ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය බාධා: "සතියක් සියල්ලම අඩාල වුණා"

Image copyright Getty Images

"කිසිම තොරතුරක් ලැබුනේ නැහැ. දැන් නම් ලොකු දෙයක් මේක සක්‍රිය කරපු එක" මේ, සිය නම හෙළිකිරීමට අකමැති වූ දෙහිවල ප්‍රදේශයේ වෙසෙන 60 හැවිරිදි කාන්තාවක් සමාජ මාධ්‍ය අවහිරය ඉවත් කිරීම ගැන බීබීසී සිංහල සේවයට පළකළ අදහසක්.

"පිටරටට කෝල් එකක්වත් ගන්න බැරුව හිටියේ. මේක අයින් කළ එක ලොකු දෙයක්" මහරගම පදිංචි නෙලුම් ද සිල්වාගේ අදහසයි ඒ.

මෙතෙක් සමාජ මාධ්‍ය සඳහා ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ බාධක ඉවත් කරීමට අද (අප්‍රේල් 30) පියවර ගැනීමත් සමග ෆේස්බුක් ඔස්සේ ප්‍රතිචාර පළවන්නට විය.

Image copyright FACEBOOK
Image copyright FACEBOOK
Image copyright FACEBOOK
Image copyright FACEBOOK

පාස්කු ඉරිදා දිනයේ ( අප්‍රේල් 21) දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයත් සමග දිවයින් පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගෙද්දී, සමාජ මාධ්‍ය සීමා කිරීමට ද පියවරගත් රජය සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම වැලැක්වීම උදෙසා එම තීරණය ගත් බව සඳහන් කළේය.

එහෙත්, මෙවර ද එම තීරණය ඇතැමුන්ගේ ප්‍රසාදයට හේතු නොවිණි.

ඒ පිළිබඳ සිය ෆේස්බුක් සටහන් තැබූ ඇතැමුන් ඒ සඳහා විකල්ප මාර්ග ඔස්සේ සිය ෆේස්බුක් ගිණුම් තුළට පිවිසිය හැකි VPN ක්‍රමවේදය උපයෝගී කරගත් බව ඔවුන්ගේ එම සටහන්වලින්ම පෙනෙන්නට විය.

Image copyright Facebook
Image copyright Facebook

සතියකට අධික කාලයක් පැවති සමාජ මාධ්‍ය අවහිරය ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ඉවත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (අප්‍රේල් 30) නිවේදනය කළේ රට තුළ පවතින තත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරමිනි.

Image copyright DEPARTMENT OF GOVERNMENT INFORMATION

සමාජ මාධ්‍ය භාවිතයට පැනවුණු බාධක අද අප්‍රේල් ( 30) මෙම සිමා ඉවත් කිරීමට රජය කටයුතු කිරීමත් සමග විවිධ ෆේස්බුක් සටහන් පළවෙන්නට පටන් ගත්තේය.

Facebook, Whatsapp, Viber වැනි සමාජ මාධ්‍ය සිය ව්‍යාපාර සඳහා සහය කර ගන්නා පිරිස් මෙන්ම ඒවා සිය සන්නිවේදන මෙවලම් ලෙස භාවිත කරන බොහෝදෙනා වෙති.

පැවති බාධකය මේ කටයුතුවලදී තමන් බොහෝ අසීරුතාවලට ලක්කළ බව ඔවුහු බීබීසී සිංහල සේවය සමග පැවසූහ.

"බලන්න කෝල් එකක් වත් ගන්න බැරිව හිටියේ. මේ Whatsapp Groups ඔක්කොම නවත්තල තිබ්බේ. කිසිම තොරතුරක් ලැබුණේ නෑ. දැන් නම් ලොකු දෙයක් මේක නැවත සක්‍රිය කරපු එක," දෙහිවල ප්‍රදේශයේ සිට බීබීසී සිංහල සේවයට අදහස් පළකළ සිය නම හෙළි කිරීමට අකමැති වූ කාන්තාව වැඩි දුරටත් පැවසුවාය.

"මගේ සහෝදරයෝ දෙන්නෙක් ඉන්නේ පිටරට. එයාලගේ ව්‍යාපාර බලාගන්නේ මම. නිතර නිතර එයාලව සම්බන්ධ කරගන්නේ WHATSAPP, VIBER ඔස්සේ ඇත්තටම එක හරිම පහසුවක් අපිට. මොකද ලංකාවෙන් ඇමතුම් ගන්න ගියානම් විශාල මුදලක් වැය වෙනවා. ඉතින් මේ දේ නිසා අපි සෑහෙන්න අපහසුතාවට පත් වුණා. මේක අයින් කල එක ලොකු දෙයක්" මහරගම පදිංචි නෙලුම් සිල්වා, පැවති බාධකය ඉවත් කිරීමෙන් ලද සහනය එසේ වැඩිදුරටත් පැහැදිලි කළාය.

ඩිජිටල් වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක හිමිකරුවකු වන චමිල ප්‍රසාද් සඳහන් කළේගෙවුණු සතියක කාලයක් තුළ තම ආයතනය රුපියල් මිලියනයක පමණ පාඩුවක් ලැබූ බවය.

"සතියක් සියල්ල අඩාළ වුණා. අපි යැපෙන්නේ ඩිජිටල් මාකට් එකත් එක්ක. ඉතින් මෙහෙම වුණාම කරගන්න දෙයක් නැතිවෙනවා. මොකද සියලු සමාජ මාධ්‍ය වේදිකා අවහිර වූ තැන ගනුදෙනුකරුවෝ අපි ළඟට එන්නේ නෑ," ඔහු පැවසීය

මේ අතර කිසිදු ආකාරයකින් ජාතිවාදය අවුස්සන සුළු හෝ ජාතින් , ආගම් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයේ හෝ අසමගිතාවක් ගොඩනැගෙන ආකාරයේ හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පොළොඹවන ආකාරයේ ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන හෝ ප්‍රකාශයට පත්කරන පුද්ගලයින්, කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් දැනට පවතින හදිසි නීති රෙගුලාසි යටතේ තරාතිරම නොබලා නිතිය තදින් ක්‍රියාත්මක කරන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු දින කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කර තිබිණි.

Image copyright DEPARTMENT OF GOVERNMENT INFORMATION

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ, ඒ සඳහා කුමන ආකාරයේ මාධ්‍යක් භාවිත කරන පුද්ගලයින් , කණ්ඩායම් හෝ සංවිධාන වලට එරෙහිව මෙන්ම ආරක්ෂක අංශ නොමග යවනසුළු ප්‍රකාශ නිකුත් කරන හෝ ක්‍රියා සිදුකරන පුද්ගලයින්, කණ්ඩායම් මෙන්ම සංවිධාන වලට එරෙහිව හදිසි නීති රෙගුලාසි යටතේ නීති ක්‍රියාත්මක කරන බවය.

මිට පෙර සමාජ මාධ්‍ය සිමා කෙරුණු හැටි

මහනුවර ප්‍රදේශයේ වාර්තාවූ සිදුවීම් මුල් කරගනිමින් මේ ආකාරයෙන්ම සමාජ මාධ්‍ය සිමා කිරීමට වත්මන් රජය ප්‍රථම වරට පියවර ගනු ලැබුවේ 2018 වසරේ මාර්තු මස 07 වැනිදාය.

එවර ද ආණ්ඩුව පැවසුවේ පැවැතුනු නොසන්සුන් තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ජාල හරහා වෛරී ප්‍රකාශන මෙන්ම ප්‍රචණ්ඩත්වයට රුකුල් දෙන තොරතුරු හුවමාරු වීම මත එවැනි පියවරකට යොමුවූ බවකි.

එවැනි ප්‍රකාශන පළකිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර පසුව එම සමාගමේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා සමග ද සාකච්ඡාවක නිරත වූහ.

මුලින් එම තහනම පැය 72ක කාලයකින් ඉවත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ වුව ද එය ඊට වඩා කල් ඉකුත්ව යද්දී ඒ සම්බන්ධයෙන් විදෙස් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ද ප්‍රසාදයක් පළ නොවූ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ද විරෝධය මතුවන්නට විය.

කෙසේ වෙතත් අනතුරුව 2018 වසරේ මාර්තු මස 15 වනදා එම අවහිර කිරීම් ඉවත් කිරීමට රජය පියවර ගත්තේය.

කියවන්න:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර