පාස්කු ඉරිදා ප්‍රහාර වැළැක්වීමට අපොහොසත්වීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට බරපතල චෝදනා

ප්‍රහාරයට ගොදුරු වූවෝ

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මියගිය පිරිස 359 ක් බව බලධාරීහු පවසති.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට 60 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිසිය පවසයි.

එම ප්‍රහාර වැළැක්වීමට සහ රටේ ආරක්ෂාව සහතික කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා සහ ආරක්ෂක කටයුතු භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා වගකිව යුතු බවට බරපතල චෝදනා එල්ලවෙමින් පවතී.

බදාදා (අප්‍රේල් 24) පාර්ලිමේන්තුවේ පැවති හදිසි විවාදය අමතා අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ඒ සම්බන්ධයෙන් සෘජුවම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට චෝදනා එල්ල කළේය.

විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා සහ ජාතික තවුහීද් ජමාත් සංවිධානය අතර පවතින සම්බන්ධය ගැන බරපතල ප්‍රශ්න පවතින බව කියා සිටි මන්ත්‍රීවරයා, එම සම්බන්ධතාව මෙන්ම ජාතික තවුහීද් ජමාත් සංවිධානය සහ වෙනත් දේශපාලන නායකයන් හා හිටපු ආරක්ෂක නිලධාරීන් අතර පැවති සම්බන්ධතා ගැන ද විමර්ශන පැවැත්විය යුතු බව සඳහන් කළේය.

එවකට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ එම් එල් ඒ එම් හිස්බුල්ලා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෑතදී නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත්කරනු ලැබිණ.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ එක් ප්‍රහාරකයෙක් පසුගිය දෙසැම්බර් මාසයේ මාවනැල්ල සහ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලද පුද්ගලයෙකු බව එම ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය කබීර් හෂීම් මාධ්‍ය වෙත පවසා තිබුණි.

එසේ බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අදාළ පුද්ගලයා නිදහස් කරන මෙන් දේශපාලන බලපෑම් එල්ල වූ බවට වාර්තා පළ වී තිබිණ.

ප්‍රහාරය අවස්ථාවේ අමාත්‍ය කබීර් හෂීම් ලබා දුන් නායකත්වය පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අගය කළ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා, ඇතැම් රැඩිකල් මුස්ලිම් කණ්ඩායම් පිළිබඳව මුස්ලිම් ජනතාව මීට වසර කිහිපයකට ඉහතදී ආණ්ඩුවේ රහස් ඔත්තු සේවාවලට දැනුම් දී තිබුණු බවත් පෙන්වා දුන්නේය.

ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකරනු ලැබීමෙන් අනතුරුව උද්ගත වූ දේශපාලන අර්බුදය හමුවේ අගමැතිවරයා යළිත් බලයේ පිහිටුවන ලද නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් "නීති විරෝධී ලෙසින්" පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතට පත්කරන ලද බවට චෝදනා කළ සුමන්දිරන් මන්ත්‍රීවරයා, එබැවින් "වලක්වාගත හැකිව තිබුණු" පාස්කු සිකුරාදා ප්‍රහාර සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු පළමු පුද්ගලයා ජනාධිපතිවරයා බව පෙන්වා දුන්නේය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව, නීතිය හා සාමය අමාත්‍යංශයට යටතට පත්විය යුතු පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පවරා ගනු ලැබීම "ව්‍යවස්ථා විරෝධී" බව තමන් මීට ඉහතදීත් පෙන්වා දුන් බව ද ජනාධිපති නීතිඥ සුමන්දිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මේ අතර රහස් තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාර වලක්වා ගැනීමට අපොහොසත් වීම මගින් ජනාධිපති, අගමැති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සිය මූලික හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් මාධ්‍යවේදී කසුන් පුස්සවෙල විසින් ජාතික මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමුකර තිබේ.

මොහොමඩ් සහරාන් ඇතුළු මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ හැකි යැයි සිතිය හැකි පුද්ගලයන් සය දෙනෙකුගේ නම් සහ ඔවුන්ගෙන් ඇතැමෙක් සැඟවී සිටින ස්ථාන පවා සඳහන් කරමින් රහස් ඔත්තු සේවා විසින් ළඟදීම සිදුවීමට ප්‍රහාරයක් ගැන අනතුරු අඟවා තිබියදීත් ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට අපොහොසත්වීම හේතුවෙන් ඝාතනයට ලක්වූ 300 කට අධික පිරිසගේ ජීවිත ගැන ආරක්ෂාව භාර ප්‍රධානීන් වගකිව යුතු බව අදාළ පෙත්සමේ දැක්වේ.

"රාජ්‍ය ආරක්ෂාව බාරව වගකිව යුතු, මෙරට උත්තරීතර නීතියවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරන බවටත්, එය ආරක්ෂා කරන බවටත් ඒ මත දිවුරා පොරොන්දු වූ ආරක්ෂක අමාත්‍ය, සේනාධි නායක, විධායකයේ හා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී ජනාධිපතිවරයාද, අග්‍රාමාත්‍යවරයාද, කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍යවරුන්ද,ව්‍යවස්ථාදායකයේ සියලුම මන්ත්‍රීවරුන්ද, විශ්‍රාමික ජනාධිපතිවරුන්ද, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාද, පොලිස්පතිවරයාද, මෙම තොරතුරු බාරව සිටින හා වගකිවයුතු ඒ ඒ රාජ්‍ය නිලධාරීන්ද ඝාතනය වූ, තුවාල ලැබූ මෙන්ම පීඩාවට පත්ව සිටින සියලුම පුරවැසියන්ගේත්,මාගේත් පහත සඳහන් මූලික අයිතිවාසිකම් හිතාමතාම, චේතාන්විතව උල්ලංඝනය කර අනතුරේ හෙළා ඇති බව මාගේ දැනුම අනුව විශ්වාස කරමි," යනුවෙන් ද අදාළ පැමිණිල්ලේ සඳහන් වේ.

ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය

මේ අතර අඟහරුවාදා (අප්‍රේල් 23) රාත්‍රියේ ජාතිය අමතා අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ, ප්‍රහාරය සම්බන්ධ රහස් තොරතුරු තමන් වෙත දැනුම් නොදුන් බවය.

"එම රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු එම වගකිවයුතු ප‍්‍රධාන නිලධාරින් විසින් මා වෙත ද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම තොරතුරු ලැබීම පිළිබඳ මා දැනුවත් කළා නම් ඒ පිළිබඳ වහා කි‍්‍රයාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා," ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වුවත් බදාදා (අප්‍රේල් 24) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ජාතික ඔත්තු සේවා ප්‍රධානියා කෙලින්ම වගකියනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යවරයාට බැවින් ඔහු අදාළ වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දෙන බව පෙන්වා දුන්නේය.

අදාළ තොරතුරු ලැබී තිබුණ බව සනාථ කළ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙතරම් බරපතල ප්‍රහාරයක් සිදුවනු ඇතැයි තමන් අපේක්ෂා නොකළ බවය.

ප්‍රහාර සම්බන්ධයෙන් විදේශීය රාජ්‍යයක ඔත්තු සේවාවකින් තොරතුරු ලැබී තිබුණ ද ඒ සම්බන්ධයෙන් තමන් හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මීට ඉහත දී පැවසීය. එමෙන්ම එම රහස් තොරතුරු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු නොකළ බවට චෝදනා කළ අමාත්‍ය රාජිත සේනාරත්න, මාස ගණනාවක් මුළුල්ලේ අගමැතිවරයා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ජාතික ආරක්ෂක කවුන්සිලය වෙත කැඳවා නොතිබුන බව ද සඳහන් කළේය.