ඩිජිටල් උත්තේජනය: සිහින ලොවක ළමා මනස අතරමං වන හැටි

Image copyright Getty Images

"පුදුම දඟක් තියෙන්නේ මේ ළමයගේ. කිසි වැඩක් කරන්නේ නෑ. ඉස්කෝලේ ගිහින් එනවා, බෑග් එක විසි කරනවා. කාටූන් බලනවා. නැත්නම් සෙල්ලම," නගරවල පමණක් නොව ගම්බද පළාත්වල පාසල් වයසේ පසුවන දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා නැඹුරු කිරීමට දෙමාපියන් දරන මෙවැනි උත්සාහයන් අප කොතෙකුත් අසා තිබේ.

සැබෑ ලෙස ම මෙය දරුවන්ගේ සාමාන්‍ය හැසිරීමක් ද, එසේත් නැතිනම් මානසිකව බලපාන යම් හේතුවක් නිසා ඔවුන් මෙලෙස වෙනස් හැසිරීමක් දක්වන්නේ ද යන්න ගුරුවරුන් හමුවේත් පවතින ගැටලුවකි.

කැලණිය සරසවියේ වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපති වෛද්‍ය ලලිත් මෙන්ඩිස් විසින් පවත්වන ලද පර්යේෂණයකට අනුව දරුවෙකු ඉපදී තුන් වන විය සම්පූර්ණ වීමට ප්‍රථම දෙමාපියන් ඔවුන්ට ඩිජිටල් උපකරණ ලබා දීම සහ ප්‍රවේගකාරී කාටුන් නිසා ළමුන් සැබෑ නොවන වීර කතාවලින් යුත් සිහින ලෝකයක ජීවත් වීමට පෙළඹේ.

ළමුන් පමණක් නොව ගර්භණී මව්වරුන් ද වර්තමානයේ ඩිජිටල් ලෝකයේ අතරමං වීම හේතුවෙන් පසුකලෙක ඔවුනට දාව උපදින දරුවන් සාමාන්‍ය මට්ටම ඉක්මවා විවිධ හැසිරීම්වලින් යුක්ත වන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

Image caption වෛද්‍ය ලලිත් මෙන්ඩිස්

"දරුවෙකු ඉපිද අවුරුදු තුන දක්වා කාලය ඒ දරුවාගේ මොළයේ වැඩි ක්‍රියාකාරීත්වයක් පවතිනවා. මේ කාලයේදී අපේ දෙමව්පියෝ තමන්ගේ පහසුවට ස්මාර්ට් ෆෝන්, ටැබ්, වීඩියෝ ගේම්ස් දරුවන්ට ලබා දෙනවා. නොයෙකුත් ප්‍රවේගකාරී කාටුන් පෙන්වනවා. මේකෙන් වෙන්නේ ළමයෙක් තමන්ගේ ජීවිතේ හොඳ ම කාලය තුළ මනෝ ලෝකයක ජීවත් වීමයි. අද ළමා සිත්වල ජාතික වීරයෙක් හෝ සාහිත්‍යමය දැනුමක් නෑ. ළමයි අද ඉන්නේ BEN 10, SUPER SHIVA වගේ සාමාන්‍ය ලෝකයේ කවදාවත් දකින්න නැති කෘතීම වීරයෝ එක්ක. ඔවුන් ඇවිදින්නේ හිතන්නේ පතන්නේ ඒ විදිහට".

දිවයිනේ පාසල් රැසක් සම්බන්ධ කර ගනිමින් තරමක් වෙනස් හැසිරීම් රටා පෙන්වන කුඩා දරුවන් මෙන් ම නව යෞවන වියේ පසුවන්නන් දායක කර ගනිමින් ඔවුන්ගේ මානසික තත්ත්වය, නියුරෝනවල ස්වභාවය මෙන් ම දෙමාපියන් සහ දරුවා අතර පවතින සම්බන්ධය පරීක්ෂණයට භාජනය කරනු ලැබ තිබේ.

එමෙන් ම ශ්‍රී ලංකාවේ වසර කිහිපයක ළමා සෞඛ්‍ය වාර්තා ද මෙහිදී සැලකිල්ලට ගත් බව වෛද්‍ය මෙන්ඩිස් පවසයි.

"අපේ මොළය ප්‍රතික්‍රියා දක්වන්නේ ඉච්ඡානුගතව සහ අනිච්ඡානුගතව. ඉච්ඡානුගත කියන්නේ අපි සිතා මතා සිදුකරන දේ නැත්නම් උත්සාහයෙන් කරන දේ. හදිසි අවස්ථාවකදී එනම් අනතුරකට පෙර ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා වගේ නොසිතා ප්‍රතික්‍රියා දැක්වෙන්නේ අනිච්ඡානුගතව. දරුවන් මේ ඩිජිටල් උපාංග එක්ක නිතර ම ඩිජිටල් රේස් යනවා. අමුතු අමුතු සත්තු එක්ක යුද්ධ කරනවා. ගෙවල් දොරවල් තාප්ප කඩා බිඳිනවා. ඒ ප්‍රවේගකාරී කාටුන්වල තිබෙන දේ නිතර නිතර මොළයට යනවා. එවිට මොළයට වැඩි වශයෙන් සිදුවන්නේ අනිච්ඡානුගතව ප්‍රතික්‍රියා දක්වන්න. ඉතින් ළමයි ඉන්නේ කොයි වෙලේ හරි පිටසක්වළින් පහර දෙයි, අමුතු සත්තු එක්ක තරඟ කරන්න වෙයි, අවි ආයුධ පාවිච්චි කරන්න වෙයි වගේ හැඟීමකින්. පොඩි දුරක් තිබෙන තැනට වේගෙන් එනවා. දොරවල් කඩාගෙන බිඳගෙන යන්න ආසා හිතනවා. මුලින් මුලින් මේ ක්‍රියාවට පමණක් හුරු වෙලා පසුව BAT MAN, SUPER MAN වගේ බලයක් ලැබෙයි කියා සිතනවා. පාසලේදීත් හැසිරෙන්නේ එහෙම. ගුරුවරුන්ගේ ශක්තියෙන් 50% ක් වැය වෙන්නේ මෙවැනි ළමයි පාලනය කරන්න," වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මෙවැනි දරුවන් සම්බන්ධයෙන් දිවයිනේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ගෙන් විමසීමක් කළ අවස්ථාවේ ඔවුන් සඳහන් කළේ, දරුවන් අධ්‍යාපන කටයුතුවලට නැඹුරු කර ගැනීමට තමන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇති බවය. මානසික ඒකාග්‍රතාව මේ දරුවන් කෙරෙන් ගිලිහී යාම නිසා විෂය කරුණු නිසි පරිදි අවබෝධ නොවන බව ද ගුරුවරු පැවසූහ.

Image caption රුක්ලාන්ති නාදකන්දගේ - විදුහල්පතිනි - රත්මලාන ශ්‍රී අත්තදස්සි විදුහල

"උගන්වන්න තියා පුටුවේ වාඩි කරලා තියාගන්නත් බෑ. පිරිමි ළමයි ගෑනු ළමයි කියල භේදයක් නෑ. ඔක්කොම දඟයි. 1,2,3, ශ්‍රේණිවල තමයි මේ තත්ත්වේ වැඩි. පන්ති දෙවනත් වෙන්න කෑගහනවා. වයසක ගුරුවරයෙක්ට දැන් හැදෙන ළමයි 35 ක් බලාගන්න බෑ. ඒ ගුරුවරු මට කියනවා වෙන රස්සාවක් හොයා ගන්නවා මීට වඩා හොඳයි කියල. ගත සිත දෙක ම වෙහෙස වෙනවා. එක පැත්තකින් වාඩි කරලා එනකොට තව පැත්තකින් නැගිටලා එනවා. රණ්ඩු වෙන්නේ ලොකු අය වගේ. ජය පරාජය දරාගන්න බෑ. ඉස්සර එහෙම නෑ," රත්මලාන ශ්‍රී අත්තදස්සි විදුහලේ විදුහල්පතිනි රුක්ලාන්ති නාදකන්දගේ බීබීසී සිංහල සේවය සමග පැවසීය.

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ විදුහල්පති චානක බමුණුආරච්චි ද දක්වන්නේ මීට සමාන අදහසකි.

Image copyright චානක බමුණුආරච්චි/FACEBOOK
Image caption චානක බමුණුආරච්චි - විදුහල්පති - කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය

" ඔව් අද කාලේ දරුවෝ ගොඩක් වෙනස්. මට තුන් හතර වතාවක් පාසල වටේ යන්න වෙනවා. පාලනය කර ගන්න අමාරුයි. ඉවසීමක් නෑ. සමහර දරුවෝ කාටුන් අනුකරණය කරනවා ඉස්කෝලේ. තාප්ප බැමි උඩින් පනිනවා. කණු උඩ එල්ලෙනවා. 2,3,4 ශේණිවල මේ තත්ත්වය වැඩියි. අපි මේ ගැන දෙමව්පියන් දැනුවත් කරන්න පියවර අරන් තියනවා. මේ ළමයින්ගේ මනස නිරවුල් නෑ . අවසානෙදි අපි ආගමික වැඩසටහන් කිහිපයක් පටන් ගත්ත ඔවුන් සුවපත් කිරීමේ අරමුණින්. ඒ වගේ ම පාසලට 'VIDEO GAMES' ජංගම දුරකතන ගෙන ඒම කොහොමත් තහනම්. මෙහෙම හැසිරෙන දරුවන්ගේ තාක්ෂණික දැනුම සලකලා ඔවුන් රොබෝ තාක්ෂණය වැනි විෂයයන් කෙරෙහි යොමු කිරීමට ද අපි කටයුතු කර තිබෙනවා," විදුහල්පතිවරයා පැවසීය.

අග නගරය ආශ්‍රිත පාසල් මෙන් ම දුර බැහැර පළාත්වල පාසල්වලත් පවතින්නේ මේ හා සමාන තත්ත්වයක් ද?

ඇඹිලිපිටිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය පවසන පරිදි තාක්ෂණික දියුණුවත් සමග ළමා අධ්‍යාපනයේ වෙනස්කම් සිදුවිය යුතුය. එවිට මේ තත්ත්වය යම්තාක් දුරට හෝ පාලනය කර ගත හැකි බව ඇගේ අදහස වී තිබේ.

Image copyright මංජුලා දිසානායක/FACEBOOK
Image caption මංජුලා දිසානායක - ඇඹිලිපිටිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනි

"මේ තත්ත්වයට අපි හැමෝම වග කියන්න අවශ්‍යයි. තාක්ෂණය දියුණු වන එක නවත්වන්න බැහැ. නමුත් දෙමාපියන් විදිහට අපි වගකීමෙන් බැඳෙනවා දරුවාට කළ යුතු සහ නොකළ යුතු දේ පිළිබඳව නිසි අවබෝධයෙන් කටයුතු කරන්න. අම්මලා ළමයි නලවගන්න, කෑම කවන්න ජංගම දුරකතන දෙනවා අතට. කාටුන් දාලා දෙනවා. දැන් මේ අත්දැකීමෙන් පාසලට එන දරුවා පාසල තුළ ඒ වෙනස සොයනවා. අපිට තිබෙන්නේ අසුන්ගත අධ්‍යාපන ක්‍රමයක්. එය කාලයට අනුව වෙනස් විය යුතුයි. එහෙම උණොත් මේ තත්ත්වය යම් තාක් පාලනය කර ගත හැකියි," යනුවෙන් ඇඹිලිපිටිය ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනි මංජුලා දිසානායක පවසන්නීය.

ළමා මනස වැඩිපුරම ක්‍රියාකාරී වයස් සීමාව

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව දරුවෙකුගේ මානසික වර්ධනය සැලකීමේදී දරුවා ඉපදී මුල් වසර තුන කෙරෙහි දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතුය.

අදාළ කාලය තුළ දෙමාපියන් හෝ තම සහෝදරයෙකු කරන ආමන්ත්‍රණයක් තේරුම් ගැනීමේ හැකියාව ස්වභාවයෙන් ම දරුවෙකුට පවතී.

එමෙන් ම එකවර භාෂා දෙකක් අධ්‍යනය කිරීමට ද මේ වයසේදී හැකියාව තිබේ.

වෛද්‍යවරුන්ට අනුව කථනය මෙන් ම චින්තන හැකියාව තමා කෙරෙන් ම වර්ධනය කර ගැනීමට දරුවෝ මේ කාලය තුළ උත්සහ කරති.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා දරුවන් සහ නව යොවුන් වියේ පසුවන්නන් සියයට 20 ක පමණ විවිධ මානසික අබාධවලින් පෙළෙති.

වයස අවුරුදු 14 සිට දරුවන් තුළින් එම මානසික ගැටලු උද්දීපනය වීමට පටන් ගනී.

එවැනි දරුවන්ගෙන් බහුතරය ස්නායු මනෝ චිකිත්සක තත්ත්වයන් නිසා රෝගී වූවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

2013 වසරේ පැවති 66 වන සැසි වාරයේදී මේ තත්ත්වය පාලනය කිරීමේ සත් වසරක සැලැස්මකට ප්‍රවිෂ්ට වීමට සාමාජික රටවල් තීරණය කර තිබිණි.

වෛද්‍ය ලලිත් මෙන්ඩිස් පවසන පරිදි දිනකට විනාඩි 30 ක් ඩිජිටල් උපාංග සමග දරුවා කටයුතු කරන විට නිතැතින් ම ඔහුගේ මොළයේ ස්නායු පථ වෙනස් වීමකට ලක්වේ.

Image copyright Getty Images

"ළමයෙකුගේ මොළේ ක්‍රියාකාරීත්වය උපරිම වන්නේ ඔහු ආහාර ලබා ගන්නා අවස්ථාවේ. ඒ අවස්ථාවේ ඇති වෙන පුරුදු ලෙහෙසියෙන් අමතක කරන්න බෑ. අම්මල මොක ද කරන්නේ කෑම කවන්න අමාරු වුණා ම ඩිජිටල් උපාංගයක් දෙනවා දරුවට. දරුවාගේ කුස පිරුණට ස්නායු පථ වෙනස් වන නිසා මනස විකාර රූපී තැනක නවතිනවා. ඒක දෙමාපියන්ට දැනෙන්නේ නෑ. අවසානයේ තරුණ කාලයේදී දරුවා සමාජයට ම පිළිලයක් වන තැනට එනවා."

දරුවෙකු පිළිසිඳ ගැනීමකට පසු සහ පෙර

ගර්භනී මවක් දරු ප්‍රසූතියට පෙර සිට ම තම දරුවා කෙරෙහි දක්වන සැලකිල්ල ද ඔහුගේ මොළයේ ක්‍රියාකාරිත්වයට ඉවහල් වන බව වෛද්‍ය විද්‍යාව අනුව තහවුරු කර තිබේ.

නමුත් වර්තමානයේ මව්වරුන් ඒ පිළිබඳව ප්‍රමාණවත් සැලකිල්ලක් දක්වන්නේ ද යන්න යළි සිතා බැලිය යුතු කාලය එළඹ ඇති බව වෛද්‍යවරු පෙන්වා දෙති.

මව, බිරිඳ, ගෘහණිය හා දියණිකගේ භූමිකාව නියෝජනය කරමින් නිවස තුළ ජීවත් වූ කාන්තාව, සමාජයේ සිදු වූ පරිවර්තනයත් සමග වැඩි වශයෙන් රැකියා සඳහා යොමු වීම මෙන් ම විලාසිතාවන්ට කැමැත්තක් දැක්වීම යන කාරණා මත ද ලංකාවේ කාන්තාවන් අතර මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගොස් ඇති බව ද එම සමීක්ෂණය මගින් හඳුනාගෙන තිබේ.

මවක් මතට ඇබ්බැහි වූ විට, දුම්වැටියට හුරුවූ විට, ජංගම දුරකතනයට මෙන් ම ප්‍රවේගකාරී සංගීතයට වඩා ඇබ්බැහි වීම නිරෝගී දරුවෙකු බිහි නොවීමට මෙන් ම එකී දරුවා විකෘති මානසිකත්වයකින් යුක්ත වීමට තුඩු දෙන බව වෛද්‍ය මතයයි.

මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර, වෛද්‍ය ලලිත් මෙන්ඩිස්ගේ සොයාගැනීම් තවත් කෝණයකින් පැහැදිලි කරයි.

Image copyright FACEBOOK
Image caption විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර

"මව සහ දරුවා අතර සම්බන්ධය ගොඩ නැගෙන්නේ, අදහස් හුවමාරු වෙන්නේ විතරක් නෙවි ඇත්තට ම දරුවාගේ හිස අත ගානවා වගේ හැඟීමක් දරුවට දැනෙන්න සලස්වන්න පුළුවන් මවකට මව් කුසේදී ම. දරුවට යහපත් සංගීතය අහන්න සලස්වන්න වගේ ම නිතර නිතර එයාට කතා කරන්න අවශ්‍යයි. අද ගර්භණී අම්මල බොනවා, සිගරැට් නැතිව බෑ. ඉන්නේ රාත්‍රී සමාජ ශාලාවල තමන්ගේ ළමයා ගැන කිසි හැඟීමක් නෑ. අම්මලාගේ වැරදි නිසා බිහි වෙන දරුවෝ මෙහෙම විකෘති වෙලා අවසානයේ තරුණ කාලෙදි ම ජීවිතේ විනාස කර ගන්නවා," විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පවසන්නීය.

දරුවන් මෙන් ම වගකීම් විරහිත මව්වරුන් සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වය අනාගතයේ සමස්ත සමාජයට ම බලපාන බවත් මේ සම්බන්ධයෙන් සමාජීය වගකීමකින් යුක්තව කටයුතු නොකිරීම ගැටලු රැසක් ඇති වීමට හේතුවිය හැකි බවත් වෛද්‍යවරිය පැවසුවාය.

"මුලින් ම මේ ප්‍රශ්නය අපි අවබෝධ කර ගන්න ඕන. දරුවෝ දඟයි කියන්න කලින් මව්වරුන් පිළිවෙළ වෙන්න ඕනි. සමාජයට වැඩදායී දරුවෙකු බිහි කිරීම වගකීමක් ලෙස සිතන්න අවශ්‍යයි. දරුවාගේ නිවසේ පරිසරය සාමකාමී වන්න දෙමාපියන් වැඩි දායකත්වයක් සපයන්න අවශ්‍යයි. අද දෙමාපියන් දරුවන්ටත් වඩා ඩිජිටල් උපකරණ එක්ක වැඩි කාලය ගත කිරීමට වෙහෙසුණා ම දරුවන් ගැන සොයන්න වෙලාවක් නෑ. ඔවුනුත් කරන්නේ තමන්ගේ මනෝ ලෝකයක තනිව හුදකලාව ජීවත් වීම," විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර වැඩිදුරටත් පැවසුවාය.

මේ වැනි දරුවන් යහමගට ගතයුත්තේ කෙසේද ?

Image copyright Getty Images

මෙවැනි දරුවෙකු යහ මගට ගත හැකිද ?

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ වෛද්‍ය ලලිත් මෙන්ඩිස් මෙවැනි දරුවන් ඉන් මුදවා ගන්නා ආකාරය ද පැහැදිලි කළේය.

"හරියට ම කිව්වොත් මොළයේ පථයන් අවුල් වීම කියන්නේ, තනි කෙලින් පාරක තැනින් තැන හතර මං සන්ධි පිහිටලා වගේ. ඒවා යථා ස්වරූපයට ගන්න අමාරුයි. පැය කිහිපයක් අභ්‍යාසවල නිරත වන්න ඕන. ඒ ළමයි සමග සුහදව කතා කරන්න ඕන. කථනය මෙන් ම ධාරණ ශක්තිය දියුණු කරන්න වෙන ම අභ්‍යාස තියෙනවා. ඒවා දවසින් දෙකෙන් කරන්න බෑ. අනික දෙමව්පියන්ගේ සහභාගීත්වය අනිවාර්යයෙන් තිබෙන්න ඕන මේ සුවපත් කිරීමේ අභ්‍යාසවලදී. ඔවුන් අත සෑහෙන්න වගකීමකින් තිබෙනවා," වෛද්‍ය ලලිත් මෙන්ඩිස් පෙන්වා දුන්නේය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර