ශ්‍රී ලංකාවේ පිපිරීම්: ජාතික තව්හිත් ජමා'අත් යනු කවුරුන්ද?

Image copyright Getty Images

(BBC Monitoring සැකසූ ලිපියක් ඇසුරිණි)

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඉලක්ක කර එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මියගිය ගණන 321 වන අතර ඉන් 500කට ආසන්න දෙනෙක් තුවාල ලැබුහ.

පසුගිය දශකය තුළ දිවයිනේ සිදුවූ බරපතලම ප්‍රචණ්ඩ ක්‍රියාව ලෙස මෙම සිදුවීම් සැළකේ.

මෙම ප්‍රහාරයට ජාතික තව්හිත් ජමා'අත් (NTJ) නම් එතරම් ප්‍රසිද්ධ නොවූ කණ්ඩායමක් සම්බන්ධ බවට මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මාධ්‍ය එම සංවිධානයයේ නම හෙළිදරව් කර තිබිණ. එසේම අප්‍රේල් 21 වනදා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිංහලෙන් ලියවුනු නිල ලිපියක පිටපතක් තම ට්වීටර් ගිණුමේ පළ කර තිබිණි.

සිංහල බසින් ලියවුනු එම ලිපියෙහි අදාළ සංවිධානය ද නම් කර තිබිණි.

ඊයේ (අප්‍රේල් 22) අමාත්‍ය රාජිත සේනාරත්න ආරක්ෂක කමිටු රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවී පැවසුවේ අදාළ කණ්ඩායම නම් කරමින් නිකුත් ලේඛනය නිල ලිපියක් බවය.

සැකකරුවන් 40 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවද එම පුද්ගලයින් ජාතික තව්හිත් ජමා'අත් (NTJ) සංවිධානයට අයත්ද නැත්ද යන්න හෝ වෙනත් කිසිදු තොරතුරක් හෙළිදරව් කර නැත.

ජාතික තව්හිත් ජමා'අත් සංවිධානය (NTJ) ගැන ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පළ වන තොරතුරු වල ව්‍යාකූලත්වය ලිහිල් කිරීම සඳහා බීබීසී මොනිටරිං අංශය දැරූ ප්‍රයත්නයකි මේ.

මුලික කරුණු:

ජාතික තව්හිත් ජමා'අත් සංවිධානය (NTJ) ගැන වැඩි තොරතුරක් සඳහන් නොවේ. නමුත් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පළ වන මාධ්‍ය වාර්තා අනුව ව්‍යාකුලත්වය වර්ධනය වී ඇත්තේ නිතරම එම සංවිධානය ඉන්දීය කණ්ඩායමක් වන තමිල්නාඩු තව්හීඩ් ජමා'අත් (Tamil Nadu Tawheed Jama'ath) සමග පටලවා හඳුන්වා ගැනීමයි.

එසේම ජාතික තව්හිත් ජමා'අත් (NTJ) මෙම ප්‍රහාර එල්ල කළ බවට සේනාරත්න ඇමතිවරයා පැවසු බවට සමහරුන් වැරදි ලෙස වාර්තා කර තිබිණි.

එසේම ජාතික තව්හිත් ජමා'අත් (NTJ) යන නම විවිධාකාර ලෙස විවිධ මාධ්‍යවල සඳහන් කර ඇත.

තව්හිත් (අරාබි බසින් "එකම දෙවියා අල්ලා යන විශ්වාසය") යන වචනය ඉංග්‍රීසි බසින් Thowheeth ලෙසත් Thawheed හෝ Tawheed ලෙසත් ලියවී ඇත.

එසේම ජමා'අත් (අරාබි බසින් "කණ්ඩායම") යන වචනය ඉංග්‍රීසි බසින් Jamaath හෝ Jamath වශයෙන් සඳහන් කෙරේ.

එසේම ජාතික තව්හිත් ජමා'අත් (NTJ) ඔවුන්ගේ යැයි පෙනී යන ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් වලද තමන්ගේ නම වෙනස් ආකාරයකට ලියා තිබේ.

ඉන්දීය මාධ්‍ය වන හින්දියෙන් පළ වන අමාර් උජාලා සහ පෞද්ගලික රුපවාහිනී නාලිකා වන CNN-News 18 සහ Zee News වාර්තා කරන්නේ NTJ සහ TNTJ අතර සම්බන්ධයක් ඇති බවය.

නමුත් ඒ සඳහා සාක්ෂි නොමැත.

TNTJ වෙබ් අඩවියේ සඳහන් වන්නේ ඔවුන්ට ශ්‍රී ලංකාව තුළද ශාඛාවක් තිබෙන අතර එය ශ්‍රී ලංකා තව්හිත් ජමාත් (Sri Lanka Thowheed Jamaat) බවය. නමුත් එය NTJ ට සම්බන්ධ බව සඳහන් නොවේ.

අමාත්‍ය ප්‍රනාන්දු විසින් ට්වීටර් ඔස්සේ නිකුත් කර තිබු බුද්ධි අංශ ලිපියේ (එහි සඳහන් කරුණු ස්වාධීන ලෙස තහවුරුකර නොමැත.) සඳහන් ආකාරයට NTJ නායකයා මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් ය.

නමුත් මෙම ප්‍රහාර සඳහා මුලික වූ පුද්ගලයා ලෙස ඉන්දීය 'CNN-News 18' නාලිකාවේ සඳහන් කළ සහරාන් හෂ්මි (ඇතැමුන් හෂීම් වශයෙන් ලියා තිබේ) සහ මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් එකම පුද්ගලයාද යන්න පැහැදිලි නැත.

NTJ සංවිධානයේ ෆේස්බුක් පිටුවේ සඳහන් බොහෝ කරුණු දෙමළ භාෂාවෙන් ලියා ඇත. ලේ දන්දීමේ ව්‍යාපාර සහ දුප්පතුන්ට විවිධ ද්‍රව්‍ය බෙදාදීම වැනි සමාජ සත්කාර ගැන පින්තුර එහි දැක්වේ.

එසේම මොහමඩ් සහරාන්ගේ වීඩියෝවක් ද එහි පළවී ඇත. එම කණ්ඩායමේ යැයි දැක්වෙන ට්විටර් ගිණුම 2018 මාර්තු සිට අක්‍රීයව පවතී.

Image copyright Getty Images

අන් අය පවසන්නේ මොනවාද?

බලධාරීන් හෝ මාධ්‍ය NTJ පිළිබඳව වැඩි දෙයක් කියා නැත.

එහෙත් බුද්ධි අංශ ලිපියේ NTJ ගැන සඳහන් වීම ඉන්දීය මාධ්‍ය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරත් ශ්‍රී ලංකා රජයේ අභ්‍යන්තර පාර්ශවත් එකිනෙකාටත් වරද පටවන තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

මේ අතර ද ඉන්දියන් එක්ස්ප්‍රස් (The Indian Express) පුවත්පත සඳහන් කළේ "ත්‍රස්ත ප්‍රහාරයක් නුදුරේදීම විය හැකි" බව සඳහන් කරමින් ඉන්දියාව මගින් ශ්‍රී ලංකාවට බුද්ධි තොරතුරු ලබා දී තිබු බවය.

පුවත්පතට එම තොරතුර ලැබුණු මූලාශ්‍රය දක්වා නැත.

ඉන්දීය බුද්ධි අංශයේ අනතුරු ඇඟවීම NTJ ලෙස නම් කර තිබු බව පුවත්පත වාර්තා කර තිබිණි.

අප්‍රේල් 21 වැනිදා මාධ්‍ය ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ "අදාළ බලධාරීන්" සතුව සිදු විය හැකි ප්‍රහාර ගැන බුද්ධි තොරතුරු තිබී ඇති නමුත් එම තොරතුරු තමන්ට හෝ තම ඇමතිවරුන්ට සන්නිවේදනය කර නැති බවත්ය.

එහිදී අගමැති වික්‍රමසිංහ සඳහන් කළේ ඉන්දියාව විසින් ලබා දුන්නා යැයි පැවසෙන බුද්ධි තොරතුරු ගැන ද නැතහොත් වෙනත් අනතුරු ඇඟවීමක් ගැන ද යන්න පැහැදිලි නැත.

නමුත් අමාත්‍ය ප්‍රනාන්දු විසින් ට්විටර් ඔස්සේ පළ කළ බුද්ධි අංශ ලිපිය (ශ්‍රී ලංකාව තුළ සංසරණය වූ රජයේ චක්‍රලේඛයකි)පළකිරීමේදී ඔහුගේ විවේචනය ද ඇතුළත් විය.

එය දින 10 කට පෙර යවා තිබුණ ද අවශ්‍ය පියවර නොගැනීම පිළිබඳ ඔහු අදහස් ප්‍රකාශ කර තිබිණි.

එසේම අමාත්‍ය සේනාරත්න ද මාධ්‍ය සාකච්ඡාවේදී අවධාරණය කළේ අගමැති වික්‍රමසිංහ හෝ ඔහුගේ අමාත්‍ය මණ්ඩලය හුවමාරු වූ බුද්ධි තොරතුරු ගැන දැන නොසිටි බවය.

මේ වනවිට ආරක්ෂක කටයුතු පවතින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතේය.

පසුගිය වසරේ අවසාන කාලයේදී ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කර නැවතත් පත් කිරීම සිදුවීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා අතර වැඩි සම්බන්ධයක් නොමැත.

අමාත්‍ය සේනාරත්න තවදුරටත් පවසා තිබුණේ ප්‍රහාර දේශීය කණ්ඩායමක ම ක්‍රියාවක් විය නොහැකි බවය. ජාත්‍යන්තර ජාලයක් ද ඊට සහය දක්වන්නට ඇතැයි ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර