ශ්‍රී ලංකා දේශපාලනය: ලාබාලතම මහ නගර සභා මන්ත්‍රීවරිය සචිනි නිමේෂාගේ ඉදිරි බලාපොරොත්තු

bbcgateway

"මම හිතන්නේ පිරිමින්ට වැඩිය කාන්තාවක් කියන්නේ ශක්තිමත් කෙනෙක්. හැමදේම දරා ගන්න පුළුවන්. මීට වැඩිය දුරක් දේශපාලනිකව කාන්තාවකට යන්න පුලුවන්. අපේ රට මම හිතන්නේ කාන්තාවට තැන දුන්නොත් ආර්ථික සහ සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් සාර්ථක වෙයි කියලා."

මෙසේ කියන්නේ සචිනි නිමේෂා කාරියවසම් පතිරණ නම් තරුණියකි. ඇය සුවිශේෂි ය. ඒ 2018 පෙබරවාරී මාසයේ පැවති පළාත් පාලන ජන්දයෙන් තේරී පත්වූ ලාබාලතම මහ නගර සභා මන්ත්‍රීවරිය වන්නේ ඇය නිසාය.

සචිනි නිමේෂා පතිරණ තේරී පත් වූයේ අනුරාධපුර මහ නගර සභාවේ මන්ත්‍රීවරියක් වශයෙනි.

"කාන්තාවක් වශයෙන් ගත් විට මම හිතන්නේ අපි සියලු දේට ම හුරු වෙන්න ඕනේ. ඒ හින්දා මම හිතන්නේ මම ඒ දේට හොඳින් මුහුණ දුන්නා ඒ කාලේදී. විශේෂයෙන්ම මගේ පවුලේ අය මට විශාල ශක්තියක් වුණා කාන්තාවක් කියලා නෙමෙයි ළමයෙක් කියලා තමයි මාව ගොඩක් අය පිළිගත්තේ. ළදරුවෙක් කියලා සමහරු මාව හෑල්ලුවටත් ලක් කළා. "

සචිනි නිමේෂා ඡන්දයට ඉදිරිපත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහයෝගය දක්වන පොදු ජන පෙරමුණෙනි.

එහිදී තමා ඉදිරිපත් වූ කොට්ඨාශයෙන් ප්‍රථමයා වීමට නිමේෂා සමත් වුවාය.

"පිරිමි අයනම් කියන්නේ කාන්තාවට බෑ. මේ දේ කරන්න බැහැ ඔයාට එන්න බැහැ. මේ තැනට එන්න එපා සුදුසු නැහැ. මම හිතන්නේ ඒ කාන්තාවට දුර දක්නා නුවණ තියෙනවා. ප්‍රශ්න දිහා හොඳින් සිතා බලනවා ආ දැන් මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියලා. මම පිරිමියාට වැරදි කියනවා නෙමෙයි. කාන්තාවටත් මම කියන්නේ ඒ සම තැන දෙන්න ඕනේ."

Image copyright Sachini Nimesha/FACEBOOK

2018 පළාත් පාලන ජන්දය 2017 පළාත් පාලන ආයතන (සංශෝධන) පනත අනුව පැවැත්විණි.

සෑම පක්ෂයකින්ම ජන්දයට ඉදිරිපත් වන නියෝජිතයින්ගෙන් 25% කාන්තාවන් විය යුතු බව එම පනතින් කියැවිණි.

ඒ අනුව පළාත් පාලන ආයතන 341ක් සඳහා කාන්තාවෝ 1900ක් පමණ එම ජන්දයෙන් තේරී පත්වූහ.

"කාන්තාවක් විදියට 25% කොටා එක ආපු එක ගැන මම සතුටු වෙනවා. මොකද කාන්තාවක් දේශපාලනයට ආවහම මම හිතනවා දේශපාලනයේ අවංක බව රඳා පැවතීම වැඩියි. මොකද මම ඒක අත්දැකීමෙන් කියන්නේ."

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
“මම හිතන්නේ පිරිමින්ට වඩා කාන්තාවන් දේශපාලනයට සුදුසුයි”

මුලදී මේ ගැන සමාජයේ නිෂේධන මත ඉදිරිපත් වුවද සචිනි නිමේෂා පවසන්නේ ශ්‍රී ලංකා දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ යාම හොඳ දෙයක් බවය.

පළාත් සභාවල ද කාන්තා නියෝජනය ඉහළ දැමිය යුතු බව පවසන ඇය, ඒ ගැන මුලදී සාකච්ඡාවක් සමාජයේ පැවතුන ද වර්තමානයේ ඒ ගැන වැඩි කතාබහක් නොමැති බව පවසයි.

"ගෙදර කළමනාකරණය කරන්න වුණත් පිරිමියෙක් දෙන්නේ කාන්තාවකටනේ. ඒ වගේම දේශපාලනයේත් මම හිතනවා කළමනාකරණය කියන දේ කාන්තාව උපරිමව කරනවා. ඒ වගේම තමයි අවංකභාවය. ඒ වගේම තමයි නිහතමානීභාවය. කාන්තාවකට හැම දේම බැලන්ස් කරන්න පුළුවන් සමබරතාවය තියෙනවා. ඒ කියන්නේ පවුලත් බැලන්ස් කරනවා ජොබ් එකත් බැලන්ස් කරනවා. ඒ කරන හැමදේම කරන නිසා මම හිතනවා කාන්තාව දේශපාලනයට ගොඩක් සුදුසුයි කියලා. මම හිතනවා කාන්තාවන් දේශපාලනයට ඒමෙන් මම හිතනවා අපේ දේශපාලනය මීට වැඩ සාර්ථක වෙයි කියලා අපේ රටේ"

එසේම පවතින තත්ත්වය වෙනසකට භාජනය කර තරුණ තරුණියන්ට රටේ දේශපාලන ප්‍රවාහයට ඇතුළත් වීමට සුදුසු පරිසරය ඇති කළ යුතු බව පවසන ඇය එමගින් දුෂණය සහ නාස්තිය පිටු දැකීමට උපකාරී විය හැකි බව පෙන්වා දෙයි.

"දැන් තරුණ තරුණියෝ දේශපාලනය ගණන් ගන්නේ නැහැ. වැඩක් නැහැ අපි ජන්දෙ දාන්න යන්නේ නැහැ කියන මතයේ එයාලා ඉන්නේ. මම හිතනවා අපේ රටේ තියෙන දේශපාලන තත්ත්වය ගැන ඒගොල්ලෝ හොඳට දැනුවත් කියලා. මම හිතන්නේ තරුණ තරුණියන් වැඩිය දේශපාලනය කියන දේ ගණන් ගන්නේ නැහැ. මේ රට ඉස්සරහට වෙනස් වෙයි. හැබැයි ආරම්භයක් දුන්නොත් හුඟක් දේවල් වෙනස් වෙයි කියලා මම හිතනවා," නිමේෂා පැවසීය.

"මට මේක නැවුම් අත්දැකීමක්. මේ අත්දැකීම විඳින්න ඕනේ. මටනම් ලොකු අත්දැකීමක්.."

ඉදිරි දේශපාලනය

තමා ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමට 'මහින්ද රාජපක්ෂ' සාධකය බලපෑ බව නිමේෂා පවසයි. ජනතා සහයෝගය ඉදිරියටත් ලදහොත් තමා දේශපාලනයේ යෙදෙන බවද ඇය කියා සිටියාය.

"මම ඉස්සෙල්ලම ගියේ මහින්ද මහත්තයාගේ මුහුණ පෙන්නලානේ මගේ මුහුණ පෙන්නලා නෙමෙයිනේ. මහින්ද මහත්තය ඉස්සරහට දාලා ආ මෙයාට ජන්දය දෙන්න කියලා ගියේ. දැන් මම වටපිටාව හදලා තියෙන්නේ මගේ මුහුණ පෙන්නලා යන්න. ඒ විදියට ඡන්දය දෙන්න මිනිස්සු කැමති වුණොත් ඉල්ලනවා. නැත්නම් නැහැ."

සචිනි නිමේෂා දරුවන් තිදෙනෙක් සහිත පවුලක වැඩිමලා වේ. ඇයගේ පියා පොලිස් නිලධාරියෙකි. මව විශ්‍රාමික රජයේ සේවිකාවකි.

2015 දී ගණිතය විෂය ධාරාවෙන් අ.පො.ස උසස් පෙළ විභාගය සමත් වූ නිමේෂා යාපනය විශ්වවිද්‍යාලයට තේරිණි.

නමුත් තමා බලාපොරොත්තු වූ ආකාරයට එමගින් සිචිල් ඉංජිනේරුවරියක් වීමට නොහැකි වන බැවින් ඇය යාපනය විශ්වවිද්‍යාලයට නොයෑමට තීරණය කළාය.

වර්තමානයේ ඇය කොළඹ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන්නීය.

එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලනය සහ ආණ්ඩුකරණය පිළිබඳ ඩිප්ලෝමාවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේත් 'ප්‍රතිපත්ති විශ්ලේෂණය' පිළිබඳ ඩිප්ලෝමාවත් තමා හදාරන බව ඇය බීබීසී සිංහල සේවය හා පැවසුවාය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර