ශ්‍රී ලංකාවේ පිපිරීම්: බෝම්බකරුට 'බාධාවක්' වූ රමේෂ්

රමේෂ් රාජු මඩකලපුවේ ජනතාවට වීරයෙකි. නමුත් අද ඔහු ජීවතුන් අතර නැත.

පසුගිය පාස්කු ඉරිදා දේවස්ථානයට එක්ව සිටි විශාල පිරිසකගේ ජීවිත බේරු රමේෂ් එසේ ජනයාගේ ගෞරවයට පාත්‍රව ඇත.

වෘත්තියෙන් ඔහු ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු වූ 40 හැවිරිදි රමේෂ් සුපුරුදු පරිදි තම බිරිඳ සමග ඉරිදා උදෑසන දේවස්ථානයට ගියේ ඉතා සතුටෙනි

ඔහුගේ බිරිඳ ක්‍රිෂාන්තිනිය.

ක්‍රිෂාන්තිනි මඩකලපුවේ සියොන් දේවස්ථානයේ (Zion church) පැවැත්වෙන දහම් පාසලේ ගුරුවරියකි.

එදිනද (අප්‍රේල් 21) සුපුරුදු පරිදි ළමුන්ට ඉගැන්වීම් කළ ඇය දරුවන් කිහිපදෙනෙක් සමග අසළ පිහිටි කඩයකට ගොස් ඇත්තේ සිසිල් බීම පානය කිරීම සඳහාය.

මේ අවස්ථාවේ රමේෂ් සිට ඇත්තේ දේවස්ථාන මිදුලේය. එහිදී ආගන්තුක පුද්ගලයෙක් තරමක් විශාල බෑගයක් ගෙන දේවස්ථානය දෙසට යනු ඔහු දැක ඇත.

එහිදී ඔහු එම පුද්ගලයාගෙන් තොරතුරු විමසු විට එම පුද්ගලයා පවසා ඇත්තේ "තමා දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වන අය වීඩියෝ කිරීමට පැමිණි" බවය.

"ඔහු කිව්වා බෑග් එකේ තියෙන්නේ වීඩියෝ කැමරාව කියලා"

"මගේ ස්වාමිපුරුෂයාට දැනුනා මොකක් හරි අමුත්තක් තියෙනවා කියලා. එවිට ඔහු අර පුද්ගලයට කිව්වා ඉස්සෙල්ලා අවසර ගන්න ඕනෑ කියලා" ක්‍රිෂාන්තිනි පැවසුවාය.

"ඉන් පසු ඔහුට බලකරා එතනින් එළියට යන්න කියලා."

Image copyright Getty Images
Image caption සියොන් දේවස්ථානයේ පිපිරීමෙන් පසු

ඒ අතර ක්‍රිෂාන්තිනි දේවස්ථානය තුළට ගියාය. "ටික වෙලාවකින් විශාල ශබ්දයක් ඇසුණා."

ඒ වන විට දේවස්ථානය තුළ බැතිමතුන් 450 ක් පමණ සිටි බව වාර්තාවේ.

"පිපිරීමත් සමග දේවස්ථානයේ හිටපු මිනිස්සු හිස්ලූ ලූ අත දිව්වා."

පසුව ක්‍රිෂාන්තිනි තම පවුලේ අයත් සමග මඩකලපුවේ රෝහල්වලට ගොස් තුවාල ලැබුවන් අතර රමේෂ් සිටීදැයි සොයා බැලීය.

නමුත් අවසානයේ ඔවුන්ට ඔහුගේ සිරුර හමුවී තිබේ. රෝහල් ආරංචි මාර්ග අනුව රමේෂ් බෝම්බය පිපිරූ අවස්ථාවේම මියගොස් ඇත.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
“රමේෂ් බැතිමතුන් බේරාගත් හැටි"

නමුත් ඔහුගේ විමසිලිමත් බව නිසා බැතිමතුන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත බේරුණු බව ගම්වාසීහු පවසති.

ක්‍රිෂාන්තිනි 40 හැවිරිදිය. අද ඇයට දෙමව්පියන්ද අහිමිය. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ ගැටුම් පැවති සමයේදී මිය ගොසිනි.

ඉන්පසු ඇය හැදී වැඩී ඇත්තේ ළමා නිවාසයකය.

අද ඇය සහ දරුවන් දෙදෙනා වන 14 හැවිරිදි රුක්ෂිකා ට සහ 12 හැවිරිදි නිරුබන්ට ඔවුන්ගේ පවුලේ මුල් පුරුක අහිමිය.

කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර