දේවස්ථාන සහ හෝටල්වල පිපිරීම්: මේ දක්වා දන්නා කරුණු මොනවාද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
• කොළඹ කොච්චිකඩේ දේවස්ථානය
ප්‍රහාර පිළිබඳ සංෂිප්තය:
- දෙමටගොඩ ප්‍රදේශයේ ද පිපිරීමක් සිදු වූ බව පොලිසිය පවසයි. එය ඉරිදා සිදුවූ අටවැනි පිපිරීමයි.
- දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේ පිහිටි ලැගුම්හලක තවත් පිපිරීමක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
- ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක දේවස්ථාන සහ සංචාරක හෝටල් අටකටවත් ප්‍රහාර එල්ල වී ඇති අතර අවම වශයෙන් 207 දෙනෙකුවත් මරණයට පත්ව ඇත.
- කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය, මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් සහ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන කොළඹ පිහිටි තරු පහේ හෝටල් ඒ අතර වේ.
- ප්‍රහාර සිදු වී ඇත්තේ දේවස්ථාන තුළ පාස්කු දේව මෙහෙයන් සිදු වෙමින් පවතින අවස්ථාවේදීය.
- මරණයට පත් සංඛ්‍යාව ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.
ඇසින් දුටුවෙකුගේ අත්දැකීම
කොළඹ කොච්චිකඩේ දේවස්ථානය අසල සිටි පුද්ගලයෙකු බෝම්බය පුපුරා ගිය අවස්ථාව පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.
"පූජාව පටන් අරන් 8:45 ශබ්දයක් ආවා. ඇතුලේ පන්සීයක් හයසීයක් ඉන්න ඇති. අපි එතකොටම ඇතුලට ගියා. ගිහින් බලනකොට 'බොඩීස්' ටිකක් තිබුණා. අපි පොලිතින්වලින් ඒ ශරීර වසා දැම්මා. ඊට පස්සේ පොලිසිය ඇවිත් කිව්වා අපට එළියට යන්න කියලා."
සමාජ ජාල ඔස්සේ සංසරණය වන 'ලිපිය'
ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් අප්‍රේල් 11 වෙනිදා බුද්ධි අංශ විසින් නිකුත් කරනු ලැබ ඇතැයි සඳහන්ව සමාජ ජාල ඔස්සේ සංසරණය වන ලිපියෙහි "සත්‍ය අසත්‍යතාව" පිළිබඳ අපරාධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මරණ සංඛ්‍යාව 207 දක්වා ඉහළට

කොළඹ, මීගමුව සහ මඩකලපුවේ සිදු වූ පිපිරීම්වලට හසුව මරණයට පත් සංඛ්‍යාව 207 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
තවත් 450 දෙනෙකු තුවාල ලබා ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටී.
හත් දෙනෙක් අත්අඩංගුවට
කොළඹ, මීගමුව සහ මඩකලපුවේ ඉරිදා සිදුවූ පිපිරීම්වලට සම්බන්ධ යැයි සැක කෙරෙන හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව රජය පවසයි.
සමහර පිපිරවීම් මරාගෙන මැරෙන ප්‍රහාර බව රජය විසින් තහවුරු කරනු ලැබ ඇත. බොහෝවිට එම එම ප්‍රහාර එක් කණ්ඩායමක් විසින් සිදු කර ඇතැයි සිතිය හැකි බවත් රජය පවසයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලයෙන් නිවේදනයක්
ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉරිදා සිදුවූ ප්‍රහාර හෙළාදැක තිබේ.
ඔවුන් පවසන්නේ "පාස්කු දින අපගේ ක්‍රිස්තියානි සහෝදරයින්ගේ ආගමික ස්ථාන සහ කොළඹ පිහිටි හෝටල් ඉලක්ක කර එල්ල කෙරුණු ප්‍රහාර හෙළාදකින" බවය.
"ආගම් සහ ජාති අතර බෙදීම ඇති කර තම අභිප්‍රායන් ඉටුකර ගැනීමට උත්සහ දරන අන්තවාදී කොටස් වල ක්‍රියා නිසා නැතිවූ අහිංසක ජීවිත වෙනුවෙන් අපි ශෝක වන්නෙමු."
"සියලු විශ්වාසයන්ගේ මුලික උගැන්වීම වන්නේ සාමය සහ යුක්තිය" බවද එම නිවේදනයේ සඳහන්.
මෙම සිදුවීම් නිසා කරදරයට පත් ජනතාවට අවශ්‍ය උපකාර ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.
"ප්‍රචණ්ඩත්වය සහ අන්තවාදී ක්‍රියා අපි මුළුමනින්ම හෙළාදකිනවා" යනුවෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලය වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව ගැන ශුද්ධෝත්තම පාප් වහන්සේගෙන් පණිවුඩයක්

වතිකානයේදී චාරිත්‍රානුකූළ පාස්කු ඉරිදා විශේෂ දේව මෙහෙය ඇමතු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ශ්‍රී ලංකාවේ එල්ල වූ ප්‍රහාර හෙළා දකිනු ලැබූහ. උන්වහන්සේ විසින් එම ප්‍රහාර හඳුන්වනු ලැබුවේ "කෘර ප්‍රචණ්ඩකාරී " ක්‍රියාවක් ලෙසය.
පාස්කු දින "ශෝකයට සහ වේදනාවට පත්" කිතුනු බැතිමතුන් සමීපයෙන් තමන් ඉන්නා බව ශාන්ත පීතර චතුරශ්‍රයට එක් වූ ජනතාව අමතමින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය: "අපරාධකරුවන් හඳුනාගෙන තිබෙන්නේ"
"අපේ රටේ ක්‍රියාත්මක ඕනෑම අන්තවාදී කණ්ඩායමකට එරෙහිව අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව" ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන පවසයි.
"මේ අන්තවාදී කණ්ඩායම්වලට ක්‍රියාත්මක වීම සඳහා හෝ පසුගිය දින කිහිපය තුළ ඔවුන් කළ දෑ කිරීමට අප කිසිඳු ලෙසකින් හෝ ඉඩ තබන්නේ නැහැ."
"අප අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඔවුන් කුමන ආගමික අන්තවාදයක් අනුගමනය කළත් අප ඔවුන් ලුහුබඳිනවා"
"අප ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා වගේම මේ රටේ ඔවුන් ක්‍රියාත්මක වීම නවතා දමනවා"
"මේ වන විට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව, පොලිසිය සහ ආරක්ෂක හමුදා විමර්ශන සිදු කරමින් සිටිනවා"
"මේ අවාසනාවන්ත ත්‍රස්තවාදී සිදුවීමට සම්බන්ධ සියලුම අපරාධකරුවන් හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන් කවුරුන්දැයි හඳුනා ගෙන තිබෙනවා" යනුවෙන් ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.



මේ මොහොතේ සිට පොලිස් ඇඳිරි නීතිය - පොලිසිය
මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මීට ඉහතදී පොලිසිය නිවේදනය කළේ ඉරිදා සවස 6 සිට සඳුදා (අප්‍රේල් 22) උදෑසන 6 දක්වා ශ්‍රී ලංකාව පුරා පොලිස් ඇඳිරිනීතිය පනවන බවය.
කොළඹ ජාතික රෝහල: හතලිස් හයක් මරුට
පුද්ගලයන් 260 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් බලධාරීහු පවසති. ඉන් 46 දෙනෙකු මරණයට පත්ව ඇති බවත් ඉන් එකොළොස් දෙනෙකු විදේශිකයන් බවත් බලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.
දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය
මේ අතර ශ්‍රී ලංකාව පුරා ඉරිදා සවස 6 සිට සඳුදා (අප්‍රේල් 22) උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ.
දෙමටගොඩත් පිපිරීමක්
දෙමටගොඩ ප්‍රදේශයේ ද පිපිරීමක් සිදු වූ බව පොලිසිය පවසයි. එය ඉරිදා සිදුවූ අටවැනි පිපිරීමයි. දෙමටගොඩ මහවිල උද්‍යාන නිවාස සංකීර්ණයේ ඉරිදා පස්වරුවේ පිපිරීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කළේය. ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් වාර්තා වී නොමැති බව පොලිසිය පවසයි.
සමාජ ජාල "අවහිරතා"
ෆේස්බුක් සහ වට්ස්ඇප් සමාජ ජාල පරිහරණයේ බාධා මතුව ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත් ඒ බව නිල වශයෙන් තහවුරු වී නොමැත.
දෙහිවලත් පිපිරීමක්

දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේ පිහිටි ලැගුම්හලක තවත් පිපිරීමක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.
ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දීය අගමැතිවරයා ශෝකය පළ කරයි
ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාර "කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයක්" ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් හඳුන්වනු ලබයි.
ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකියි. ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමඟ සිටියි. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ යුතු බවත් ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ඉන්දියාව අවධාරණය කර සිටියි.
කතානායකවරයාගෙන් ඉල්ලීමක්
"ඉරිදා පෙරවරුවෙහි කිසිවෙකුත් අපේක්ෂා නොකළ ලෙස රටෙහි වැදගත් ආගමික සිද්ධස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදු වී ඇති පිපිරීම් සිද්ධි පිළිබඳව දැඩි සැළකිල්ල යොමු කරමින් පාර්ලිමේන්තුවෙන් ගතයුතු ක්ෂණික පියවර පිළිබඳවද සුවිශේෂ අවධානය යොමු කර" ඇති බව කතානායක කරූ ජයසූරිය පවසයි.
නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.
"මේ මොහොතේ මෙම තත්ත්වය කිසියම් ජාතියකට හෝ ආගමකට එරෙහි වූ විපතක් නොව අපගේ ආදරණීය මාතෘභූමියටත් සහෝදරත්වයෙන් බැඳුනු සකලවිධ ශ්‍රී ලාංකික ජනතාවටත් මුහුණ දීමට සිදු වූ බරපතල විපතක් බව පැහැදිළිය. උද්ගත වී ඇති මෙම තත්වය තුළ ඉතා අවබෝධයෙන් , වගකීමෙන් සහ සහෝදරත්වයෙන් යුතක්තව සාමකාමීව කටයුතු කිරීම තුළින් මෙම මිලේච්ඡ ක්‍රියාදාමයේ අවසන් අරමුණු ඉඳුරාම ව්‍යවර්ථ කළ හැකිවනු ඇත."
"එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව මෙම විපතට මුහුණ දීමට එක්වන ලෙස සමස්ථ රටවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ආයාචනා කරමි."
අපගේ එක්සත් බව තුළ මෙම කුරිරු ප්‍රහාරයට වගකිව යුතු ම්ලේච්ඡ බලවේග අප ආදරණීය මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා දිවි හිමියෙන් කැප වන බව සපත කරමු.
පාසල් නිවාඩු

රජයේ පාසල් රැසක් අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සඳුදා යළි ආරම්භ වීමට නියමිතව තිබිණි.
එහෙත්, රටේ උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින පාසල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිවේදනය කරයි.
රටේ ආරක්ෂාව
රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් ඉරිදා පෙරවරුවේ පැවැත්විණි.
මෙම තත්ත්වය හමුවේ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කිරීමට ද පියවර ගැනිණි.
කටුනායක ගුවන් තොටුපළ
ගුවන් තොටුපළේ කළමනාකාරීත්වය ගුවන් මගීන්ට දැනුම් දුන්නේ, ගුවන් තොටුපළ තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන හෙයින් ගුවන් ගමන් වේලාවට පැය 4කට පමණ පෙර පැමිණිය යුතු බවය.
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන සියලු ම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පොලිස්පතිවරයා නියෝග කළ බවය.
අගමැතිවරයා සහ ආරක්ෂක නිලධාරීන් අතර හමුවක්
සාමය පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගනු වස් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ රජයේ ඇමතිවරුන් සහ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් පැවති බව අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි. මේ වන විට ආරක්ෂාව දැඩි කර ඇති බව ඔහු නිකුත් කළ ට්විටර් පනිවුඩයක දැක්වේ. වගකීමෙන් කටයුතු කරන ලෙසත් දේශපාලන වාසි තකා කටයුතු නොකරන ලෙසත් ඔහු ඉල්ලා සිටී.
ජාතික රෝහලේ මළ සිරිරු 45 ක්:
කොළඹ ජාතික රෝහල තුළ මළ සිරුරු හතළිස් පහක් තිබෙන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. ඒ අතර විදේශිකයන්ගේ මළ සිරුරු නවයක් වන බව ඔහු කියා සිටී. එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තුවාල ලැබූ විශාල පිරිසක්ද රෝහල් ගත කර සිටින බවය.