රාවණා 1: 'ශ්‍රී ලාංකික' චන්ද්‍රිකාව පෘථිවියෙන් නික්මීමට සූදානම්

රාවණා 1:

ඡායාරූප මූලාශ්‍රය, BIRDS 3/Nasa

ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විසින් නිර්මාණය කරනු ලැබු 'රාවණා 1' චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 18) අලුයම 2.16ට කක්ෂගත කිරීමට නියමිතය.

එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දුන්නේය.

එය රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියාහිදී හෙට අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීමට සියලු කටයුතු යොදා තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, NASA

නාසා ආයතනය නිවේදනය කළේ, රොකට්ටුව පිටත් කිරීම සඳහා යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බවය.

නාසා ආයතනයේ Cygnus නමැති භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය මගින් අදාළ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන බවය.

ඡායාරූප මූලාශ්‍රය, NASA

මේ සම්බන්ධයෙන් බර්ඩ්ස් 3 චන්ද්‍රිකා ව්‍යාපෘතියේ ෆේස්බුක් පිටුවේ සටහන් වී තිබුණේ මෙසේය.

රාවණා 1

රාවණා 1 යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.

ඡායාරූප මූලාශ්‍රය, BIRDS 3

ඡායාරූප ශීර්ෂ වැකිය,

රාවණා 1

ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ මීට පෙර බීබීසී සිංහල සේවයට සඳහන් කළාය.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතය.

ඡායාරූප මූලාශ්‍රය, BIRDS 3 SATELLITE PROJECT

එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.

අරමුණු

රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත.

  • ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
  • ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත 'ලෝරා මොඩියුල්' (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
  • චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
  • කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳ අත්හදා බැලීම.
  • පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම

ඡායාරූප මූලාශ්‍රය, BIRDS 3

රාවණා තාක්ෂණය

මෙම සුවිශේෂී චන්ද්‍රිකාව නම් කර ඇත්තේ, 'රාවණා 1' යනුවෙනි. ඊට රාවණා යන නම තබා ඇත්තේ, කටුබැද්ද ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය.

"රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ," අභ්‍යවකාශ ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ පැවසීය.

දුලානි සහ තරිඳු

දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න, ශ්‍රී ලංකාවේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන්ය.

ඡායාරූප මූලාශ්‍රය, BIRDS 3 SATELLITE PROJECT

ඡායාරූප ශීර්ෂ වැකිය,

දුලානි සහ තරිඳු

ඔවුන් දෙදෙනා මේ වන විට ජපානයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිති.

තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක් වී තිබේ.

මේ අතර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ඇති තරිඳු දයාරත්න, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කර ඇත.