ශ්‍රී ලංකාවේ පිපිරීම්: පාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරු වූ දරුවන්

Image copyright Getty Images

(බීබීසී පුවත් සේවයේ අයේෂා පෙරේරා සකස් කළ වාර්තාවක සිංහල පරිවර්තනයකි.)

පාස්කු ඉරිදා දිනයේ දී සිදුවූ ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාරවලින් කුඩා දරුවන් රැසක් ජීවිතක්ෂයට පත් වූහ. සිය දේවස්ථානයේ පැවැත්වෙන වඩාත් ම වැදගත් දේව මෙහෙයකට සහභාගි වීම සඳහා තමන්ට ඇති හොඳ ම ඇඳුමින් සැරසී එසේ පැමිණියේ දශකයක කාලයක් පුරා ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක හැදී වැඩුණු දරුවන්ය.

ඔවුන්ගේ කතා මෙම ප්‍රහාරයේ තරම වටහා ගැනීමට මග විවර කරනු ඇත.

සුරතල් දැරියක වූ ස්නේහා සවින්ද්‍රි ප්‍රනාන්දු පාස්කු ඉරිදා දේව මෙහෙයට සහභාගි වීම සඳහා මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානය වෙත ගොස් තිබිණි. ඇය සති කිහිපයක් පුරා සතුටින් සැලසුම් කරමින් සිට ඇත්තේ, සිය 13 වන උපන් දිනය සැමරීම ගැනය. එහෙත්, ඒ දිනය සැමරීමට ඇයට අවස්ථාවක් හිමි නොවිණි.

Image copyright FAMILY HANDOUT TO BBC
Image caption ස්නේහා තවත් සති කිහිපයකින් සිය 13 වන උපන් දිනය සැමරීමට සැලසුම් කරමින් සිටියාය.

"එයා පුංචි කිරිල්ලියක් වගේ හිටියේ. එයා නැටුම්වලට ගොඩක් කැමැත්තෙන් හිටියා. ඕන දේකට එයා නැටුවා. කවුරු හරි එයාට නටලා පෙන්නන්න කිව්වොත්, එයා සාරියක් හරි දිග සායක් හරි ඇඳගෙන නටලා පෙන්නනවා," ස්නේහාගේ මව වන නිරාශා ප්‍රනාන්දු පැවසීය. ස්නේහා, ඇගේ මව, ඔවුන්ගේ අසල්වාසීන් වන ගයානි සහ ටිරෝන් දේවස්ථානය වෙත ගියේ ටිරෝන්ගේ ත්‍රිරෝද රථයෙනි.

එහෙත්, යළි පැමිණියේ, ස්නේහාගේ මව වන නිරාශා පමණි.

කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ ළමුන් රැසක් අතර ස්නේහා ද වූවාය. දේවස්ථාන සහ හෝටල්වලට එල්ල වූ සෙසු මරාගෙන මැරෙන ප්‍රහාරවල ද තත්ත්වය එසේ ම විය.

ප්‍රහාර එල්ල වූ දේවස්ථාන වෙත ළඟා වූ සැණින් ඒවායෙහි රැඳී සිටි පුද්ගලයින් මා සමග පළමුවෙන් ම පැවසූ කරුණ වූයේ, ජීවිතක්ෂයට පත්වූවන් අතර කුඩා ළමුන් විශාල පිරිසක් වන බවය.

ප්‍රධාන ආගමික උත්සවයක් වෙනුවෙන් පැවති උදෑසන දේව මෙහෙය මෙන්ම ශ්‍රී ලාංකීය වූ උදෑසන ආහාරය වෙනුවෙන් පවුල් එක්රැස් වන හෝටල්, බෝම්බකරුවන්ගේ ඉලක්කය වීමෙන් මේ කුඩා දරුවෝ ද එම ඉලක්කයට ගොදුරු වූහ.

ස්නේහාගේ මව, නිරාශා ඇයගේ දියණියගේ ඡායාරූපය දෙස වේදනාවෙන් බලා සිටී. බෝම්බයක කැබැල්ලක් ඇයගේ උඩු තොල මත ඇති කළ කැළල, ඇයට අහිමි වූවන් සදා මතකයට නගන ස්ථිර ශරීර සලකුණක් වනු ඇත.

"අපි එයාට ගෙදරට කිව්වේ දෝණි කියලා. එයා මගේ පළවෙනි දරුවා. මම එයාව උකුළේ තියාගෙන නිදි කළා. මගේ අත්වලින් වඩාගෙන හැදුවා. මම එයාව හැදුවේ වැඩුවේ ගොඩක් ආදරයෙන්. ඒත් දැන් එයා මාව දාලා ගිහින්."

බෝම්බය පුපුරන අවස්ථාවේ ඔවුන් දේවස්ථානයේ තුන් වන බංකු පේළියේ අසුන්ගෙන සිට ඇත. සනේහාගේ සිරුරට බෝම්බ ප්‍රහාරයෙන් දැඩි හානි සිදුව තිබූ අතර, ඇයගේ මෘත දේහය නිවසට රැගෙන එන ලද්දේ මුද්‍රා තැබූ පෙට්ටියකය.

"මට මගේ දුවගේ මූණ දැකගන්නවත් බැරි වුණා," නිරාශා හිස් බැල්මකින් පැවසීය.

Image caption බෝම්බයක කැබැල්ලක් ඇයගේ උඩු තොල මත ඇති කළ කැළල, ඇයට අහිමි වූවන් සදා මතකයට නගන ස්ථිර ශරීර සලකුණක් වනු ඇත.

මීගමුවේ තවත් නිවසක දරාගත නොහැකි දර්ශනයක් දැකගත හැකි විය. එකිනෙකට සමීපව මෘත දේහ හතරක් තබා තිබිණි. ඉන් මෘත දේහ තුනක් දරුවන්ගේය. රෂිනි ප්‍රවීෂා (අවු: 14), ෂැලෝමි හිමායා (අවු: 09) සහ ෂැලෝම් ෂතිස්ක (අවු: 07) එම දරුවන්ය.

ඔවුන්ගේ ඥාතීන් වැළ නොකැඩී නිවසට පිවිසෙන්නේ, ඇදහිය නොහැකි මේ සත්‍යය තහවුරු කර ගැනීමට මෙනි.

එහි පැමිණි වැඩිමහල් කාන්තාවක හිටි හැටියේ වේදනාවෙන් කෑගැසුවේ, අවසිහියෙන් මෙනි. "ෂැලෝම්! ෂැලෝම්! අපේ පොඩි ම පුතා, අපේ පුතා," ඇය කෑගසයි. ඇය එම පුතණුවන්ගේ මෘත දේහය තැන්පත් කර තිබූ පෙට්ටිය මතට වැටී සිටී. "හැම තිස්සේ ම ඔයා දඟ වැඩ කළා. නැගිටින්න මගේ පුතේ, අනේ නැගිටින්න!"

ඇය කෑගසද්දී ම ඥාතීන් කිහිප දෙනෙක් පැමිණ ඇය වත්තම් කරගෙන ගියහ.

ශ්‍රී ලංකාවේ තවත් පැත්තක පිහිටි මඩකලපුවේ තත්ත්වය ද එසේ මය. මීගමුවේ මෙන් මඩකලපුවේ ද මිය ගිය අය ස්මරණය කරමින් ලෙල දෙන කොඩි සහ පුවරුවලින් පිරී තිබේ. එහි ද දරුවන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබිණි.

'එයා වතුර බොන්න ගියා'

එම පුවරු අතර 13 හැවිරිදි ජෝන් ජේසුරන් ජයරත්නම් නමැති දරුවා වෙනුවෙන් සැකසූ පුවරුවෙහි, ඔහු රතු පැහැති කමිසයකින් සැරසී සිටියේය. ඔහු ඉරිදා දහම් පාසල නිම කර දේවස්ථානයේ රැඳී සිට ඇත. ඔහුගේ මව බීබීසී පුවත් සේවයට පැවසුවේ, පාස්කු දේව මෙහෙයට සහභාගි වීම සඳහා සියොන් දේවස්ථානයට පිවිසීමට සිය දරුවා සමග එහි රැඳී සිටි බවය.

ඇගේ දරුවා ඇයගේ අවසරය පිට පිපාසයට ජලය පානය කිරීම සඳහා ගොස් තිබිණි. ඇය සිය දරුවා දුටු අවසන් මොහොත එය විය.

ජෝන්ගේ නිවසින් පිටත බිත්තියකට සවි කර ඇති පැසිපන්දු වළල්ලක් සුළඟට පැද්දෙමින් තිබේ.

Image caption 13 හැවිරිදි ජෝන් ජේසුරන් ජයරත්නම් නමැති දරුවා වෙනුවෙන් සැකසූ පුවරුවෙහි ඔහු රතු පැහැති කමිසයකින් සැරසී සිටියේය.

"පුතා බාස්කට්බෝල්වලට ගොඩක් කැමැත්තෙන් හිටියා. එයා මෙතන ඉඳගෙන සෙල්ලම් කරන හැටි බලාගෙන ඉන්න මම පුරුදු වෙලා හිටියා," ඔහුගේ මව සාලයේ ජනේලයෙන් පිටත බලාගෙන පැවසීය. ඇගේ දරුවන් තිදෙනාගෙන් බාලයා වූ ජෝන් දේව මෙහෙයන්වලට නිරන්තරයෙන් සහභාගි වූ දරුවෙකි.

මෙම ප්‍රහාරයේ විශේෂ කරුණක් වූයේ, ශ්‍රී ලාංකිකයින්ට දරුවන් විශාල පිරිසක් අහිමි වීමයි. මේ වන විට කතාබහට ලක්වන්නේ බෝම්බකරුවන්ට වඩා කුඩා දරුවන් ගැනය. ප්‍රහාර එල්ල වීමෙන් දින කිහිපයක් ගත වෙද්දී දරුවන් සම්බන්ධයෙන් සිදු කෙරුණු වැඩසටහන් පිළිබඳව වට්ස්ඇප් සහ ෆේස්බුක් ඔස්සේ හුවමාරු වීම ආරම්භ විය.

ඒවායෙහි, ජීවිතක්ෂයට පත්වූ දරුවන් පිළිබඳ කතා අන්තර්ගත විය. ඒවාහි සඳහන් වූයේ, බෝම්බ පිපිරීම් සිදු වන අවස්ථාවේ දරුවන් ඉදිරියට ගෙන ආශීර්වාද කරමින් සිට ඇති බවය. නැතහොත් ගීතිකා කණ්ඩායම දේව ගෘහය ඉදිරියේ රැස්ව සිටි අවස්ථාවේ බෝම්බ පුපුරා ගිය බවය.

මේ තොරතුරු තහවුරු කිරීම දුෂ්කරය. එහෙත්, ඇතැම් කතාවලට යම් පදනමක් ඇති බව පෙනේ.

මීගමුව ප්‍රහාරයෙන් දිවි බේරා ගත් පුද්ගලයෙකු මා සමග පැවසුවේ, කාන්තාවන් සහ දරුවන් වැඩි වශයෙන් මිය යාමට හේතුව ඔවුන් දේවස්ථානය තුළ අසුන්ගෙන සිටි නිසා බවය. දේවස්ථානය තුළ විදුලි පංකා ඇති හෙයින් පිටතට වඩා ඇතුළත යම් සිසිල්බවක් තිබුණ නිසා පිරිමි පුද්ගලයින් පිටත අසුන්ගෙන සිට ඇත.

කෙසේ වෙතත්, දරුවන් පිළිබඳ කතා ව්‍යාප්ත වීම තවදුරටත් සිදු වෙයි.

පළමු 'අහිංසක' පරම්පරාව

උපදේශන මානෝ චිකිත්සක නිවේන්ද්‍ර උඩුමාන් පවසන්නේ, දරුවන් පිළිබඳ කතා විවිධ හේතු මත ගොඩ නැගෙන බවය. අර්බුදයක් පවතින අවස්ථාවක යම් සහනයක් ළඟා කර ගැනීමට එය ප්‍රයෝජනවත් බව ඔහු පවසයි.

හේතුව කුමක් වුව ද, ඒවා මහජන අවධානය යොමු වුණු අහිංසකත්වයේ සංකේත විය.

Image copyright Reuters

මෙම දරුවන් ශ්‍රී ලංකාවේ පළමු "අහිංසක" පරම්පරාව නියෝජනය කළ අය වූහ. යුද්ධය, බෙදීම් සහ කෲරත්වය ඔවුන්ගේ දෛනික ජීවිතයට බද්ධ වී නොතිබිණි.

රජයේ හමුදා සහ බෙදුම්වාදීන් අතර වසර 30ක් පුරා පැවති සිවිල් යුද්ධය නිමවී 10 වන වසර සැමරීමට තිබුණේ, තවත් සති කිහිපයකි.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන පවසන්නේ, පසුගිය දා එල්ල වූ බෝම්බ ප්‍රහාරය අතීතය අමිහිරි මතක ආවර්ජනයක් බවය.

"මේ ඔක්කොම දරුවන්. ඔවුන්ට ජාතියක් හෝ ආගමක් නැහැ. අපි අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නා, ඒ වගේ ම සුනාමිය. අපි ගොඩක් අමිහිරි දේවල්වලට මුහුණ දුන්නා. අපි හැම අවස්ථාවක ම ඉවසීමෙන් අපේ රෝගීන් වෙනුවෙන් හැකි උපරිමය කළා. අපිට කරන්න පුළුවන් එපමණයි."

රෝහල් වාට්ටු තුළ තත්ත්වය ද එලෙස ම සංවේදී වේ.

"මට මේවා හුරුයි. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජීවිත අහිමි වන මිනිස්සු ගැන අපි මාධ්‍යවලින් දැකල තියෙනවා. ඒත් මම මේක මගේ දරුවාට පැහැදිලි කරන්නේ කොහොම ද? එයා මේවා දරා ගන්නේ කොහොම ද?," සිය දරුවා රෝහල් ඇඳක තබාගෙන බලා සිටින වසන්තා ප්‍රනාන්දු මගෙන් ඇසීය.

Image caption 7 හැවිරිදි අකලංක මීගමුව ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවෙකි

7 හැවිරිදි අකලංක මීගමුව ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවෙකි. යකඩ බෝලයක් ඔහුගේ පාදය පසාරු කරගෙන ගොස් මාංශ පේශීවල සිර වී තිබේ. එහෙත්, තමන් රෝහල තුළ ප්‍රතිකාර ලබන්නේ, ඇයි ද යන්න පිළිබඳව එම දරුවාට පැහැදිලි අදහසක් නැත.

"අපි බෝම්බය කියන වචනය කියනව එයාට ඇහිලා තියෙනවා. එයා අහනවා ඒ වචනේ තේරුම මොකක් ද කියලා. මම කිව්වා ඒක රතිඤ්ඤා වගේ ගොඩක් සද්දය ඇහෙන දෙයක් කියලා. එයා දන්නේ නෑ, ඒකෙන් මිනිස්සුන්ට තුවාල වෙන බව හෝ මැරෙන බව. ඒත් මට මොනවා හරි කියන්න වෙනවා. මොකද, එයාගේ යාළුවෝ ගොඩක් දෙනෙක් ඒ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගියා," වසන්තා ප්‍රනාන්දු පවසයි.

කට කතා නිසා දරුවන්ට බිය

මෙවැනි ප්‍රහාරයන්ගේ කෲරත්වයට මුහුණ පෑ ජනතාවක් මුහුණ දෙන දෙවන බරපතළ අභියෝගය මෙය වේ. ඔවුන් සිය දරුවන්ට මෙය පැහැදිලි කර දෙන්නේ කෙසේ ද?

මඩකලපුව රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගදම්බනාදන්, ප්‍රහාරය එල්ල වී සුළු මොහොතකට පසු, තුවාල ලැබූ දරුවන් බැලීමට ගොස් තිබිණි.

ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් හදිසි අභියෝග රැසක් හඳුනාගනු ලැබ තිබිණි. කලබලයට පත්ව සිටීම, නිදා ගැනීමට දුෂ්කර වීම, තුවාල නිසා මුහුණේ ඇති වූ කැළැල් පිළිබඳව කනගාටු වීම, දරුවන් අහිමි වීම නිසා දුකෙන් තැවෙමින් සිටින දෙමාපියන්ගේ සෙසු දරුවන් හුදෙකලා වීම එවැනි අභියෝග කිහිපයකි.

Image copyright Getty Images

මෙවැනි සිද්ධිවලදී එය දරුවන්ට පහදා දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශන මාලාවක් යුනිසෙෆ් ඇතුළු ආයතන රැසක් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. මේ සම්බන්ධයෙන් දෙමාපියන්, රෝහල් සේවකයින් මෙන් ම ගුරුවරුන් ද දැනුවත් කර තිබේ.

දරුවන් යළි පාසල් පැමිණි පසු ඔවුන්ට සහය වීමට ගුරුවරුන්ට අවස්ථාවක් සැලසෙන බව විශේෂඥයෝ පවසති. කොළඹ පිහිටි පාසලක අවුරුදු 7 සහ 12 අතර දරුවන්ට ඉගැන්වීමේ කටයුතුවල නිරත ගුරුවරියක වන දයානි සමරකෝන් සිය දරුවන් යළි පාසල් පැමිණි පසු ඔවුන්ට සහය වන ආකාරය සැලසුම් කරමින් සිටී.

"ගොඩක් කුඩා දරුවන් දන්නේ නෑ මොකක් වුණා ද කියලා. මම ඔවුන්ගෙන් අහනවා, මොනවා ද වුණේ කියලා. සමහර අය ඇත්ත සිද්ධිය කියයි. සමහර අය තමන්ට ඇසුණ දේවල් කියයි. ඒත් වැදගත් ම දේ තමයි ඔවුන්ගේ බියට ඇහුම්කන් දෙන එක," ඇය පැවසුවාය.

'එක් කෙනෙකුටවත් ඉන්න බැරි වුණේ ඇයි?'

මේ අතර, අහිමි වීම් සහ අවමංග්‍ය උත්සව තවමත් සිදු වෙමින් පවතී.

මීගමුව දෙසට යළි හැරෙමු. කාන්තාවක් වේදනාවෙන් සිය පපු ප්‍රදේශයට දෑතින් ගසා ගනිමින් කෑගසයි. ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ ප්‍රහාරයෙන් ඇයට සිය සැමියා පමණක් නොව දරුවන් සියලු දෙනා ද අහිමි වී තිබේ. ඇයගේ දියණිය සචිනි අප්පුහාමි 21 හැවිරිදි වූ අතර, පුත්‍රයා වූ විමුක්ති 14 හැවිරිදි වියේ පසු විය.

Image copyright FAMILY HANDOUT/BBC
Image caption සචිනි සහ විමුක්ති කුඩා කාලයේ ගත් ඡායාරූපයක්

ඇයගේ ස්වාමියාගේ සොහොයුරා වන ජූඩ් ප්‍රසාද් පැවසුවේ, එම දරුවන් ඉගෙනීමෙහි දක්ෂතා දක්වමින් සිටි බවය.

"ඒ දරුවන්ව ක්‍රීඩාවලට යොමු කරන්න ගොඩක් උත්සහ කළා. ඒත් ඒගොල්ලෝ කැමැත්තක් දැක්වූවේ පොත්වලට," ඔහු පැවසීය. කෙසේ වෙතත්, විමුක්ති සංගීතය දැඩි ඇල්මක් දැක්වූ බව ඔහු සඳහන් කළේය.

"5 වසර ශිෂ්‍යත්ව විභාගය පාස් වුණාට පස්සේ එයා තාත්තාගෙන් ඉල්ලුවා මෙන්න මේක," ඔහු ඩ්‍රම්ස් වාදන කට්ටලයක් පෙන්වමින් පැවසීය.

"මගේ සහෝදරයයි මමයි වෙන්නප්පුවට ගියා ඒක ගේන්න. එයා ඒකට ගොඩක් කැමති වුණා."

ඒ මොහොතේ, නිවස තුළට පිවිසි තවත් ඥාති කාන්තාවක් බිත්තියේ සවි කර තිබූ ඔවුන්ගේ පවුලේ ඡායාරූපයක් වෙත ඇවිද ගියාය.

ඇය එම දරුවන් කුඩා කල ගන්නා ලද ඡායාරූපයක එම දරුවන්ගේ මුහුණු අත ගාමින් සිටියාය. "ඔයාලාගේ අම්මා වෙනුවෙන් එක් කෙනෙකුට හරි ජීවත් වෙන්න බැරි වුණේ ඇයි පුතේ? ඇයි එක් කෙනෙක්වත් හිටියේ නැත්තේ?," ඇය කෑගසා හඬන්නට වූවාය.

(මඩකලපුවේ සිට වැඩි විස්තර ලබා දෙන ලද්දේ බීබීසීයේ රාජිනි වෛද්‍යනාදන් විසිනි.)