සිංහරාජයේ "ඉඩම් කොල්ලයක්": හුදෙකලා පවුලක් සොයා ගිය ගමනක්

ගිගුරුව රක්ෂිතය

සිංහරාජ රක්ෂිතය තුළ රහසේ සිදු කරන බෝග වගාව සහ තේ කර්මාන්තයට මුවා වෙමින් සංවේදී කලාපය හෙළි කරමින් සහ දිළිඳු පවුල් එම ඉඩම් තුළ පදිංචි කරවමින් ඉඩම් අයිතිය ලබා ගැනීමේ ජාවාරමක් සිදුවන බවට පරිසරවේදීහු චෝදනා කරති.

දේශපාලනිකව බලවත් පුද්ගලයින් මේ ඉඩම් කොල්ලයට සම්බන්ධව සිටින බවට ඔවුහු චෝදනා කරති. එලෙස අත්පත් කර ගන්නා ඉඩම්වල තේ හෝ කුරුඳු වැනි බෝග වගා කර එම වගාව ආරක්ෂා කිරීමට යැයි පවසමින් අදාළ පවුල් එම ඉඩම්වල පදිංචි කරවන බව ද ඔවුහු පවසති.

එම ඉඩමේ සින්නක්කර අයිතිය තහවුරු කර ගන්නා තෙක් ඔවුනට එහි පදිංචිව සිටීමට අවසර හිමි වුව ද පසුව ඔවුන් නෙරපා දමා හෝටල් සහ නිවාඩු නිකේතන වැනි ස්ථිර ගොඩනැගිලි ඉදිකිරීමට ද ව්‍යාපාරිකයින් දැනටමත් කටයුතු කර ඇතැයි පරිසරවේදීහු වැඩිදුරටත් පෙන්වා දෙති.

ඇතැම් ඉදිකිරීම් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පසුව අවසර ලබා ගත්ත ද වනජීවී හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල අවසර මෙතෙක් ලබාගෙන නොමැති බව පරිසරවේදීන් පෙන්වා දෙන තවත් කාරණයකි.

"මේක තමයි අලුත් ම ජාවාරම. වසරකට අක්කර 200ක් විතර මෙහෙම හොර රහසේ කපාගෙන යනවා. අයිතිකාරයෝ එන්නේ හෙලිකොප්ටර්වලින්. අසරණ පවුල් ගෙනත් පදිංචි කරනවා. ඔය වගේ පවුල් තව විස්සක් විතර සිංහරාජ රක්ෂිතය ඇතුළෙත් තැනින් තැන ඉන්නවා. එක පවුලක් මුණ ගැසුණා, ගල් ගුහාවක ඉන්නේ. ළමයි නගරේ පාසල්වල ගිහින් ඉගෙන ගන්නවා. බොහොම රහසින් මේ වැඩ වෙන්නේ. බලෙන් අල්ල ගත්ත ඉඩමක අසරණ පවුලක් පදිංචි කරලා තිබ්බ ම කාලයක් ගියා ම ඉඩමට අයිතිය ඉල්ලන්න පුළුවන්. මේ සියල්ල පිටුපස දේශපාලනය ද තිබෙනවා," පරිසරවේදී නයනක රන්වැල්ල එලෙස පවසයි.

Image copyright නයනක රන්වැල්ල/FACEBOOK
Image caption පරිසරවේදී නයනක රන්වැල්ල

රක්ෂිතයකට හෝ සංවේදී කලාපයක් විනාශ වන ආකාරයෙන් බාහිර පුද්ගලයින් කටයුතු කිරීමේදී ඊට එරෙහි නීති මොනවාද?

"වන සත්ව සහ වෘක්ෂලතා අඥා පනතට අනුව අවසරලත් නරඹන්නෙකුට හෝ යම් නිරීක්ෂණ කටයුත්තකට විතරයි රක්ෂිතයකට හෝ සංවේදී කලාපයකට ඇතුළු වෙන්න පුළුවන්. නමුත් අද මේ නීති අකුරට විතරයි සීමා වෙලා තියෙන්නේ. දැන් බලන්න මේ පවුල් පදිංචි කිරීම විතරක් නෙවි. අනවසර ඉදිකිරීම් කොච්චර තිබෙනව ද? නිවාඩු නිකේතන සෑහෙන්න ඉදිවෙනවා. කිසි ම සොයා බැලීමක් නෑ".

ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රනිල් සේනානායක ද දීර්ඝ කාලයක සිට සිංහරාජ රක්ෂිත කලාපය තුළ විවිධ අධ්‍යයනයවල නිරත වන මහාචාර්යවරයෙකි. රන්වැල්ල ඉදිරිපත් කරන තොරතුරු තවදුරටත් තහවුරු කරන මහාචාර්යවරයා රක්ෂිතය තුළ සිදුවන තවත් අනිසි ක්‍රියාකාරකම් රැසක් අවධානයට ලක් කරයි.

Image copyright මහාචාර්ය රනිල් සේනානායක/RISTORE
Image caption මහාචාර්ය රනිල් සේනානායක

"අපේ රටට තේ කර්මාන්තය හඳුන්වා දුන්නට පස්සේ සිද්ධ වෙන ලොකු ම විනාශය තමයි මේ. ඉස්සර සිංහරාජ වනාන්තරය අලව්ව ඉඳලා මාතර දක්වා තිබුණා කිව්වොත් විශ්වාස කරන්නෙත් නැති වෙයි. දැන් මේ තේ වගාව නිසා රක්ෂිතය ප්‍රමාණාත්මකව අඩු වෙනවා. රක්ෂිතය වටේ විතරක් නෙවි එය ඇතුළේ හොර රහසේ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් එමටයි. සමහරු දඩයම් කරනවා. මැණික් ගරනවා. කසිප්පු පෙරනවා. මේකෙන් වෙන්නේ රක්ෂිතය ඇතුළේ තියන කුඩා දිය කඩිති ඇහිරෙනවා. පස විනාශ වෙනවා. ආවේණික මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් රටට අහිමි වෙනවා. ගොඩක් ම මේ දේ වෙන්නේ දකුණු සීමාවේ," මහාචාර්ය සේනානායක පැහැදිලි කළේය.

ගාල්ල දිස්ත්‍රිකයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සිංහරාජ දකුණු සීමාවට අයත් වේ.

Image copyright Getty Images

නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පහතරට තේ වගාව බහුලව සිදුකෙරන පළාතකි. සිංහරාජ රක්ෂිතය ආසන්නයේ ද තේ වගා කෙරෙන අතර දිගු කලක සිට පවතින පෞද්ගලික ඉඩම් සීමා මායිම් සලකුණු කර රක්ෂිතයෙන් වෙන් කර තිබේ.

ඒ ආශ්‍රිත ගම්මානවල දිවි ගෙවන ජනතාව දෛණික වැටුපට වතු සේවයේ නිරත වෙති. පරිසරවේදීන් පෙන්වා දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ එලෙස පවතින පෞද්ගලික ඉඩම් අයිතිකරුවන් වසරින් වසර රහසින් විශාල කර ගැනීමට පෙළඹී සිටීමය.

මුල් ඔප්පුවට අනුව අක්කරයක අයිතිය හිමිව තිබුණ ද වසර කිහිපයකට පසු රක්ෂිතය සතු තවත් අක්කර කිහිපයක් ඔවුන් රහසිගතව තම ඉඩමට එක් කර තිබේ. එලෙස ඉඩම විශාල වූ පසු ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අලුත් ඔප්පුවක් සඳහා ඔවුන් ඉල්ලීම් කරන බව ද වාර්තා වේ.

නව ඔප්පුව ලැබෙන තුරු අදාළ භුමියේ දිළිඳු පවුල් පදිංචි කෙරෙති.

එවැනි එක්තරා කලාපයක හුදෙකලාව දිවි ගෙවන පවුලක් සිටින බවට බීබීසී සිංහල සේවයට කරුණු වාර්තා විය. නෙළුව නගරයේ සිට කිලෝමීටර 16ක් දුරින් ගිගුරුව පරිවාර රක්ෂිත කලාපයේ මේ පවුල හුදෙකලාව දිවි ගෙවයි.

Image caption ගිගුරුව රක්ෂිතය
Image caption ගිගුරුව රක්ෂිතය

බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ කළු ගඟ ආසන්නයේ නිවසක දිවි ගෙවමින් සිටි තමන් 2017 වසරේ මැයි මස බලපෑ ගංවතුරට ගොදුරු වූ බවත් හිසට සෙවන සැලසූ නිවස ද ගං දියට බිලි වෙද්දී ඇඳි වත සමග මහමගට වැටුණු බවත් එම පවුලේ සාමාජිකයෙක් පැවසීය.

"ගේ කඩාගෙන ගියා. යන එන මං නැති වුණා. පස්සේ පවුලයි මායි දරුවෝ ටිකයි යමු කියල එළියට බැස්සා. හතර දෙනා ම කිලෝ මීටර ගාණක් ඇවිද්දා. ඇවිද ඇවිද තැනක් හෙව්වා නවතින්න. ඒත් හරිහමන් තැනක් ලැබුණේ නෑ. සමහර තැන්වලින් අපට කන්න බොන්නත් ලැබුණා. එහෙම ඉන්නකොට රක්ෂිත මායිමේ අත්හැර දා තිබුණ මේ කුරුඳු වත්ත ගැන කන්කානම් මහත්තයකුගේ මාර්ගයෙන් දැනගන්න ලැබුණා. දැන් ඉතිං මේ තේ දලු මඩුවේ ඉන්නවා."

ඔවුන් වාසය කරන මේ කුඩා නිවාස දිගින් අඩි 12 පමණ වන පළලින් අඩි අටක් පමණ වේ. එම කොටසේ දරු දෙදෙනා සහ බිරිඳ දෙවසරකට අසන්න කාලයක සිට ජීවත් වෙති.

Image caption පැල්පතට විදුලිය ලබාදී ඇති අයුරු

උළු සෙවිලි කර ඇති නිවසට විදුලිය ද ලැබී තිබේ.

" අපි හරි අමාරුවෙන් ජිවත් වෙන්නේ. කඩේකට යන්න විදිහක් නෑ. අහල පහළ ගෙයක් දොරක් නෑ. මේ මඩුව වැස්සට තෙමෙනවා. උයන්න කරන්න විදිහක් නෑ. ළමයි දෙන්න ම අසනීපෙන්. මහත්තයටත් හතිය. අපිට ඉන්න තැනක් දෙනව නම් අපි යන්න කැමතියි. කිසි ම ආරක්ෂාවක් නැතිව මෙහෙම හැම දා ම ඉන්න බෑ," පැල්පතේ තමන් ලබන අත්දැකීම මේ මව පැහැදිලි කරන්නීය.

අක්කර තුන හමාරකට වැඩි වපසරියකින් හෙබි මෙම ඉඩම අයිති පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට බීබීසී සිංහල සේවයට හැකි විය . ඔහු පැවසූ ආකාරයට ඉඩමට මෙතෙක් නීත්‍යනුකූල ඔප්පුවක් නොමැත. තමන් මේ ඉඩම වෙනත් පුද්ගලයෙකුගෙන් මිලදී ගත් බවත්, ඒ වනවිටත් රක්ෂිතයෙන් කොටසක් ඉඩමට එක් කර තිබූ බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත් තමා මෙම ඉඩමට ඔප්පුවක් සකසා ගැනීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය නෙළුව ප්‍රාදේශීය ලේකම් චතුරංග ගුණසේකරගෙන් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ, රක්ෂිතයක වගා කිරීම සපුරා තහනම් බවත් කිසිදු ආකාරයකින් රක්ෂිතයක් තුළ පිහිටි ඉඩමකට ඔප්පු ලබා දිය නොහැකි බවත්ය. කෙසේ වෙතත් ඇතැම් පුද්ගලයින්ගේ දිළිඳු භාවය සලකා රක්ෂිතයෙන් පිට වගා කිරීමට තාවකාලික අවසර පත් නිකුත් කිරීමේ හැකියාව පවතින බව ද ප්‍රාදේශීය ලේකම්වරයා තහවුරු කළේය.

එහිදී එම පුද්ගලයින්ගේ දිළිඳු භාවය සලකා බලන බව ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

නමුත් පරිසරවේදීන්ට අනුව එය රක්ෂිතය විනාශ කිරීමට වෙර දරන පුද්ගලයින්ට කදිම අවස්ථාවකි.

"දිළිඳු පවුලක් පදිංචි කරලා අවසානේ රක්ෂිතය ටිකෙන් ටික අල්ලගන්න පුළුවන් හොඳ ම ක්‍රමය තමයි මේ. හැබැයි මේවා පිටිපස්සේ ඉන්නේ ධන කුවේරයෝ. මේවට හොයන්නේ බලන්නේ නැතිව විදුලියත් දෙනවා දැන්. කල් යනකොට අමතකයි මේවා රක්ෂිත කියලා. අයිතිය තහවුරු කර ගන්නවා. පදනමක් නැති අවසරයකුත් තිබෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තවත් ලේසියි. මොන පදනමින් ද මේ ඉඩම් දෙන්නේ . දිළිඳුයි කියලා මේ මිනිස්සුන්ට ඉඩමේ අයිතියක් ලැබෙන්නේ නෑනේ. ඉඩම ලියා ගත්ත ගමන් එලවල දානවා. ඒත් වන සංරක්ෂණයෙන් හෝ වනජීවී එකෙන් කිසි ම අවසරයක් අරගෙන නෑ." පරිසරවේදී නයනක රන්වැල්ල මතු කරන ගැටලුව එයයි.

පරිසරවේදීන් නගන මෙම චෝදනා සම්බන්ධයෙන් සිංහරාජ නෙළුව කලාපය භාර අඩවි වන නිලධාරී බී.ඒ.කේ.සී. බමුණුසිංහගෙන් විමසූ විට: "ගැටලු තිබෙන අවස්ථා තිබෙනවා. මේ සිමාවේ රක්ෂිතයට අයිති ඉඩම් මෙන් ම පෞද්ගලික ඉඩම් තිබෙනවා. තේ වගාවට වෙන් කරලා තිබෙන කොටස් අපි මායිම් කරලා තියෙන්නේ," යනුවෙන් ඔහු විස්තර කෙළ්ය.

"සමහර වෙලාවට මේ මායිම් ක්‍රමිකව හොරෙන් වැඩි කරගෙන යන බව වාර්තා වෙනවා. අපි එවිට කරන්නේ නීති මගින් කටයුතු කරන එක. මේ සංවේදී කලාපයේ තිබෙන සමහර ඉඩම් සිංහරාජ රක්ෂිතයේ වැදගත්කම සලකා යළි පවරා ගැනීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. එතකොට මේ ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා."

මෙවැනි වාසස්ථාන සඳහා විදුලිය ලැබුණේ කෙසේ ද?

Image caption බී ඒ කේ සී බමුණුසිංහ - අඩවි වන නිලධාරී

"මෙහෙමයි දැන් විදුලිය දෙනකොට විශේෂ පරීක්ෂාවක් කරන්නේ නෑ. නමුත් ඉඩම් අයිතිය සම්බන්ධ නඩු කටයුත්තකදී විදුලිය තියනව ද නැද්ද කියල නෑ රක්ෂිතයක් නම් අනිවාර්යයෙන් පවරා ගැනීමක් සිදු කරනවා" බී ඒ කේ සී බමුණුසිංහ පැවසීය.

මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායකගෙන් කළ විමසීමකදී සිංහරාජය පමණක් නොව නකල්ස් වැනි රක්ෂිත මෙවැනි අවදානමක පවතින බව ඔහු තහවුරු කළේය. රක්ෂිතය තුළ සිදුවන හෙළි කිරීම පාලනය කිරීමට පියවර රැසක් ගෙන ඇති බව පැවසූ ලේකම්වරයා සිංහරාජ රක්ෂිතය මෙන්ම සංවේදී කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් ඉඩම් යළි පවරා ගැනීමට කටයුතු කරන බව පැවසීය. ධනවත් ව්‍යාපාරිකයින් ඉඩම් බලෙන් අල්ලා ගැනීමට කූඨ උපක්‍රමවල නිරත වන්නේ නම් එම සියලු තොරතුරු තමන් වෙත ලබා දෙන ලෙස ලේකම්වරයා පරිසරවේදීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

සිංහරාජය ගැන තොරතුරු බිඳක්

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව පහත රට තෙත් කලාපයේ පිහිටා ඇති සිංහරාජ වනයේ වපසරිය හෙක්ටයාර 11187 කි.

විදු ලොව තුළ මෙවැනි වනාන්තර, 'නිවර්තන තෙත් වනාන්තර' ලෙස හඳුන්වයි.

සිංහරාජයේ මායිම්

සිංහරාජය රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක අතර පිහිටා තිබේ.

නැගෙනහිරින් බෙවර්ලි වතුයාය සහ දෙනුව කන්දත් පිහිටා ඇත. උතුරින් නාපොළ දොළ සහ කොස්කුලන ගඟ පිහිටා ඇත. දකුණු පසින් ඇත්තේ මහදොළ සහ ගිං ගඟය. බටහිරින් කළුකන්දෑව ඇළ සහ කුඩාව ගඟ මායිම්ව ඇත.

සිංහරාජය සහ ජනප්‍රවාද

සිංහරාජය පිළිබඳ බැඳුණු ජනප්‍රවාද රැසක් පවතී. සිංහරාජ වනයේ විසූ 'සිංහ රාජයෙකු' ඉන් එකකි.

සිංහරාජ වනය පිළිබඳ ඉතිහාසගත සටහනක් වාර්තා වන්නේ, ඉබන් බතුතාගේ සංචාර තුළිනි. ඔහු සිංහරාජය මැදින් වැටී තිබූ අඩි පාරක් ඔස්සේ ශ්‍රී පාද කන්ද තරණය කළ බව වාර්තා වේ.

ඓතිහාසික පසුබිම

යුනෙස්කෝ සංවිධානය විසින් සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබ ඇත.

සිංහරාජය තුළ ශ්‍රී ලංකාවට අවේණික 'ඒක දේශීය ශාක' විශාල සංඛ්‍යාවක් ඇත. වනය තුළ දැවමය ශාක විශේෂ 340 ක් පමණ හමුවන අතර ඉන් 192ක් ම ශ්‍රී ලංකාවට අවේණික බව නිල වාර්තාවල සඳහන් වේ.

සිංහරාජය අද්විතීය ශාක විවිධත්වයකට හිමිකම් කියනවා සේ ම විශාල සත්ත්ව ගහනයක ද නිජ භූමිය වෙයි.

සබැඳි පුවත්:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර