ශ්‍රී ලංකාවේ පිපිරීම්: ආරක්ෂක අංශවල ප්‍රධානීන්ගේ වෙනසක් කරනවා - ජනපති මෛත්‍රී

Image copyright Getty Images

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශවල ප‍්‍රධානීන්ගේ වෙනසක් කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා ඒ බව කියා සිටියේ අඟහරුවාදා (අප්‍රේල් 23) රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

"අපිට දැන් තිබෙන්නේ සිදු වූ දේ පිළිබඳව, විශේෂයෙන් අප ලැබූ මේ කටුක වේදනාකාරීඅත්දැකීම සමග හෙට දවසේ මේ රටේ නිදහස්, සාමකාමී පරිසරයක් ගොඩනගාගෙන කටයුතු කිරීම පිළිබඳ අවතීර්ණ වීමේ කි‍්‍රයාවලිය සහ ප‍්‍රවේශයයි. එහිදී අපේ පොලීසිය, ති‍්‍රවිධ හමුදාව, ආරක්ෂක අංශ සම්පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කිරීමට ඉදිරි සතිය තුළ මා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ඉදිරි පැය 24 තුළ ආරක්ෂක අංශවල ප‍්‍රධානීන්ගේ වෙනසක් කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා," යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

ප්‍රහාර සම්බන්ධයෙන් විදේශීය රාජ්‍යයක ඔත්තු සේවාවකින් තොරතුරු ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන් තමන් හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මීට ඉහත දී පැවසීය. එමෙන්ම එම රහස් තොරතුරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු නොකළ බවට අමාත්‍ය රාජිත සේනාරත්න චෝදනා කළේය.

එහෙත් ජනාධිපතිවරයා පවසන්නේ තමන්ට ද එම තොරතුරු දැනුම් නොදුන් බවය.

"එම රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු එම වගකිවයුතු ප‍්‍රධාන නිලධාරින් විසින් මා වෙත ද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතුයි. මෙම තොරතුරු ලැබීම පිළිබඳ මා දැනුවත් කළානම් ඒ පිළිබඳ වහා කි‍්‍රයාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා," ජනාධිපතිවරයා පැවසීය.

ආරක්ෂක අමාත්‍ය පදවිය ද හොබවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ත්‍රිවිධ හමුදාවල අණදෙන නිලධාරියා ද වේ.

ප්‍රහාර පිළිබඳ සංක්ෂිප්තය:

  • මරණයට පතන් සංඛ්‍යාව 321 දක්වා ඉහළට
  • මාර්තු මස නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට එල්ල වූ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවේ දේවස්ථාන සහ සංචාරක හෝටල් වෙත ප්‍රහාර එල්ල වී ඇතැයි හෙළි වී ඇති බව ආණ්ඩුව පවසයි.
  • අඟහරුවාදා රාත්‍රී 09.00 සිට අලුයම 04:00 දක්වා ශ්‍රී ලංකාව පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමට තීන්දු කර ඇත.
  • ප්‍රහාර සිදු කළේ අයිඑස් සංවිධානය විසින් යැයි ඊට සම්බන්ධ පුවත් ආයතනයක් නිවේදනය කළේය.
  • පුපුරන ද්‍රව්‍ය සොයා තවදුරටත් මෙහෙයුම් දියත් කර ඇත.

ප්‍රහාරකයන්ගේ ඡායාරූප නිකුත් කෙරේ

අයිඑස් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය විසින් ප්‍රහාරකයන් බව සැලකෙන පුද්ගලයන්ගේ ඡායාරූපයක් නිකුත් කරනු ලැබේ.

සිය අමාක් (Amaq) පුවත් ආයතනය මාර්ගයෙන් කෙටි නිවේදනයක් නිකුත් කරමින් අයිඑස් සංවිධානය මීට ඉහතදී ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබිණ.

ඉන් අනතුරුව දීර්ඝ නිවේදනයක් නිකුත් කළ IS ප්‍රහාරකයන්ගේ බව විශ්වාස කෙරෙන නම් ප්‍රකාශයට පත් කර තිබිණ.

මරණයට පත්වූවන්ගෙන් 80% ක් ශ්‍රී ලාංකිකයින්

මරණයට පත්වූ අයගේ ජාතිකත්වය

බීබීසී ගවේෂණයකින් ලබා ගත් තොරතුරු

විදෙස් මාධ්‍ය හමුවේ අගමැතිවරයාගේ ප්‍රකාශය

"ජාත්‍යන්තර ත්‍රස්තවාදයට" එරෙහිව කටයුතු කරන අතර, ශ්‍රී ලංකාවේ සමගිය වෙනුවෙන් කැපවන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා ඒ බව කියා සිටියේ විදෙස් මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් මේ මොහොතේ කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ හොඳින් ප්‍රගතියක් ලබන බව ද අගමැතිවරයා පැවසීය.

ප්‍රහාරයට විදේශ සම්බන්ධයක් තිබුණේය යන්න ආණ්ඩුවේ ස්ථාවරය බව සඳහන් කළ අගමැතිවරයා, අයිඑස් සංවිධානය එහි වගකීම භාරගැනීමෙන් අනතුරුව ඒ ගැන තවදුරටත් පරීක්ෂණ පවත්වන බව සඳහන් කළේය.

ප්‍රහාරය ගැන රහස් තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකළේ මන්දැයි විමසා බැලිය යුතු බව ඔහු යළිත් වරක් කියා සිටියේය.

පාර්ලිමේන්තුවත් අවදානමක - කතානායක

Image copyright Getty Images

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් අවදානමක පවතින බව ආරක්ෂක නියෝජිතයින් දන්වා ඇතැයි කතානායක කරු ජයසුරිය පැවසීය. එමෙන්ම දේශපාලන වාසි නොතකා කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටී.

"ඉතාම කණගාටුදායක සිද්ධියක් මේක. මෙය ශ්‍රීලංකා ජනතාව බලාපොරොත්තු වූ සිද්ධියක් නොවේ. සාමකාමී රටක් වශයෙන් නැවත හිස ඔසවන්න පටන්ගත අවස්ථාවක මේක දරුණු ලෙස බලපානවා."

"මේ සිදුවීම වූ අවස්ථාවේ මමත් විපක්ෂනායකතුමා මෙන්ම අග්‍රාමාත්‍යවරයා රැස්වී සාකච්ඡා කළා. එතැනදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් විය යුතු බැවින් පාර්ලිමේන්තුව කැඳවන්න කියා ඉල්ලීමක්. ඒ අනුව අද පාර්ලිමේන්තුව කඳවුවා. අග්‍රාමාත්‍ය තුමා මෙන්ම විපක්ෂනායක තුමා කරුණු පැහැදිලි කළා. ඒ වගේම හෙට උදේ 10.00 සිට හෙට ප.ව. 4.30 දක්වා විවාදයකටත් අවසර දෙනවා." යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ඥාතීන් අහිමිවූවන් ඇතුළු බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් බීබීසී සමග අදහස් දැක්වූහ.

මීගමුවේ දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් සිය ඥාතීන් පස් දෙනෙකු අහිමි වූ සජීව ප්‍රනාන්දු කියා සිටියේ, 35 හැවිරිදි සිය ඥාති සහෝදරයා සහ ඥාති පුතුන් හා දියණියන් දෙදෙනෙක් ප්‍රහාරයෙන් මියගිය බවය.

"මම උපන්නේ මීගමුවේ. මීගමුව හරිම සාමකාමී ප්‍රදේශයක්. මෙහෙම දෙයක් වුනා කියල විශ්වාස කරන්නත් බෑ.," ඔහු පැවසීය.

දේවස්ථානයේ සේවය කරන ඔහුගේ සමීප ඥාතියෙක් ප්‍රහාරයෙන් දරුණු තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Image copyright SAJEEWA FERNANDO
Image caption සජීව ප්‍රනාන්දු

මේ අතර රටේ ජනතාව ආරක්ෂා කිරීමට ආණ්ඩුව අපොහොසත් වූ බවට ක්‍රිස්ටීන් නිර්මලා මෙන්ඩිස් ශ්‍රී ලංකා ආණ්ඩුවට චෝදනා කරයි.

"ප්‍රහාරයක් වේවි කියල ආණ්ඩුව දැනගෙන හිටිය ඒත් ඒක නවත්තන්න ආණ්ඩුව මොනවත් කළේ නෑ," ඇය පැවසීය.

කිසිවෙකුටත් කිසිදු වරදක් නොකළ දරු දැරියන් විශාල පිරිසකගේ ද ජීවිත අහිමිවීම දරාගත් නොහැකි වේදනාවක් බව ද ඇය පැවසීය.

Image copyright CHRISTINE NIRMALA MENDIS
Image caption ක්‍රිස්ටීන් නිර්මලා මෙන්ඩිස්

ආරක්ෂාවට හමුදාවේ පන්දහසක්

රට තුළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන් සමග එක්ව රාජකාරි කිරීමට යුද හමුදා නිලධාරීන් 5,000 ක් යොදවා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය බීබීසී සිංහල සේවයට පැවසීය.‍

අසත්‍ය ප්‍රචාර - සැකකරුවන් අත්අඩංගුවට

Image copyright Getty Images

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් පලවන අතරතුර අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

පානීය ජලයට වස මිශ්‍ර කළ බවට සඳුදා (අප්‍රේල් 22) අසත්‍ය ප්‍රචාර පැතිර වූ බවට සැකපිට කොළඹ 15 පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සැකකටයුතු ලොරි රථයක් සහ වෑන් රියක්

සැකකටයුතු ලොරි රථයක් සහ කුඩා වෑන් රියක් පිළිබඳ තොරතුරු ලැබීමෙන් අනතුරුව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විසින් කොළඹ සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ පොලිස් ස්ථාන දැනුවත් කර ආරක්ෂාව තර කර තිබේ යැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අත්අඩංගුවට පත් පිරිස ඉහළට

ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට පුද්ගලයන් 33 දෙනෙකු අත්අඩංගුවට ගැනේ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම්.

අයිඑස් 'නිවේදනයක්'

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් මියගිය පිරිස 321 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 500 දෙනෙක් පමණ තුවාල ලබා සිටින බව බලධාරීහු පවසති.

මියගිය පුද්ගලයන් අතරින් බොහෝ පිරිසකගේ අවමංගල්‍ය උත්සව පැවැත්වෙන අතරවාරයේ, ඉස්ලාමීය සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගත් බව සඳහන් කරමින් නිවේදනයක් ද නිකුත් වී තිබේ.

"ක්‍රිස්තියානි සහ ශ්‍රී ලංකා පුරවැසියන් ඉලක්ක කරමින් පෙරේදා ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් ISIS සටන්කරුවන්ය," යනුවෙන් අයිඑස් සංවිධානයේ පුවත් ආයතනය වන අමාක් (AMAK) ඒජන්සිය විසින් නිකුත් කරන ලද බව සැලකෙන නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහත දැක්වේ.

ඕනෑම පුද්ගලයෙකුට ඉහත කී ආකාරයේ සටහනක් සහිත ඡායාරූපයක් නිර්මාණය කළ හැකි නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රහාරය අයිඑස් සංවිධානයේ ක්‍රියාවක් ලෙස සැලකිය හැකි බව බීබීසී අරාබි භාෂා සේවයේ මාධ්‍යවේදියෙක් බීබීසී සිංහල සේවය සමග පැවසීය.

අයිඑස් සංවිධානයේ බව සැලකෙන නිවේදනය පිළිබඳ තමන්ට ද දැන ගැනීමට ලැබී ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රකාශකයක් බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිටින බීබීසී වාර්තාකරුවෙකු කියා සිටියේ අයිඑස් සංවිධානයේ ප්‍රකාශය දෙස ප්‍රවේශමෙන් බැලිය යුතු බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර