ශ්‍රී ලංකාවේ පිපිරීම් : අසත්‍ය ප්‍රචාර ගැන අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක්

ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතල කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

"මේ පිළිබඳ තවදුරටත් කරුණු පරීක්ෂා කර බැලිය යුතුයි. මා ඇතුළු ඇමතිවරු දැනුවත් වී නොතිබීමත් ඊට අදාළ කාරණයක්. නමුත් පළමුව කළ යුත්තේ රට අස්ථාවරභාවයට පත්වීමට ඉඩ නොදී සියලු කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමයි. මේ පිළිබඳ පොලිසිය සහ ආරක්ෂක අංශ පරීක්ෂණ සිදු කරමින් සිටිනවා,"

ශ්‍රී ලංකාව තුළ ප්‍රහාරයක් සිදු විය හැකි බවට අනතුරු අඟවමින් අප්‍රේල් 11 වෙනිදා බුද්ධි අංශ විසින් නිකුත් කරන ලදැයි සඳහන් ලිපියක ඡායාරූපයක් සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.

මීට ඉහතදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ අදාළ "ලිපියෙහි සත්‍ය අසත්‍යතාව" පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන බවය.

මේ අතර අසත්‍ය ප්‍රචාර හමුවේ මහජනතාව නීතිය අතට ගෙන කටයුතු කළහොත් සිදු වන්නේ "ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඉටුවීම පමණක්" බව ද ඉරිදා (අප්‍රේල් 21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුව අමතමින් අගමැතිවරයා පැවසීය.

අගමැතිවරයා විසින් ප්‍රහාර මාලාව හඳුන්වනු ලැබුවේ "ත්‍රස්ත ක්‍රියාවක්" ලෙසය.

"මේ මොහොතේ රට තුළ යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කර රට අස්ථාවර කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරයි නම් දේශීය සහ විදේශීය සහය ලබා ගෙන එම ත්‍රස්තවාදී ක්‍රියාවන් මැඩපැවැත්වීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව මා අවධාරණයෙන් කියා සිටිනවා."

ප්‍රහාරවලට ජාත්‍යන්තර සංවිධානයක් සම්බන්ධ දැයි බීබීසීය අගමැතිවරයාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බවය.

කෙසේ නමුත් ප්‍රහාර සම්බන්ධයෙන් මේ දක්වා 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සියලුම දෙනා ශ්‍රී ලාංකික පුරවැසියන් බවත් අගමැතිවරයා එහිදී කියා සිටියේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරය සුළුවෙන් තැකිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව කී අගමැතිවරයා "මෙතෙක් සාමකාමීව කටයුතු කළ අයුරින්ම තවදුරටත් සාමකාමීව කටයුතු කරමින් පරීක්ෂණවලට අවශ්‍ය සහයෝගය දෙන්න" යනුවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම මෙවැනි දුෂ්කර අවස්ථාවක සාමය ආරක්ෂා කිරීමට කැප වූ ආරක්ෂක අංශ සාමාජිකයන්, පොලිසිය, ආගමික නායකයන් සහ සාමාන්‍ය ජනතාව වෙත සිය ස්තුතිය පළ කරන බවත් ඔහු පැවසීය.

ජනාධිපතිගේ පණිවුඩය

මෙම අවස්ථාවේදී සන්සුන්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවෙන් බැහැර පෞද්ගලික සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලා සිටී.

"පිපිරීම් පිළිබඳ පරීක්ෂණ සඳහා සියලු ජනතාවගේ සහය අපේක්ෂා කරන බවත්, මේ සම්බන්ධයෙන් රජයේ වගකීම නොපිරිහෙලා ඉටුකරන බවත්" නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටී.

විපක්ෂ නායකවරයාගේ පණිවුඩය

මේ අතර තමන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් හමු වී වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව අගමැතිවරයා කියා සිටියේය.

මේ අතර නිවේදනයක් නිකුත් කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ "අද වැනි ශුද්ධ වූ දිනයක මෙවන් ප්‍රචණ්ඩ සහ ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීම අතිශයින්ම පිළිකුල් සහගත" බව කියා සිටී.

"මෙම ප්‍රහාරය පසුපස කවරෙකු සිටිය ද ඔවුන් පිළිබඳ ඉතා ඉක්මණින් පියවර ගත යුතුය. තමන්ගේ ආදරණීයයන් අහිමි වූ පවුල්වලට හා සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මාගේ සාතිශ්‍ය සංවේගය පළකරමි. " යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර