ශ්‍රී ලංකාවේ පිපිරීම්: පරීක්ෂණ සඳහා ඉන්ටර්පෝල් කණ්ඩායමක් දිවයිනට

Image copyright Getty Images

ඉන්ටර්පෝල් කණ්ඩායමක්

ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ පිපිරීම් පිළිබඳව පැවැත්වෙන පරීක්ෂණ සඳහා සහය දැක්වීමට පරීක්ෂණ කණ්ඩායමක් පිටත්කරන බව 'ඉන්ටර්පෝල්' ජාත්‍යන්තර පොලිසිය පවසයි.

ස්ථානීය පරීක්ෂණ, පුපුරන ද්‍රව්‍ය පරීක්ෂාව, ත්‍රස්ත ක්‍රියා වැළැක්වීම, සහ වින්දිතයින් හඳුනාගැනීම සඳහා ඔවුන් උපකාරී වනු ඇත.

"අවශ්‍ය වුවහොත් වෝහාරික ඩිජිටල් පරීක්ෂණ, ජීව දත්ත, ඡායාරූප සහ වීඩියෝ විශ්ලේෂණ සඳහා විශේෂඥයින් එක් කරනු ඇති."

ඉන්ටර්පෝල් ආයතනයේ මහ ලේකම් ජර්ගන් ස්ටොක් පැවසුවේ මේ අවස්ථාවේ මෙවැනි බෝම්බ සහ ත්‍රස්ත ප්‍රහාරවලට ලක්වූ අයගේ පවුල් සහ මිතුරන්ට ලොව පුරා නීතිය රකින ප්‍රජාවේ සම්පුර්ණ සහය ලැබිය යුතු බවය.

චාල්ස් කුමරු

මේ අතර ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ අමානුෂික ප්‍රහාර පිළිබඳ අසා තමා සහ තම බිරිඳ අතිශය කණගාටුවට පත්වූ බව දන්වමින් බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත ලිපියක් ඒවා තිබේ.

"මෙවැනි භයංකාර කෲරත්වය කුමන ස්ථානයක සිදුවුවද එය මනුෂත්වය සහ දයානුකම්පාව සහ අන්නෝන්‍ය සහයෝගය වැනි සාරධර්ම වෙත එල්ලවූ බියකරු ප්‍රහාරයක් ලෙස සැළකිය හැකිය." යනුවෙන්ද චාල්ස් කුමරු නිකුත් කළ ලිපියේ සඳහන් වේ.

Image copyright AFP

අතුරුදන් වූවෝ

පාස්කු ඉරිදා සිදු වූ පිපිරීම්වලින් අනතුරුව මෙතෙක් කිසිදු තොරතුරක් නොලත් පුද්ගලයන් පිළිබඳව ප්‍රධාන අධිකරණ වෛද්‍ය කාර්යාලය වෙත පැමිණ ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අජිත් තෙන්නකෝන් ඉල්ලීමක් කරයි.

ඒ සම්බන්ධ තොරතුරු කොළඹ 10, ප්‍රැන්සිස් පාරේ, අංක 111 දරන ස්ථානයේ පිහිටි අධිකරණ වෛද්‍ය හා විෂ වෛද්‍ය ඒකකය වෙත දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටින වෛද්‍ය අජිත් තෙන්නකෝන් වැඩිදුරටත් පවසන්නේ මේ සඳහා පවුලේ ලඟම ඥාතීන් පමණක් පැමිණෙන ලෙස ය.

පාප් වහන්සේගේ ඉල්ලීම

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සඳුදා (අප්‍රේල් 22) දෙවැනි වරටත් හෙළා දුටුවහ.

ඉරිදා දිනයේත් උන් වහන්සේ එම ප්‍රහාර හෙළා දුටු සේක.

ශාන්ත පීතර චතුරශ්‍රයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත බැතිමතුන් අමතමින් උන් වහන්සේ සඳහන් කළේ, "මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මෙම සහෝදර දේශයට අවශ්‍ය සහය දෙන්න කියලා. මම හිතනවා සියලුදෙනා මෙම ත්‍රස්ත සහ අමනුෂ්‍ය ක්‍රියා හෙළාදකියි කියලා" ලෙසිනි.

Image copyright Getty Images

සෞදි ගුවන් සේවයේ දෙදෙනෙක් 'අතුරුදන්'

ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම්වලින් අනතුරුව තම කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනෙක්කු අතුරුදන් බව සෞදි ගුවන් සේවය නිවේදනය කරයි.

ට්විටර් ඔස්සේ නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ පිපිරීම්වලට හසුව තවත් ගුවන් සේවිකාවක් රෝහල් ගත කළ බවය.

ඇයගේ තුවාල බරපතල නොවන බව ද පණිවුඩයේ සඳහන්ය.

සෞදි ගුවන් සේවයේ කාර්යමණ්ඩල සේවකයින් රැඳී සිට ඇත්තේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේය.

"තවත් පිපිරීමක්"

කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ තවත් පිපිරීමක් සිදුවී තිබේ.

එම පිපිරීම සිදුවී ඇත්තේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ආසන්නයේ ය.

විශේෂ කාර්ය බලකා කණ්ඩායමක් බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යැමේදී එය පුපුරා ගිය බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.

Image copyright Reuters
Image copyright Reuters

ඇමති රාජිත ගේ අනාවරණය:

ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරවීම් පිළිබඳව ජාත්‍යන්තර ඔත්තු සේවා දින 17 කට පෙර ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී තිබූ බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

සඳුදා (අප්‍රේල් 22) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතා දහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙම ප්‍රහාර පිළිබඳව ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් මස 04 දින ආරක්ෂක අමාත්‍යංශයට දන්වා ඇති බවය.

"වගකීම් පැහැරහැරීම පිළිබද පරීක්ෂණයක් පැවැත්විය යුතුයි," යනුවෙන් ද ඇමතිවරයා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රාජිත සේනාරත්න, "මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බව ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් මස 04 දින ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා. ඒ ප්‍රහාරය එල්ලවීමට දින 17 කට පෙරයි. ඉන් පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අප්‍රේල් මස 09 දින පොලිස්පතිවරයාට මේ පිළිබදව දැනුම් දී තිබෙනවා. ඒ එම ත්‍රස්ත කල්ලියේ සාමාජිකයින්ගේ නම්, දුරකථන අංක සහ ජාතික හැඳුනුම්පත් අංක ද සදහන් කරමින්. අප්‍රේල් මස 11 දින නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා සියලු ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන්ටත් මේ පිළිබදව දැනුවත් කර තිබෙනවා. නමුත් එම දැනුවත් කිරිම ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයට සහ අගමැති ආරක්ෂක කොට්ඨාසයට ලබාදී නැහැ. ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වන නිසා එවැනි දැනුවත් කිරීමක් නොකරන්න ඇති. මෙම ලිපියෙන් ප්‍රභුවරුන්ගේ ආරක්ෂාව දැඩි කරන ලෙස තහවුරු කර තිබෙනවා. නමුත් මෙය අනුශාංගික වැඩක්. රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග තමයි මෙහිදී වැදගත් වන්නේ," යනුවෙන් ද පැවසීය.

"ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආරක්ෂක මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයාට හෝ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාට කැඳවීමක් ලැබෙන්නේ නැහැ. මීට පෙර සිටි සෑම ජනාධිපතිවරයෙක් යටතේම ආරක්ෂක මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍යවරයා සහභාගි වුනා. 2018 වසරේ ඔක්තෝබර් 26 දින පත් කළ ඊනියා ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාත් ආරක්ෂක මණ්ඩලයේ වාඩි වුනා. නමුත් ඉන් පසු බලයට පත් වූ අපේ රජයේ අග්‍රාමාත්‍යවරයාට ඊට කැඳවීමක් ලැබුනේ නැහැ. ජනාධිපතිවරයා ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයායි. එතුමා විදේශගත වන විට වැඩබලන ආරක්ෂක අමාත්‍යධූරයට කිසිවෙක් පත් කර තිබුනෙත් නැහැ. කාටවත් වගකීම් බාරදීලා තිබුනෙත් නැහැ. මෙවැනි ත්‍රස්ත කල්ලියක ප්‍රහාරයක් එල්ලවන බවට ආරක්ෂක අමාත්‍යාංශය පොලිස්පතිවරයා දැනුවත් කළ ලිපිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍යවරුන් දැනුවත් ව සිටියේ නැහැ. මෙම සිද්ධිය සිදුවීමෙන් පසු ජනාධිපතිවරයා නොසිටි නිසා අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක මණ්ඩලය කැඳවූවත් ඔවුන් ආවේ නැහැ. නමුත් අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ට කථා කළත් ඔවුන් ආවේ නැහැ. එම නිසා අග්‍රාමාත්‍යවරයාට රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ කාමරයට වී විනාඩි 20 ක කාලයක් ඉන්න වුනා. මේ රටේ සිටි අග්‍රාමාත්‍යවරු 1988 වසරේ සිට ආරක්ෂක මණ්ඩලය නියෝජනය කරනවා. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් ඉතා දීර්ඝ කාලයක් ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට සහභාගි වුනා. ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වූවා. නමුත් අමාත්‍යවරුන් යෝජනා කළා ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් හමු වී වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කළ යුතු බව. නමුත් ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් ඊට ද එක් වුයේ නැහැ. ආරක්ෂක මණ්ඩල රැස්වීමකට අග්‍රාමාත්‍යවරයා සහභාගි නොවූ පළමු රට ශ්‍රී ලංකාවයි. අග්‍රාමාත්‍යවරයාගේ කැදවීමකට ආරක්ෂක මණ්ඩල සාමාජිකයින් නොපැමිණි පළමු රට ද ශ්‍රී ලංකාවයි. නමුත් අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය රැස් වූ අතර, ඊට අග්‍රාමාත්‍යවරයා ද එක්ව සිටියා. සියලු තොරතුරු ලැබී තිබිය දී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබදව සොයා බැලිය යුතුයි. වගකීම් පැහැර හැර ඇති සියලු දෙනා පිළිබඳව සොයා බැලිය යුතුයි. අනතුරු ඇඟවීම් සිදු කර තිබිය දී ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ද සොයා බැලිය යුතුයි," අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

"ජාතික තව්හිත් ජමාත්" නමැති කණ්ඩායමක් ප්‍රහාර පිටුපස සිටින බවට චෝදනා කරන අමාත්‍ය රාජිත සේනාරත්න, පොලිස්පතිවරයා පදවියෙන් ඉල්ලා අස්විය යුතුය යන්න ආණ්ඩුවේ ස්ථාවරය බව ද සඳහන් කළේය.

ජාතික ශෝක දිනයක්

අඟහරුවාදා (අප්‍රේල් 23) ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිදුවූ ප්‍රහාර සඳහා ජාත්‍යන්තර ජාලයක සහාය ලැබී ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න පැවසු බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

"මේ ප්‍රහාර රට තුළ සිටින කණ්ඩායමක් කළා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ."

"ප්‍රහාර පිටුපස ජාත්‍යන්තර ජාලයක් තිබෙනවා. එසේ නොවී මෙවැනි දෙයක් කරන්න බැහැ"

Image copyright Getty Images

මරාගෙන මැරෙන ප්‍රහාර

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පාස්කු ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ ප්‍රහාරවලින් ප්‍රහාර හයක් මරාගෙන මැරෙන ප්‍රහාර බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

මේ බව බීබීසී සිංහල සේවයට තහවුරු කළ රජයේ රස පරීක්ෂක ආරියනන්ද වැලිඅංග, ඒ අනුව ශාන්ත අන්තෝනි දේවස්ථානය කොච්චිකඩේ, ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කටාන සහ මඩකලපුව දේවස්ථානයට එල්ලවූ ප්‍රහාර තුන සහ කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක සිදුවූ ප්‍රහාරයන් මරාගෙන මැරෙන ප්‍රහාර ලෙස හඳුනාගෙන ඇතැයි ඔහු හෙළි කළේය.

සඳුදා (අප්‍රේල් 22) රාත්‍රී 8 සිට අඟහරුවාදා (අප්‍රේල් 23) පෙරවරු 4 දක්වා පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ අතර නිවේදනය කළේය.

එසේම සිදුවූ ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගොස් ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අතර විදේශිකයින් 22ක් සිටින බව හඳුනාගෙන තිබේ.

මේ වන විට සැකකරුවන් 24ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර තහවුරු කළ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ප්‍රහාරවලින් තුවාල ලැබූ සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙන බව ද බලධාරීහු පවසති.

Image copyright Reuters

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර