ශ්‍රී ලංකාවේ පිපිරීම්: තවමත් හඬන කටාන කටුවාපිටිය ගම්මානය

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය,

රෝහිණී සිල්වා

පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ප්‍රහාර වලින් මියගිය සංඛ්‍යාව 321 දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසයි. ඉන් තුවාල ලැබූ ගණන 500 දෙනෙක් පමණ වේ.

මෙම බෝම්බ පිපිරීම්වලින් ඉතිරි වූ සෝ සුසුම් තවමත් මැකීගොස් නැත.

මේ පිළිබඳව සොයා බැලීමට බීබීසී සිංහල සේවය කටාන කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත ගියේය.

එහිදී අප කණ්ඩායමට දැක ගැනීමට හැකි වූයේ, සිදුවූ කිසිවක් සිතා ගත නොහැකිව තවමත් දේවස්ථාන භූමිය තුළ රැඳී සිටින ප්‍රදේශ වාසීන් විශාල පිරිසකි.

අප කණ්ඩායම එහි යන විට දේවස්ථානයේ සුන්බුන් තවමත් එහි තිබිණි. මීගමුව නගර සභාවේ සේවකයින් ඇතුළු පිරිසක් දේවස්ථානය තුළ තිබූ සුන්බුන් ඉවත් කිරීමෙහි නිරත වී සිටියහ.

අසල විසිරී තිබූ කුඩ, උපැස් යුවළ, පාවහන් සහ තවත් දේ කියාපෑවේ බෝම්බය අහිමි කළ මිනිසුන්ගේ ජීවිතවල ශෝකාන්තයයි.

බෝම්බය පිපිරීමෙන් දිනකට පසු පැමිණි ප්‍රදේශ වාසීන් සිය අසල්වැසියන් සහ හිතවතුන් අහිමි වී ගිය ශෝකයෙන් එම සුන්බුන් දෙස බලා සිටිති.

මෙහිදී දුටු විශේෂ සිදුවීමක් වූයේ, කටුවාපිටිය ගම්මානයේ ජනතාවගේ දුක් දොම්නස් බෙදා ගැනීමට බෞද්ධ ස්වාමීන් වහන්සේ ද දේවස්ථාන භූමියට පැමිණ සිටීමය.

කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ සමිති ලේකම්වරයා වන සිසිර ප්‍රනාන්දු බෝම්බ පිපිරීම සිදුවූ අවස්ථාවේ දේව මෙහෙයට සහභාගි වී සිටි අයෙකි.

ඔහු බීබීසී සිංහල සේවයට පැවසුවේ, තමන් අසුන්ගෙන සිටි අසුන ආසන්නයේ සිටි බොහෝ දෙනෙකු බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූ බවය.

"මම ඒ වෙලාවේ හිටියේ පල්ලිය ඇතුළෙ මයි. මගේ වයිෆ් එක්ක මම දේව මෙහෙයට සහභාගි වුණා. පුතා ආවේ කලින් දවසේ රෑ දේව මෙහෙයට," සිසිර ප්‍රනාන්දු පැවසීය.

"මගේ වයිෆ්ගේ ඔළුවට වහලේ උළු කැටයක් කඩාගෙන වැටුණා. ඒ තුවාල පිටින් ම අපි ඒ වෙලාවේ ගොඩක් තුවාල වෙලා හිටිය අයට උදව් කළා. අපිට පිටිපස්සේ පේළියේ හිටිය ගෑණු කෙනෙක් එක පාරට ම බිම වැටුණා. එයාව නැගිට්ටවන්න බැලුවා ම එක පාරට ම එයාගේ ඇඟ නිල් පාට වුණා. අපේ ම අසල්වැසියෝ අපි ඉස්සරහ ම මැරෙන හැටි දැකල අපි ගොඩක් කම්පනයට පත් වුණා."

මෙම දේවස්ථානයේ සාමාජිකයින් විශාල පිරිසක් දේවස්ථානය අවට ම පදිංචිකරුවෝ වෙති. දේවස්ථානය වටා පිහිටි නිවෙස් විශාල ගණනක ඇති සුදු කොඩිවලින් කියා පෑවේ, බෝම්බ පිපිරීම ඉතිරි කළ අමිහිරි මතකයයි.

දේවස්ථානය අසල ම පිහිටි නිවසක පදිංචි රෝහිණී සිල්වා එදින දේව මෙහෙයට සහභාගි නොවූයේ, පෙර දින රාත්‍රී දේව මෙහෙයට සහභාගි වූ හෙයිනි.

ඇය තමන් ලත් අත්දැකීම බීබීසී සිංහල සේවයට පැවසුවාය.

"අපි ඒ වෙලාවේ හිටියේ ගෙදර. අපිට ලොකු සද්දයක් ඇහුණා. ඒත් එක්ක ම මිනිස්සුන්ගේ කෑ ගැසීමක් ඇහුණා. ඒ වෙලාවෙ ම අපි පල්ලියට දුවගෙන ගියා. මේ ලොකු අපරාධයක්. අපිට හිතා ගන්න බෑ මේ වගේ දෙයක් කළේ ඇයි කියලා."

මේ අතර, නොසිතූ ශෝකාන්තයකට මුහුණ දී සිටින කටුවාපිටිය ගම් වැසියන්ගේ දුක බෙදා ගැනීම සඳහා බෞද්ධ භික්ෂූන් පිරිසක් ද එහි දැක ගත හැකි විය.

එහි පැමිණ සිටි කැලණිය, නාතුඩුව, විජයනන්දනාරාමයේ විහාර වාසී පූජ්‍ය හෙනානිගල සිරිපාලංකාර හිමියන් බීබීසී සිංහල සේවයට පැවසුවේ, "සිය ආගම අනුව ආගමික කටයුතුවලට සහභාගි වී සිටි පිරිසකට එල්ල කළ ප්‍රහාරය අපි හෙළා දකින" බවය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

කටුවාපිටිය දේවස්ථානය

"මේ වෙලාවේ ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි ප්‍රකෝපකාරීව ක්‍රියා නොකර ඉවසිලිමත්ව මෙම ශෝකජනක සිද්ධියට මුහුණ දෙන ලෙස. මේ අවස්ථාවේ ජනතාවත් ප්‍රකෝපකාරී වුණොත් ඝාතකයොයි අපියි අතරේ වෙනසක් නැති වෙනවනේ," සිරිපාලංකාර හිමියන් පෙන්වා දුන්නේය.

කියවන්න: