ළමා මානසික අපයෝජනය: 'ගොඩක් දෙමව්පියෝ දන්නේ නෑ තමන් අතින් ම සිදුවන බව'

Image copyright Thinkstock

"ඔයා කරපු ඔක්කොම දඟ වැඩ මම තාත්තා ආවා ම කියන්නම්. තාත්තා ඔයාට හොඳ දඬුවමක් දෙයි," යන වැකිය, දඟ දරුවන් මෙල්ල කිරීම සඳහා මව්වරුන් නිරන්තරයෙන් භාවිත කරන උපක්‍රමයක් බව රහසක් නොවේ.

එහෙත්, එම සරල වැකියෙන් ඔබේ දරුවා අපයෝජනයට ලක් වන බව ඔබ දන්නවා ද?

එය සිදුවන්නේ මෙසේය.

ඉහත දැක්වූ සරල තර්ජනාත්මක වැකිය හේතුවෙන් සිය පියාට බියක් දක්වන කුඩා දරුවන් පියා එනතුරු පසු වන්නේ, දැඩි මානසික පීඩනයක් හිත තුළ සිර කරගෙන බව ළමා මනෝ චිකිත්සකයෝ පෙන්වා දෙති.

පියා නිවසට පැමිණි පසු තමන්ට පහර දෙයි ද? එසේ නැතහොත් කුමන දඬුවමක් දෙයි ද? යනුවෙන් සිතීමෙන් එම කුඩා දරුවාගේ මනස පැය ගණනක් ව්‍යාකූලව පැවතිය හැකි බව ළමා මනෝ චිකිත්සකයින්ගේ අදහසයි.

ළමා මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය එන්. කුමානායක බීබීසී සිංහල සේවයට පැවසුවේ, මෙවැනි සිද්ධි නිරන්තරයෙන් සිදුවීම නිසා දරුවාගේ හිත තුළ ඇති වන කාංසාව වැනි හැඟීම් නිසා වැඩිහිටි වියේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් ඇති විය හැකි බවය.

ළමා අපයෝජනය යනු කුමක් ද?

ළමා අපයෝජනය පිළිබඳව කතා කිරීමේදී බොහෝ දෙනෙකු තුළ පවතින අදහසක් වන්නේ, ළමුන්ට එරෙහිව සිදු වන ලිංගික අපයෝජනයන්ය.

එහෙත්, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ප්‍රධාන ක්‍රම 4ක් ඔස්සේ ළමා අපයෝජනය සිදු වන බවය.

  1. ශාරීරික අපයෝජනය
  2. මානසික අපයෝජනය
  3. ලිංගික අපයෝජනය
  4. නොසලකා හැරීම

මේ සියලු අපයෝජනයන් දරුවාගේ පවුල තුළදී ම සිදු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරට අදාළව කරන ලද සමීක්ෂණයකට අනුව ලෝකයේ ම දරුවන් අතරින් ඉහත කී ක්‍රම යටතේ අපයෝජනයට ලක්වූ දරුවන් ප්‍රතිශතයක් ලෙස පහත දැක්වේ.

  • ශාරීරික අපයෝජනය - 23%
  • මානසික අපයෝජනය - 36%
  • ලිංගික අපයෝජනය - 18%
  • නොසලකා හැරීම - 16%

ඉහත දත්ත විශ්ලේෂණයේදී පැහැදිලිව පෙනී යන්නේ, ලෝකයේ සමස්ත දරුවන්ගෙන් 75%ක ප්‍රතිශතයක් ශාරීරික, මානසික සහ නොසලකා හැරීම් යන ක්‍රම ඔස්සේ අපයෝජනයට ලක් වන බවය.

එසේ නම්, ලිංගික අපයෝජනය තරමට ම සෙසු අපයෝජන නිසා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි.

ශාරීරික අපයෝජනය

ශාරීරික අපයෝජනය යනු දරුවන් ශාරීරික හිංසනය මගින් පීඩාවට ලක් කිරීමය. පහර දීම, දණ ගැස්සවීම, අව්වේ සිටවා තැබීම, දඬුවමක් ලෙස ආහාර නොදීම ආදී ක්‍රියා ශාරීරික අපයෝජන ලෙස හැඳින්වේ.

Image copyright Tush Wickramanayake/Facebook
Image caption වෛද්‍ය තුෂ් වික්‍රමනායක

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව, සෑම වැඩිහිටියන් 4 දෙනෙකුගෙන් එක් අයෙකු ම ළමා කාලයේදී ශාරීරික අපයෝජනයට ලක්ව තිබේ.

ළමා කාලයේදී ශාරීරික වශයෙන් තමන් විඳි හිංසනය ඔහු වැඩිහිටියෙකු වූ පසු සිය දරුවන් හමුවේ මුදා හැරීමට බොහෝ වැඩිහිටියන් ක්‍රියා කරන බව 'ළමා හිංසනයට තිත' නමැති සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක බීබීසී සිංහල සේවයට පැවසීය.

"ළමුන්ට එරෙහිව කෲරත්වය මුලින් ම සිදු වෙන්නේ දරුවාගේ ආදරණීයයන් අතින් මයි. දෙමාපියන් තමන්ගේ ක්ෂණික කෝපය දරුවන් මත මුදා හැරීම නිසා දරුවන් ශාරීරික හිංසනයට ලක්වෙනවා," වෛද්‍ය තුෂ් වික්‍රමනායක පෙන්වා දුන්නාය.

2018 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වූ ළමා හිංසන සම්බන්ධ පැමිණිලි 9512න් 2413ක් ළමුන්ට එරෙහි කෲරත්වය සම්බන්ධයෙනි.

"කෙතරම් සියුම් වුණත්, දරුවෙකුට යහපතක් වෙයි කියලා හිතලාවත් ශාරීරික දඬුවම් කිරීම ළමා අයිතීන් උල්ලංඝණය කිරීමක්. දඬුවම් වශයෙන් හෝ කෲරත්වය නිසා හෝ දරුවන්ට ශාරීරිකව හිංසා කිරීම නතර කළ යුතුයි," වෛද්‍ය තුෂ් වික්‍රමනායක පැවසීය.

ඊට අමතරව අයහපත් ස්පර්ශය ද ශාරීරික අපයෝජනය යටතට වැටේ. ඒ සම්බන්ධයෙන් වැඩිහිටියන් දැනුවත් කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විශේෂ දැන්වීම් ද සකස් කර තිබේ.

Image copyright NCPASL

මානසික අපයෝජනය

"දෙමාපියන් අතින් නොදැනුවත්ව ම ගොඩක් වෙලාවට දරුවන් මානසික අපයෝජනයට ලක් වෙනවා. ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි," 'ළමා හිංසනයට තිත' සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක පැවසීය.

මෙම ලිපිය ආරම්භයෙහි සඳහන් කළ, "ඔයා කරපු ඔක්කොම දඟ වැඩ මම තාත්තා ආවා ම කියන්නම්. තාත්තා ඔයාට හොඳ දඬුවමක් දෙයි," යන වැකිය මගින් සිදු වනුයේ මානසික අපයෝජනයකි.

Image copyright Getty Images

ඊට අමතරව දරුවන් මානසිකව අපයෝජනයට ලක් විය හැකි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

  • "ඔයා නම් හරි ම නරක ළමයෙක්" - මෙසේ කීමෙන් දරුවා තුළ තමන් කෙරෙහි පවතින ආත්ම විශ්වාසය බිඳ වැටේ. ඒ මගින් එම දරුවාගේ මනසට ඇතුළු වන්නේ ඍණාත්මක සිතිවිලිය.
  • "බලන්න අයියා කොච්චර හොඳ ද? ඇයි ඔයාට ඒ වගේ වෙන්න බැරි?" - මෙවැනි සන්සන්දනය කිරීම් නිසා දරුවන් තුළ තමන්ගේ ම සහෝදර සහෝදරියන් කෙරෙහි ඊර්ෂ්‍යාවක් හට ගනී.
  • "යාළුවා හොඳට ලකුණු ගත්තා නම් ඇයි ඔයාට බැරි?" - මෙමගින් ද මිතුරන් කෙරෙහි ඊර්ෂ්‍යාවක්, ද්වේෂයක් හට ගැනීමේ අවදානමක් පවතී.
  • "ඔයාට බෑ ඕක කරන්න. ඔයා අයින් වෙන්න" - මෙවැනි ප්‍රකාශ මගින් දරුවාගේ උත්සහවන්ත බව බිඳ වැටේ. ඔහු තමන් පිළිබඳ අවිනිශ්චිතතාවක් ඇති කර ගනී.
  • "කරදර නොකර පාඩුවේ ඉන්න දෙන්න" - මෙසේ කීමෙන් දරුවාගේ මනසට හුදෙකලාභාවයක් ඇති වේ. දරුවාට දෙමාපියන් හැර වෙනත් කිසිවෙකු නොමැත. එහෙයින් දරුවා සමග කාලය ගත නොකිරීම ද අපයෝජනයකි.

ඉහත උදාහරණ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවයට පැහැදිලි කිරීමක් කළේ, ළමා මනෝ වෛද්‍ය විශේෂඥ එන්. කුමානායකය.

මීට අමතරව, දරුවන්ගේ විවිධ ආබාධ සරදමට ලක් කිරීමෙන්, පටබැඳි නම්වලින් ඇමතීමෙන් ද මානසික අපයෝජනය සිදු වන බව ඔහු පැවසීය.

Image copyright N. KUMANAYAKE
Image caption ළමා මනෝ වෛද්‍ය විශේෂඥ එන්. කුමානායක

වෛද්‍ය එන්. කුමානායක පෙන්වා දුන්නේ, දෙමාපියන් සහ ගුරුවරුන් අතින් සිදු වන මානසික අපයෝජනයන් නිසා පසු කාලීනව එම දරුවන් පහත දැක්වෙන සංකූලතාවලට ලක් විය හැකි බවය.

  • හැඟීම් පාලනය කර ගැනීමට නොහැකි වීම (අධික කෝපය)
  • බොරු කීම, සොරකම් කිරීම, වංචාවන්ට පුරුදු වීම
  • දෙමාපියන්ට එරෙහි වීම (අධ්‍යාපන කටයුතුවල නිරත වීම ප්‍රතික්ෂේප කිරීම)
  • කළකිරීමකින් සහ කනස්සල්ලෙන් ජීවත් වීම

නොසලකා හැරීම

ළමුන්ට එරෙහිව සිදු වන අපයෝජන අතර වැඩිහිටියන් නොදැනුවත්ව සිදු වන තවත් අපයෝජනයකි, නොසලකා හැරීම.

එය වැඩිහිටියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව නිරන්තරයෙන් සිදු වන බව 'ළමා හිංසනයට තිත' සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක පෙන්වා දුන්නාය.

නොසලකා හැරීම නමැති අපයෝජනය සිදු විය හැකි අවස්ථා:

  • දරුවන්ට ඇහුම්කන් නොදීම
  • දරුවන් පෝෂණය නොකිරීම
  • දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නොසලකා හැරීම
  • දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොදීම
  • අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම පිළිබඳව සැලකිලිමත් නොවීම
  • දරුවන්ට අවශ්‍ය රැකවරණය නොදීම
  • දරුවන් සමග යහපත් සබඳතාවක් නොපැවැත්වීම

ඉහත කී කරුණු නොසලකා හැරීම්වලින් සිදු විය හැකි ළමා අපයෝජනය යටතට අයත් වන බව වෛද්‍ය තුෂ් වික්‍රමනායක පෙන්වා දුන්නාය.

ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පතේ දැක්වෙන පරිදි,

"ළමයින් සඳහා ආරක්ෂාව, පෝෂණය හා රැකවරණය සලසන මූලික සමාජ ආයතනය ලෙස පවුල්වල භූමිකාව රජය විසින් හඳුනාගෙන ඇත. පරිණාමය වන සමාජ සන්දර්භයක් තුළ පවුල්වල විවිධ ආකාර සහ සිය ළමයින්ගේ ආරක්ෂාවට උචිත පරිදි උපකාර කිරීම හා පෝෂණය කිරීම උදෙසා එක් එක් පවුලක වෙන් වශයෙන් වූ විශේෂිත ශක්තීන් හා දුර්වලතා රජය විසිනු හඳුනාගනු ඇත. තමන්ගේ පවුල් තුළින් ළමයින්ට අවදානම් ඇති වන අවස්ථාවලදී ළමයින්ට, වඩා තර්ජනයක් ඇති කළ හැකි වැඩිහිටියන් පවුලෙන් ඉවත් කිරීමට වැඩි වැදගත්කමක් ලැබේ."

මේ අනුව, දරුවන්ගේ යහ පැවැත්මට පවුල තුළින් ඉටු විය යුතු වගකීම සුළුපටු නොවන බව ළමා මනෝ චිකිත්සකයෝ අවධාරණය කරති.

"ගොඩක් දෙමව්පියෝ දන්නේ නැහැ තමන්ගේ වචනවලින්, ක්‍රියාවෙන් තමන්ගේ ම දරුවන් අපයෝජනය ලක් වෙන බව. ළමා අපයෝජනය කියන්නේ ලිංගික අපයෝජනය විතරක් නෙවේ. ලිංගික අපයෝජන බොහෝ විට සිද්ධ වෙන්නේ, පවුලෙන් පිට පුද්ගලයින්ගෙන්. ඒත්, ශාරීරික, මානසික සහ නොසලකා හැරීම් කියන අපයෝජන බොහෝවිට පවුලෙන් හෝ පාසලෙන් සිද්ධ වෙන්නේ. බොහෝ විට දෙමාපියන්, ගුරුවරුන් අතින් නොදැනුවත්ව ම දරුවන් අපයෝජනයට ලක් වෙනවා. ඒ නිසා ඒ ගැන දෙමාපියන් වගේ ම ගුරුවරුන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි," වෛද්‍ය එන්. කුමානායක අවධාරණය කළේය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර