ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහ ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනය

Image copyright JVP
Image caption රෝහණ විජේවීර හෙවත් පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර

තිස් වසරකට පෙර, 1989 වසරේ නොවැම්බර් 13 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්අඩංගුවේ දී මියගිය බව සඳහන් කරමින් එවක බලයේ සිටි රජය නිවේදනයක් නිකුත් කළේය. නමුත් මරණය සිදු වූ ආකාරය පැහැදිලිව ප්‍රකාශ වී නොතිබිණි.

1943 ජුලි 14 දින උපත ලද රෝහණ විජේවීරගේ සැබෑ නම පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර වූ අතර, මාක්ස්වාදය, ලෙනින්වාදය ඇතුළු වාමාංශික දේශපාලන අදහස්වලින් පෝෂණය වූ ජනතා විමුක්ති පෙරමුණේ සමාරම්භකයා වේ.

ශ්‍රී ලංකාවේ දකුණු දිග පිහිටි කුඩා ගම්මානයක් වන කෝට්ටෙගොඩ විසූ දිළිඳු පවුලක උපන් ඔහුගේ ඔහුගේ පියා දොන් අන්දිරිස් විජේවීර සහ මව නැසිනෝනා වික්‍රම කළතොට නම් වූහ.

"ඔහු පොහොසත් කෙනෙකු හෝ උසස් යැයි සැලකෙන කුලයකට අයත් අයෙක් නොවේ. ඔහුගේ දෙමාපියන් දුප්පත්, සාමාන්‍යය මිනිස්සු," යැයි කලෙක විජේවීරගේ සමීප මිතුරෙකු වූ වික්ටර් අයිවන් ඔහුගේ මරණින් පසු ලියූ ලිපියක සඳහන් වේ.

ගොඩඋඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ ගොඩඋඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද විජේවීර උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙනි.

1960 දී ලුලුබ්මා මිත්‍රත්ව සරසවියෙන් ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමුණු අතර, වෛද්‍ය උපාධිය හැදෑරීමට රුසියාව බලා පිටත් වූයේය.

වෛද්‍ය විද්‍යාවට අමතරව රුසියාවේ ගත කළ කාලය ඇතුළත දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හොඳින් අධ්‍යනය කළ විජේවීරට, භාෂා කීපයක් චතුර ලෙස හැසිරවිය හැකි විය.

ඔහු නිතර පොත් පත් පරිහරණය කරමින් විවිධ විෂයන් ගැන ස්වයං අධ්‍යනයක යෙදුණු පුද්ගලයෙකු ලෙස ප්‍රකටය.

"රෝහණ විජේවීර සහෝදරයා කියන්නේ මාතර ගමක ඉතා දුප්පත් පවුලක උපත ලැබූ පුද්ගලයෙක්. ඔහු සිය අරමුණ වෙනුවෙන් දැඩි ලෙස කැපවුණ, දැඩි අධිෂ්ඨානයක් තිබූ කෙනෙක්. ලුලුම්බා විශ්වවිද්‍යාලයට ලැබුණු ශිෂ්‍යත්වයත් සමග වෛද්‍යවරයෙකු වෙන්න ඉගෙන ගත්තත්, එය හැර දමා සමාජය වෙනුවෙන් කැපවෙන්න ඔහු තීරණය කළා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් බීබීසී සිංහල සේවයට සිය අදහස් දක්වමින් පැවසීය.

1960 දශකයේ මුල් කාලය තුළ චීනය සහ සෝවියට් රුසියාව අතර මත ගැටුම් උත්සන්න විය. සෝවියට් රුසියාව ඒ වන විට නිර්මාක්ස්වාදී මාවතකට පිවිසෙමින් තිබිණි. රුසියානු විප්ලවයත් සමග එරට ස්ථාපිත වූ දැඩි මාක්ස්වාදී, ජාත්‍යන්තරවාදී පාලනයෙන් ඉවත් වී සමාජවාදී ක්‍රමයකට අනුගත වෙමින් පැවතුණි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය එකල රුසියානු සමාජවාදී පක්ෂ සමග සම්බන්ධතා පැවැත්විය.

නමුත් පසු කලක එය රුසියානු කොම්යුනිස්ට් පිළ සහ චීන කොම්යුනිස්ට් පිළ ලෙස බෙදී ගියේය.

වාමාංශික දේශපාලනයට නැඹුරු වූ විජේවීර මෙම කාලය තුළ රුසියානු ක්‍රමය දැඩි ලෙස විවේචනය කළේය.

රුසියාවේ සිට කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි විජේවීර චීන කොමියුනිස්ට් පිළෙහි දේශපාලනයට සම්බන්ධ වූයේය. මේ අතර, ශ්‍රී ලංකාවේ පැවති රුසියානු හිතවාදී වාමාංශික දේශපාලනය ද ඔහු දැඩි ලෙස විවේචනය කරන්නට විය.

නිවාඩුව අවසන් වී නැවත රුසියාව බලා පිටත් වීමට සැරසෙන විජේවීරගේ වීසා බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලය ක්‍රියා කළේය. මෙතෙක් චීන කොමියුනිස්ට් පිළට සිය මතවාදවලින් පමණක් සහය දැක්වූ විජේවීර, මෙයින් පසු එම පිළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත් විය.

කෙසේනමුත්, වැඩි කල් ගතවීමට පෙර එම පක්ෂයේ ක්‍රියා කලාපය හේතුවෙන් කලකිරුණු විජේවීර, එය තුළ 'ප්‍රති කණ්ඩායමක්' ගොඩනැගීමට කටයුතු කළේය. මෙම කණ්ඩායම පසු කලක ජනතා විමුක්ති පෙරමුණ ලෙස වර්ධනය විය.

Image copyright JVP
Image caption රෝහණ විජේවීර සිය දරුවෙකු සමග

කැරලි ගැසුණු දිගු කොණ්ඩය සහ හිස පැළඳි තරු ලකුණ ඇති තොප්පිය නිසා ඔහු කියුබානු විප්ලවයේ 'වීරයෙකු' ලෙස සලකන චේ ගුවේරා අනුගාමිකයෙකු යැයි බොහෝ දෙනෙක් සිතූහ.

සමහරු මෙම විප්ලවාදීන් හැඳින්වූයේ "චේ ගුවේරාකාරයෝ," ලෙසය.

ක්‍රියාකාරී දේශපාලනය සහ 'විප්ලවය'

1965 වර්ෂයේ දී ගාල්ලේ පැවති කුඩා රැස්වීමකින් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස නිල වශයෙන් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරිණි. පැරණි වාමාංශික පක්ෂ වන ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂ, සමගි රජය සමග එක් වීම මෙම නව පක්ෂය නිර්මාණය වීමට ප්‍රධානතම හේතුව විය.

'ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීම' මෙම පක්ෂයේ අරමුණ විය.

"ධනපති ක්‍රමය තිබෙන තාක් කල්, ධනේශ්වර සූරාකෑම තිබෙන තාක් කල්, ධනේශ්වර පාලන පංතීන් තිබෙන තාක් කල්, ඔවුන් ඔවුන්ගේ ඔත්තුකරුවන් නිර්ධන පංති ව්‍යාපාර තුළට රිංගවා එමගින් ඔවුන්ගේ කැත අරමුණු ඉටුකර ගැනීමට උත්සහ දරණු ඇත. කළ හැකි සෑම සටකපට උපක්‍රමයක්ම යොදනු ඇත" ලෙස රෝහණ විජේවීර රචනා කළ 'අත්දැකීම් කිහිපයක්' නම් ග්‍රන්ථයේ සඳහන් වේ.

විජේවීර ඇතුළු තරුණ කණ්ඩායම් මෙම දේශපාලන මතවාදය ජනතාව අතරට ගෙන යෑම සඳහා රට පුරා රැස්වීම පැවැත් වූ අතර, ඔහු දක්ෂ කථිකයෙකු ලෙස ප්‍රචලිත විය.

"ඔහු ඉතා ජනකාන්ත, බලවත් කථිකයෙක්. සටහන් නැතුව ඔහුට පැය තුනක් හෝ හතරක් එක දිගට කතා කරන්න පුළුවන්" යැයි විජේවීරගේ නීතීඥවරයෙකුව සිටි පී. රාජනායගම් මින් වසර කීපයකට පෙර බීබීසී සේවයේ පළ වූ ලිපියකට සිය අදහස් දක්වමින් පැවසීය.

Image caption රෝහණ විජේවීර සමඟ සමකාලීනව දේශපාලන කටයුතු වල නිරතව සිටි දයා වන්නිආරච්චි

1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ආරම්භ කෙරිණි. විප්ලවවාදී කණ්ඩායම්වලට අයත් තරුණයන් සෙවීමට 'චේගුවේරා බියුරෝව' නමින් විශේෂ පරීක්‍ෂණ ඒකකයක් පිටිටුවීමට ද ආණ්ඩුව පියවර ගත්තේය. ‌

එම වසරේ අගෝස්තු වන විට ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීම සඳහා ජනතාවගෙන් සහය ඉල්ලා සිටි අතර, හදිසි නීතිය පැනවීමට ක්‍රියා කරන ලදී.

මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයක් සඳහා රහසේ ආයුධ එක්රැස් කරන බව ආණ්ඩුවට තොරතුරු ලැබී තිබිණි.

1971 මාර්තු මස රෝහණ විජේවීර අම්පාරේදී අත්අඩංගුවට ගත් අතර, පසුව යාපනය බන්ධනාගාරයට මාරු කර යැවිණි.

කෙසේනමුත් ජනතා විමුක්ති පෙරමුණේ පොඩි අතුල ලෙස හැදින්වූ වික්ටර් අයිවන් ඇතුළු සෙසු නායකයන් '71 කැරැල්ල' ආරම්භ කර ඒ තුළින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට සැලසුම් කළහ.

මේ අනුව, 1971 අප්‍රේල් 05 වෙනි දින අලුයම දිවයින පුරා පොලිස් ස්ථානවලට එකවර, එකම වේලාවක දී පහර දී බලය අල්ලා ගැනීමට සැලසුම් කර තිබිණි. නමුත්, පසුව එම සැලැස්ම වෙනස් කර එදින රාත්‍රියේ දී පහර දීමට සැලසුම් කෙරිණි. නමුත් මෙම වෙනස්වීම මොනරාගල දිස්ත්‍රික්කයට දැනුම් දීමට අසමත් විය.

මේ හේතුවෙන්, අප්‍රේල් 05 අලුයම වැල්ලවාය පොලිසියට පහරදීම සිදු විය. මෙම ආරම්භයත් සමග ජනතා විමුක්ති පෙරමුණ සගයන් පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයකට පහර එල්ල කළ අතර සමහර ගොඩනැගිලිවලට දැඩි හානි සිදු විය.

නමුත්, සැලසුම්කරණයේ දී සිදු වූ වැරදි හේතුවෙන් කැරැල්ල අසාර්ථක විය. මෙයින් පසු, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දහස් ගණනක් තරුණ තරුණියන් එවක පැවති ආණ්ඩුව විසින් ඝාතනය කළ අතර, තවත් විශාල පිරිසක් සිරගත කෙරිණි.

කැරැල්ලට සම්බන්ධ සැකකරුවන්ට දඬුවම් කිරීමේ අරමුණින්1972 අපරාධ යුක්‌ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවා ඒ මඟින් 1971 මහ නඩුව නමින් අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ විය.

එවක රාජ්‍ය නායිකාව වූ මහ රැජිනට විරුද්ධව වීම, ශ්‍රී ලංකාවේ නොයෙක් ස්ථානවල යුද්ධ කිරීම, යුද්ධ කිරීමට අනුබල දීම, ශ්‍රී ලංකා රජය බිය ගැන්වීමට කුමන්ත්‍රණය කිරීම යන කරුණු විජේවීර ඇතුළු පක්ෂ කැරැල්ලට සම්බන්ධ වූ පක්ෂ සාමාජිකයන්ට එල්ල වූ චෝදනා ය.

මෙහි එක් සැකකරුවෙකු වූ විජේවීර සිය නඩුව සඳහා නීතිඥයෙකුගේ ලබා නොගෙන තනිව ඉදිරිපත් වූයේය. නඩු විභාගයේ දී සැකකරුවන් දෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක්‌ අත්හිටවූ සිරදඬුවම් යටතේ නිදහස්‌ කෙරුණු අතර තවත් හාරසියයකට ආසන්න පිරිසකට සිරදඬුවම් නියම කරන ලදී.

රෝහණ විජේවීර ඇතුළු පුද්ගලයන් පස්‌ දෙනකුට ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම විය.

කෙසේවෙතත්, විජේවීර බන්ධනාගාරයේ සිට රහසිගතව පක්ෂය ගොඩනැගීමේ කටයුතු ක්‍රියාත්මක කළේය.

කැරැල්ල අසාර්ථක වුණේ ඇයි?

1971 සහ 1989 කැරැල්ල අසාර්ථක වීමට හේතු ලෙස ජනතා විමුක්ති පෙරමුණ සිතන්නේ කුමක්දැයි ඇසූ පැනයට පිළිතුරු දෙමින් විජිත හේරත් පැවසුවේ, "ඒ වසර දෙක තුළ ම සන්නද්ධ අරගලයකට යෑමට සුදුසු තත්වයක් තිබුණේ නැහැ. ආණ්ඩුවෙන් දැඩි මර්දනකාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් තිබුණේ. ඒ වගේ වෙලාවක සන්නද්ධ කැරැල්ලකට ඉඩක් ලැබෙන්නේ නැහැ," යනුවෙනි.

විජේවීර නිදහස්

1976 දී සිරිමාවෝ බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් රජය එතෙක් ක්‍රියාත්මක කළ හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළ අතර, ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව තිබූ තහනම ඉවත් කළේය. ඒ අනුව පක්ෂය නීත්‍යානුකූල විය.

ඉන්පසු 1977 දී ජේ ආර් ජයවර්ධන රජය බලයට පත් වීමත් සමග අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසම අහෝසි කළ අතර, ඒ යටතේ සිරදඬුවම් නියම වූ රෝහණ විජේවීර ඇතුළු සියල්ලන් නිදහස්‌ වූහ.

යුග දිවියට

1980 මාර්තු මස රෝහණ විජේවීර මොරටුව විල්ලෝරාවත්තේ පදිංචිව සිටි ශ්‍රීමතී චිත්‍රාංගනී සමග යුග දිවියට එළබුණි.

සය දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ ශ්‍රීමතී චිත්‍රාංගනී මෙම විවාහයට අකමැතිව සිටියත්, සිය සහෝදරයා වන චන්ද්‍රා ප්‍රනාන්දුගේ දැඩි බලකිරීම මත කැමැත්ත ලබා දුන් බව ඇය සඳහන් කර තිබේ.

Image copyright SRILANKAGUARDIAN.ORG
Image caption ඔහුගේ මරණින් පසු බිරිඳ සහ දරුවන් සය දෙනා නාවික හමුදා කඳවුරක රඳවා තැබිණි

විල්ලෝරාවත්තේ පිහිටි ශ්‍රීමති චිත්‍රාංගනීගේ නිවසේ දී විවාහ උත්සවය පැවැත්වුණි.

මෙම යුවලට දරුවන් සය දෙනෙකු සිටි අතර, විජේවීර ඉතා දයාබර පියෙකු වූ බව ශ්‍රීමති චිත්‍රාංගනී වරෙක පැවසුවාය.

විජේවීර ජනාධිපතිවරණයට

1981 දී පැවති දිස්ත්‍රික් සභා ඡන්දයට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් විශාල අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් විය.

ඡන්දය වෙනුවෙන් රට වටා පැවති රැස්වීම් ගණනාවකින් පසු සිය නියෝජිතයන් කිහිපදෙනෙකු දිස්ත්‍රික් සභාවට පත් කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වූයේ 1982 වර්ෂයේදී ය.

Image copyright JR JAYEWARDENE CENTRE JRJC/FACEBOOK
Image caption 1978 දී විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවේ එවකට එජාපයේ අගමැතිවරයා වූ ජේ ආර් ජයවර්ධන විසිනි

එහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජේ ආර් ජයවර්ධනත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හෙක්ටර් කොබ්බෑකඩුවත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් රෝහණ විජේවීරත්, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් කොල්වින් ආර් ද සිල්වා, නව සම සමාජ පක්ෂය නියෝජනය කරමින් වාසුදේව නානායක්කාරත්, දෙමළ කොංග්‍රසය වෙනුවෙන් කුමාර් පොන්නම්බලම් ද ඉදිරිපත් වූහ.

මෙවර මැතිවරණ සටනේ දී දැඩි ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් වාර්තා විය. කෙසේනමුත්, අවසානයේ දී ඡන්ද 273428ක් ලබාගත් රෝහණ විජේවීර තෙවන ස්ථානයට පත් විය.

"ජනතාව අපි රටේ තෙවන බලවේගය ලෙස පිළිගෙන තිබෙනවා" යැයි ජනාධිපති සටනෙන් පසු පැවති රැස්වීමක් අමතමින් විජේවීර ප්‍රකාශ කර තිබිණි.

නැවත තහනම් වූ ජවිපෙ

1983 ඇති වූ කළු ජූලියත් සමග අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය යන වාමාංශික පක්ෂ තහනම් කළ බව ජේ ආර් ජයවර්ධන ප්‍රමුඛ රජය ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ එල්ටීටීඊ සංවිධානය සමග සම්බන්ධතා පවත්වමින් ආයුධ ලබා ගන්නා බවට චෝදනා ලැබ තිබිණි.

කෙසේනමුත්, විජේවීර පසු කලක දී සිය පොත් පත් මගින් එල්ටීටීඊ සංවිධානය විවේචනය කර තිබෙනු දක්නට හැකිය.

Image copyright Getty Images
Image caption විජේවීරට එරෙහිව අලවා තිබූ පෝස්ටර්

උතුරේදී හමුදා සෙබළුන් 13 දෙනෙකු එල්ටීටීඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් මරණයට පත් වීමත් සමග දෙමළ විරෝධී ජාතීවාදී පිරිස් රට පුරා කලබල ඇති කළහ. මෙහි දී දේපළ හානි සිදුවූ අතර, විශාල පිරිසක් මරණයට පත් වූහ. කළු ජූලියට සම්බන්ධ යැයි චෝදනා නගමින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂ තහනම් කළේය.

මේ අතර, ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමට යන වග සැල වූ වහාම රෝහණ විජේවීර සිය බිරිඳ සහ දරුවන් සමග මොරටුවේ නිවස හැරදමා තංගල්ල බලා පිටත් විය.

එහිදී චිත්‍රාංගනී සහ දරුවන් විජේවීරගේ මවට බාර කර එම නිවසින් පිට වී වෙනත් ආරක්‍ෂිත ස්ථානයක සැඟවීමට පිටත් වී තිබේ.

දෙමසකට ආසන්න කාලයක දී කොම්යුනිස්ට් පක්ෂය තහනමෙන් මිදුනත්, ජනතා විමුක්ති පෙරමුණට එරෙහි තහනම දිගටම ක්‍රියාත්මක විය.

ඒ අතර ආණ්ඩුවට භාර වන ලෙස කෙරුණු ඉල්ලීම් ඉවත ලූ විජේවීර සැඟවී සිට සිය සගයන් ද සමග යටි බිම් ගත දේශපාලන කටයුතුවල නියැලිණි.

1987 - 1989 සන්නද්ධ අරගල

1987 දී එළැඹුණු ඉන්දු-ලංකා ගිවිසුමට අනුව ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම දේශපාලනික පියවරට විරුද්ධව ජනතාව නැගී සිටීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ ද සිය අරගල කිරීම් ආරම්භ කළේය. විජේවීර ඇතුළු සාමාජිකයන් පිරිසක් රට පුරා විවිධ ස්ථානවල සැඟවී සිය සැලසුම් ක්‍රියාත්මක කළහ.

මෙය සන්නද්ධ අරගලයක් වූ අතර, එවක සිදුවූ දෙපළ හානි මෙන්ම මනුෂ්‍ය ඝාතනවලින් සැලකිය යුතු ප්‍රමාණයකට විමුක්ති පෙරමුණ ද වගකිව යුතු විය.

Image copyright Getty Images
Image caption 1989 භීෂණ සමයේ දී පුළුස්සා දැමුණු බස් රථයක්

මේ අතර එවක පැවති ආණ්ඩුව ද දැඩි මර්දනකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ යැයි සැක කළ තරුණ තරුණියන් විශාල පිරිසක් ඝාතනය කෙරුණු අතර, තවත් විශාල පිරිසක් අතුරුදන් වූහ.

මෙම කාලය තුළ රටපුරා වීදිවල ටයර් සෑ මත තරුණ මළසිරුරු පිළිස්සෙමින් තිබූ අතර ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශවලින් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා විය.

විජේවීර ඝාතනය

මේ අතර, 1989 වසරේ උලපනේ ප්‍රදේශයේ පිහිටි තේ වත්තක අත්තනායක නම් ව්‍යාජ නමකින් සැඟවී සිටි රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීමට රජයට හැකිවිණි. එම අවස්ථාවේ සිය බිරිඳ සහ දරුවන් සමග සිටි රෝහණ විජේවීර අවසාන වශයෙන් ඉල්ලා ඇත්තේ සිය දරුවන්ට හොඳින් අධ්‍යාපනය ලබා දෙන ලෙස බව ශ්‍රීමති චිත්‍රාංගනී පසුව හෙළි කර තිබිණි.

අදටත් අභිරහසක්ව පවතින මෙම මරණය සිදු වූ ආකාරය ගැන සමාජයේ මත දෙකක් පවතී.

විජේවීර බේරා ගැනීමට දැරූ උත්සාහයක දී පොලිසිය සහ ජනතා විමුක්ති පෙරමුණු ආධාරකරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවක දී ඔහුට වෙඩිවැදී මියගිය බව ඉන් එක් මතයකි. නමුත් වඩාත් ප්‍රසිද්ධ මතය නම්, ඔහු අත්අඩංගුවට ගෙන දැඩි ලෙස ප්‍රශ්න කර, වධහිංසා පමුණුවා, බොරැල්ල කනත්තේ දී වෙඩි තබා මියයන තෙක් පුළුස්සා දැමූ බවය.

Image caption මැයි පෙළපාලියකට සහභාගි වන රෝහණ විජේවීර

"මට මරණය ගැන දැනගන්න ලැබුණා. එය ඇත්තෙන්ම බලාපොරොත්තු නොවූ දෙයක් නොවෙයි. එය කෙදිනක හෝ පැමිණෙනවා කියලා මම දැනගෙන හිටියා" යැයි එකල විජේවීරගේ මිතුරෙකු වූ නීතීඥ ප්‍රින්ස් ගුණසේකර වසර කීපයකට පෙර බීබීසී ඉතිහාස වැඩසටහනක දී පවසා තිබිණි.

"මේ අරගලයට හේතුව ජනාධිපති රටේ ආරක්ෂක අංශවලට දන්වා තිබුණා විප්ලවකාරීන් මරා දමන්න කියලා. එයින් ජනතා විමුක්ති පෙරමුණ සන්නද්ධ අරගලයකට ඇදලා දැම්මා."

"ජවිපෙට සම්බන්ධ යැයි සැක කළ තරුණයන් අත්අඩංගුවට ගත්තා, හිස ගසා දමලා ඒ හිස් කණුවල එල්ලලා තිබුණා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන වැව වටේ ඒ කණු හිටවල තියෙනවා මම දැකලා තියෙනවා. ඒ අයට ඕනේ වුණේ අරගලයට සම්බන්ධ අයට වෙන දේ ගැන පණිවිඩයක් දෙන්න," ප්‍රින්ස් ගුණසේකර තවදුරත් සඳහන් කර තිබිණි.

1971 පළමු කැරැල්ලේ ප්‍රමුඛයකු වූ වික්ටර් අයිවන් 2014 වර්ෂයේ දී බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී කියා සිටියේ, හිංසාවේ විකෘති චක්‍රයෙන් මිදී රට ප්‍රකෘති තත්වයකට ගෙන ඒමේ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට සමාජය තවමත් අසමත් වී ඇති බවය.

විජේවීරගේ මරණින් පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් සය දෙනා නාවික හමුදා කඳවුරක රඳවා තැබිණි.

මිය යන විට 46 වෙනි වියේ පසු වූ විජේවීරගේ දිවි ගමන එසේ අවසන් වුවත්, ඔහු නිර්මාණය කළ ජනතා විමුක්ති පෙරමුණ වර්තමාන ශ්‍රී ලංකා දේශපාලනය තුළ තෙවන ප්‍රධාන පක්ෂය ලෙස දිගු ගමනක් පැමිණ තිබේ.

1971 සිට 1989 අවසානය දක්වා අතරින් පතර සිදු වූ මෙම අරගලවලින් 70,000කට අධික ප්‍රමාණයක් මියගොස් ඇති අතර, තවත් විශාල පිරිසක් අතුරුදන් වී ඇත.

Image copyright Getty Images
Image caption ජනතා විමුක්ති පෙරමුණ මැයි දින පෙළපාලියක්

මේ තොරතුරුද කියවන්න:

වසර 29ට පසු ශ්‍රීමති චිත්‍රාංගනී අධිකරණයට

2018 ජුනි මස ශ්‍රීමති චිත්‍රාංගනී විජේවීර අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටියේ, 1989 භීෂණ සමයේ දී අත්අඩංගුවට ගෙන අතුරුදහන්ව සිටින සිය සැමියා පිළිබඳ නිවැරදි තොරතුරක් ලබා දෙන ලෙසය.

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වන කේ. එච්. ජේ. විජේදාස, හිටපු හමුදාපතිවරයෙකු වන හැමිල්ටන් වනසිංහ ඇතුළු 13 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.

"අපිට නිසි පිළිතුරක් මේ වෙනකන් ලැබුණේ නැහැ. පවුලක් වශයෙන් වෙච්ච් සිද්ධිය පිළිබඳ සත්‍ය දැනගන්න අපිට අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණ එක්ක අපේ කිසි සම්බන්ධයක් නැහැ. මමයි මගේ දරුවන් වෙනුවෙනුයි මම මේ පෙත්සම ඉදිරිපත් කළේ," අධිකරණ භූමියේ දී මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ ශ්‍රීමති චිත්‍රාංගනී විජේවීර පැවසුවාය.

2015 වසරේ දී ඇය රෝහණ විජේවීර විසින් රචිත පොත් හතක් නැවත මුද්‍රණය කිරීම, විකිණීම සහ බෙදා හැරීම තහනම් කිරීමේ නියෝගයක් ජනතා විමුක්ති පෙරමුණ වෙත නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළාය.

පසුව එම පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කළේය.

රෝහණ විජේවීර විසින් රචිත දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක් ද? ඇතුළු ග්‍රන්ථ හතක් තමන්ගේ අවසරයකින් තොරව ජනතා විමුක්ති පෙරමුණ නැවත මුද්‍රණය කරමින් විකිණීම සහ බෙදා හැරීම සිදු කරන බව ශ්‍රීමතී චිත්‍රාංගනී පෙත්සමේ සඳහන් කර තිබිණි.

රෝහණ විජේවීර ප්‍රතිපත්ති අදටත් ක්‍රියාත්මක ද?

මෙම පැනයට පිළිතුරු දුන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසුවේ, "විජේවීර සහෝදරයාගේ සමාජවාදී ඉගැන්වීම් අදටත් ඒ විදියටම පවතිනවා සහ ඒවා අනුගමනය කරනවා. නමුත් කාලයට ගැළපෙන ආකාරයට දේශපාලනික ක්‍රමවේද අපි වෙනස් කරගෙන තියෙනවා. විජේවීර සහෝදරයත් පවසා තිබෙනවා කාලය අනුව ක්‍රමවේද වෙනස් වෙන්න ඕනේ කියන දෙය," ලෙසය.

Image copyright DINAMINA.LK
Image caption ජවිපෙ මහජන රැළියක්

"විජේවීර සහෝදරයාගේ දේශපාලනයට පසුබිම් වුණේ 1960 ගණන් වලදී ලෝකයේ පැවතුණ සමාජවාදී දේශපාලන වාතාවරණය," ඔහු තවදුරටත් පැවසීය.

'ගින්නෙන් උපන් සීතල'

රෝහණ විජේවීරගේ චරිතය පාදක කරගත් සිනමා කෘතියක් පසුගියදා එළිදැක්වුන අතර, එය 'ගින්නෙන් උපන් සීතල (Frozen Fire)' ලෙස නම් කර තිබිණි.

ආරියවංශ ධම්මගේ විසින් පිටපත රචනා කරන ලදුව අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද එම සිනමාපටය ගැන 'ගින්දර, සීතල සහ අරගලය යන තේමාවෙන් පැවැත්වූ සංවාදශීලී කතිකාවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ යම් විවේචනාත්මක අදහස් ද පළ කළේය.

Image copyright The Frozen Fire/Facebook
Image caption විජේවීර චරිතයට පණ පොවන කමල් අද්දරආරච්චි

රෝහණ විජේවීර, ඔහුගේ ඉගැන්වීම් සහ දේශපාලන අරගල සම්බන්ධයෙන් යම් කරුණුවල අඩුපාඩු පවතින අතර, එය සත්‍ය සිදුවීම්වලින් වෙනස් ආකාරයකට මෙම සිනමා කෘතිය තුළ සමහර අවස්ථාවල ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය.

"සිනමා කෘතියක් යථාර්ථයට වඩා ඉදිරියෙන් සිටිය යුතුයි. ඉතිහාසය විසින් සැපයුව නැති ප්‍රඥාවක් කෘතිය විසින් සපයන්න ඕනේ. කෘතියට උපුටා දක්වන්න වුනොත් එහෙම යථාර්ථය විසින් අපිට ආපු ප්‍රඥාව ඒක කෘතියට හොඳ නැහැ. අපේ ජීවන අත්දැකීම් වෙනම තියෙද්දී, කෘතිය පවසන්නේ වෙනම දෙයක් නම් ඒක එහි අඩුපාඩුවක්. නමුත් අඩුපාඩු සමග වුණත් මේ උත්සාහය අගයන්න ඕනේ," ලේකම් පුබුදු ජයගොඩ පැවසීය.

තවත් තොරතුරු: