පියුමි හංසමාලි: 'පහර දෙන' වීඩියෝව සහ ගෘහස්ථ හිංසනය

Image copyright PA
Image caption සංරක්ෂිත ඡායාරූපයක්

පිරිමියෙකු කාන්තාවකට පහර දෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලවල හුවමාරු වෙද්දී එහි වූ කාන්තාව ජනප්‍රිය තරුණ නිළියක වන පියුමි හංසමාලි ලෙස බොහෝ දෙනා විසින් හඳුනාගනු ලැබ ඇති අතර එය ඇයගේ යැයි පැවසෙන ෆේස්බුක් පිටුවක ද පළ වී තිබිණි.

කිසිවෙකු විසින් ඇයව බිම පෙරළමින් පහර දෙන ලදුව අදාළ පුද්ගලයා සිය පාදයෙන් ඇයගේ ගෙළ තද කරන අයුරු එම වීඩියෝවෙහි දැක්වේ.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ මත සටහන් වන්නට පටන් ගැනිණි.

නමුත් පහර දීමට ලක් වන පියුමි හංසමාලි එම සිදුවීම ගැන කිසිවක් සඳහන් කර නොමැත.

කෙසේ වෙතත් වෙනුර හේෂාන් නමැත්තෙක් තම ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබිණි.

මේ "සිය පවුලේ ප්‍රශ්නයක්" බව පවසන ඔහු "මුළු ලංකාවක් මැදිහත් වෙන්න එපා" යනුවෙන් ද පවසා ඇත.

Image copyright FB

එම සටහනට මෙවැනි ප්‍රතිචාර ද ලැබී තිබිණි.

Image copyright FB

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ නීති ආධාර කොමිසමේ නීති නිලධාරිනියක ලෙස කටයුතු කරන සජීවනී අබේකෝන් පැවසුවේ, "දණ්ඩ නීති සංග්‍රහය අනුව වින්දිත පාර්ශවය යම් සිදුවීමක් ගැන පැමිණිල්ලක් නොකළහොත් නීතිමය පියවර ගත නොහැකි" බවය.

නමුත් මෙවැනි සිදුවීම්වලින් පිළිබිඹු වන්නේ "අපේ සමාජ ආකල්ප" බවද ඇය පවසන්නීය.

මේ අතර මාධ්‍යවේදිනියක වන රෝයෙල් රේමන්ඩ් පවසා ඇත්තේ කුමන තත්ත්වයක් යටතේ වුව ද කාන්තා හිංසනය අනුමත නොකරන බවය.

"මෙම පහර දීමට හේතුව කුමක් වුව ද මෙවැනි කාරණා සමාජය තුළ දැඩිව සාකච්ඡාවට බඳුන් විය යුතුයි." යනුවෙන් ඇය පවසන්නීය.

Image copyright FB

එසේ ම සමහර ෆේස්බුක් සටහන්වලින් කියවුණේ, යූ ටියුබ් සහ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාල මේ ආකාරයේ වීඩියෝ ඉවත් කිරීමට කටයුතු කළ යුතුය යන්නය.

Image copyright FB

මෙය ඉදිරියේදී නිකුත් විය හැකි සංගීත වීඩියෝවක කොටසක් විය හැකි බව ඇතැමෙකුගේ මතය විණි. සිදුවීම කුමක් වුව ද ඒ ගැන නිසි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට තවත් සමහරෙක් ෆේස්බුක් සටහන් තැබූහ.

එසේ ම සමහරෙක් පවසන්නේ, එය බොරුවක් විය නොහැකි බවය. "ඒ විදියට ගැහැණියකට පිරිමියෙකු විසින් අමානුෂික ලෙස පහර දීම අනුමත කළ නොහැකිය" යනුවෙන් ද සඳහන් කර තිබිණි.

Image copyright FB

කරුණු කෙසේ වුව ද, සජීවනී අබේකෝන් පැවසුවේ සමාජයේ වැඩි කතාබහට ලක් නොවන කාරණයක් වුව ද, කාන්තාවන් තම පුරුෂයාගෙන් හෝ සහකරු අතින් පහර කෑම නිතර සිදුවන දෙයක් බවය.

ඒ පිළිබඳව තම ආයතනයට නිතර තොරතුරු වාර්තා වන බව ඇය කීය.

ස්වාමි - භාර්යා දෙපාර්ශ්වයකෙරෙහිබලාත්මක නීතිය

"අපේ සමාජය තුළ මේ ගැන නිසි අවධානයක් යොමු වන්නේ නැහැ. නමුත් අපේ ගාවට දිනකට කාන්තාවන් කිහිප දෙනෙක් හෝ එනවා තමන්ට සිදුවූ පහර දීම් ගැන පැමිණිලි කරන්න."

"පියුමිගේ වීඩියෝව ෆේක් එකක් ද ඇත්ත එකක් ද කියලා මම දන්නේ නැහැ. නමුත් එමගින් මතු වන ගෘහස්ථ හිංසනය පිළිබඳ කාරණය ගැන අපි මීට වඩා සංවේදී වෙන්න ඕනේ," යනුවෙන් ඇය තවදුරටත් පැවසුවාය.

ශ්‍රී ලංකාව තුළ ගෘහස්ථ හිංසනයට එරෙහිව කටයුතු කිරීම සඳහා 2005 අංක 34 දරන පනත බලාත්මකය.

එමගින් බිරිඳ සහ ස්වාමි පුරුෂයා යන පාර්ශ්ව දෙක ම ආවරණය වේ.

මෙම පනත යටතේ වැඩිපුර ම නඩු පවරා ඇත්තේ කාන්තාවන්ය.

නමුත් පහර දීමකට හෝ හිංසනයට ලක් වූ පසු නීතියෙන් පියවර ගැනීමට ඉදිරිපත් නොවන කාන්තාවන් ද බහුල බව සජීවනී අබේකෝන් පවසන්නීය.

"එකට සිටින සහකරුගෙන් සහකාරියට හෝ සහකාරියගෙන් සහකරුට සිදුවන ශාරීරික හෝ මානසික පීඩාවලට එරෙහිව ද මෙම පනත අනුව කටයුතු කරන්න පුළුවන්"

එසේ ම 60%ක් පමණ කාන්තාවන් කුමන හෝ ගෘහස්ථ හිංසනයකට ලක්වන්නේ යැයි පර්යේෂණවලින් හෙළි වී තිබෙන බව ද ඇය හෙළි කළාය.

"සුසන්තිකාල උපේක්ෂාල ප්‍රියානිල පියුමිල වැන්නන් ප්‍රසිද්ධ චරිත නිසා ඔවුන් හිංසනයට ලක්වූ විට එනම් ඔවුන්ගේ සමීප සහකරුවන්ගෙන් ගුටි කෑ විට සමාජය එය දැන ගත්තා. නමුත් ස⁣මාජයට නොදැනී නොපෙනී තවත් සාමාන්‍යයෙන් ගැහැනු බොහෝ දෙනෙක් හැම දා ම පිරිමින්ගෙන් ගුටි කනවා" යනුවෙන් ද ඇය පැවසුවාය.

2005 අංක 34 දරන පනත යටතේ ගෘහස්ථ හිංසනයකට නඩුවක් දැමූ විට එම හිංසනය පිළිබඳව අධිකරණය සෑහීමට පත්වේ නම් පීඩාවට පත් පාර්ශ්වයට ඉදිරියේදී හිංසා පීඩා නොකරන ලෙසට එහි වගඋත්තරකාර පාර්ශ්වය වෙත ආරක්ෂක ආඥාවක් (Protection Order) නිකුත් කරනු ලබයි.

එය කඩ කළහොත් වැරදිකරු අවුරුද්දක් දක්වා කාලයකට සිරගත කළ හැකිය.

එසේම ගෘහස්ථ හිංසනයට අදාළ ගැටුමකදී යමෙකුට ශාරීරික තුවාල සිදු වුවහොත් ඊට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ අපරාධ නඩුවක් පැවරීමට නීති ප්‍රතිපාදන තිබේ.

"මෙවැනි සිදුවීමකට ඉහත පනත් දෙක ම යටතේ එකවර කටයුතු කළ හැකියි" යනුවෙන් නීතීඥ සජීවනී අබේකෝන් පැවසුවාය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර