබෙන දේ කියලා උසුළු විසිළු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි මට විරුද්ධ වෙන්න සිද්ධ වුනේ," යනුවෙන් ජයම්පතී හීන්කෙන්ද කියා සිටියේය.

නිලමේවරයාගෙන් "අවවාදයක්"

ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් ද උඩරට මුල් ඇඳුම "විකෘති කරන බැවින්" ඔවුන්ට "අවවාදයක් ලබා දීම" සඳහා අදාළ සිදුවීම අවස්ථාවක් කර ගන්නා බව ඔහු කියා සිටී.

"සමහරු මගුල් කනකොට ඡායාරූප ගන්න ගිහින් මනාලයා මුල් ඇඳුම ඇඳන් බුදිය ගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් මුල් ඇඳුම ඇඟලා ගත් විට ඉරියව් තුනකින් පමණයි ඉන්න පුළුවන්. ඉඳ ගෙන ඉන්න පුළුවන්, ඇවිද යන්න පුළුවන්. අත පහලට දමා පහසු අයුරකින් සිටගෙන ඉන්න පුළුවන්. දෙකට නැමිලා, එක කකුලෙන් ඒ වගේ මුල් ඇඳුම ඇඳන් ඉන්න බැහැ."

"සංස්කෘතික පොලිසිය සහ ගෝත්‍රවාදය"

Image caption කාන්තාවන් පාසල් වලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳුම් නිර්දේශ කරමින් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක්

ආගම, ලිංගිකත්වය, හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් පවතින ස්ථාපිත ආදර්ශ (Stereo Types) මෙන්ම කාන්තාවන් විසින් ඇඟලිය යුතු ඇඳුම් සම්බන්ධයෙන් ආගමික කණ්ඩායම් සහ රජයේ ආයතන ද නොනිල නීති පැන වූ අවස්ථා මෑත කාලයේ දුලභ නොවේ.

ගායක එන්රිකේ ඉග්ලේසියස්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවති සංගීත ප්‍රසංගය අතරතුර තරුණියක් ඔහු දෙසට තනපටය විසි කළ බව කියන සිද්ධියක් එවක ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ විවේචනයට ලක් විය.

"මත්පැන් පානය කොට 'අසංවර' ක්‍රියාවල නිරත වන තරුණියන්ට නොව මෙවැනි වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරන පුද්ගලයන්ට 'මඩු වල්ගෙන් තැලිය යුතු' බව ජනපතිවරයා එහිදී කියා සිටියේය.

එමෙන්ම "සිංහල, දෙමළ, මැලේ, මුස්ලිම්, බර්ගර් ජනතාවගේ සිතුම් පැතුම් ඔහුට අමතක වුනා. රටේ ප්‍රශ්න ඔහුට අමතක වුනා. ඔහු සමනල ජීවිතයකට ඇතුළු වුනා." යනුවෙන් පවසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සමරිසි ප්‍රජාවේ සහ සිවිල් සමාජයේ ඇතැම් කොටස් අතර විවේචනයට ලක් විය.

සිවුරු හළ පුද්ගලයෙකු පිළිබඳ ප්‍රබන්ධ කෙටිකතාවක් පළ කළ ලේඛකයෙකු පසුගියදා අත්අඩංගුවට ගැනිණි.

Image copyright Facebook
Image caption වෙරළේ ඇඟලිය යුතු ඇඳුම් සම්බන්ධයෙන් හබරාදූව ප්‍රජා පොලිස් ඒකකය විසින් ස්ථාපනය කර තිබූ දැන්වීම් පුවරුව

ආගමික සම්ප්‍රදායන් සහ සංස්කෘතිය මුල් කර ගනිමින් අන්‍ය නිදහස, වෙනස් මත හෝ විශ්වාස නොඉවසීමේ තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතීද? මහනුවර සිදුවීම එහි දිගුවක්ද?

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිනමාවේදී අසෝක හඳගම කියා සිටියේ "රටවල් ආර්ථික, දේශපාලන තලයේ කඩාවැටීම්වලට ලක් වෙනකොට දේශපාලන බලය රැක ගැනීම සඳහා සංස්කෘතිය වශයෙන් මතු කර ගන්නා ගෝත්‍රවාදයන් ඉස්මතු කර ගනිමින් බලයේ රැඳී ඉන්න සහ බලය ලබා ගන්න සමහර කොටස් කටයුතු කරනවා. මේක රටකට සිදු විය හැකි අවාසනාවන්ත තත්ත්වයක්," යනුවෙනි.

දැඩි මතධාරී කණ්ඩායම්වල අවශ්‍යතාවට නතු නොවී මෙවැනි ගැටලු පිළිබඳ රජයක් වශයෙන් බරපතලව සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.