ශ්‍රී ලංකාවේ ප්‍රහාර නිසා ළමා මනසට "බලපෑම්"

Image copyright Getty Images

"දැන් දරුවන්ගේ සෙල්ලම් වෙන දා කරන සෙල්ලම්වලට වඩා වෙනස් වෙලා. මැරිලා වැටෙන විදිහට ඇදගෙන වැටෙනවා වගේ දේවල් තමයි දැන් කරන්නේ."

"ඉස්කෝලේ යන එක ගැන දරුවෝ පොඩි බයකින් ඉන්නේ. තාත්තේ කොහොම වෙයි ද?, බෝම්බයක් බැඳගෙන එක පාර කඩාගෙන දුවගෙන එයි ද? කියන වගේ බියක් දරුවන් තුළ ඇති වී තිබෙනවා."

ඉහත දැක්වෙන්නේ, පාස්කු ඉරිදා එල්ල කළ බෝම්බ ප්‍රහාරත් සමග සිය දරුවන්ගේ හැසිරීම් රටාව සහ ඔවුන් ඊට ප්‍රතිචාර දැක් වූ ආකාරය පිළිබඳ බස්නාහිර පළාතේ දෙදරු මවක සහ නැගෙනහිර පළාතේ දෙදරු පියෙකු පළ කළ අදහස්ය.

"මොකක් ද ටීචර් අයිඑස් කියන්නේ? ඇයි ඒ අය මරාගෙන මැරෙන්නේ?" යනුවෙන් සිය සිසු සිසුවියන් තමාගෙන් විමසන බව ඔවුන්ගේ හැසිරීම් රටාව පිළිබඳ අදහස් දක්වමින් ප්‍රථමික අංශ ගුරුවරියක් කියා සිටියාය.

මේ අතර මිශ්‍ර පාසල් තුළ ඉගෙනුම ලබන මුස්ලිම් දරුවන් නොසලකා හැරීම්වලට (Discrimination) ලක් වීමේ හෝ ඔවුන් දෙස වපර ඇසින් බැලීමේ අවදානමක් ද පවතී.

තිස් වසරක අතීතය

අසූව දශකයේ සහ අනූව දශකයේ මුල් භාගයේ උපත ලද ශ්‍රී ලාංකික දරු පරපුර තිස් වසරකට ආසන්න කාලයක් පැවති යුද්ධයේ රුදුරු බව සියැසින් දුටුවහ.

ඔවුන්ගෙන් අතිබහුතරය ගතින් නොව සිතින් තුවාල ලද්දෝය. උතුරේත් දකුණේත් තරුණ පරපුර උස්මහත් වූයේ එකිනෙකා කෙරෙහි වූ බිය සැක මතිනි.

2009 වසරේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නමුත් ඉන් ඇති වූ මානසික තුවාල සම්පූර්ණයෙන් සුව වී ඇත්දැයි සැක සහිතය.

යුද නිමාවෙන් දස වසරකට පසු

යුද්ධය අවසන් වී දස වසරක් ගත වීමටත් මත්තෙන් ශ්‍රී ලාංකික දරු පරපුරට යළි මුහුණ දීමට සිදුව ඇත්තේ, ප්‍රචණ්ඩත්වය සහ එකිනෙකා කෙරෙහි වූ බිය සහ සැක මුසු සමාජයකටය.

Image copyright Getty Images

පාස්කු ඉරිදා ප්‍රහාරවලට ගොදුරු නොවුව ද ඔවුන් යළි සමාජ ජාල සහ රූපවාහිනිය ඔස්සේ දුටුවේ මළ සිරුරු ය, ප්‍රහාරකයන්ගේ සීසීටීවී දර්ශන ය, ප්‍රහාරකයන් සිය දිවි හානි කර ගැනීමට පෙර පටිගත කරන ලද දසුන් ය. තවදුරටත් මාධ්‍ය ඔස්සේ දකින්නට ඇත්තේ දිනෙන් දින සොයා ගනු ලබන අවි ආයුධ ය. ඒ ඒ ප්‍රජාවන් සම්බන්ධයෙන් කරනු ලබන කෝපකාරී විවේචනයන් ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මරණයට පත් දරුවන් සංඛ්‍යාව හතළිහකට අධික බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

ප්‍රහාරවලට හසුව දිවි රැකුණු ළමුන් ගතින් සුව වුවත් ඔවුන්ගේ සිත් සුවපත් වීමට තවත් බොහෝ කලක් ගත වනු ඇත. දෙමව්පියන් ඇතුළු සිය ආදරණීයයන් අහිමි වූ දරුවෝ ද සිතින් තුවාල ලද්දෝය.

එමෙන් ම මරණයට පත් ප්‍රහාරකයන්ගේ මෙන් ම ඊට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට පත් පුද්ගලයන්ගේ දරුවෝ ද ඉන් පීඩාවට ලක් වූවෝය.

සයින්දමර්දු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ කළ වැටලීමක් අතරතුර ප්‍රහාරකයන් පිරිසක් බෝම්බයක් පුපුරවා ගනිමින් ජීවිතක්ෂයට පත් වූයේ, සිය දරුවන් ද සමගිනි.

එහිදී දිවි ආරක්ෂා වූ දැරිය සහ දේවස්ථාන සහ සංචාරක හෝටල් වෙත එල්ල වූ ප්‍රහාර සියැසින් දුටු දරුවන්ගේත් ඉරණම් කෙසේ විසඳෙනු ඇති ද? මොවුන් සියලු දෙනා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සෘජු ලෙස බලපෑමට ලක් වූවන් වෙති.

වක්‍ර බලපෑම

මේ අතර ඉහත කී ප්‍රහාර මාලාව සහ ඒ හා සම්බන්ධ පෙළ ගැසීම් හමුවේ සෘජු ලෙස බලපෑමට ලක් වන පිරිසට සාපේක්ෂව වක්‍රාකාරයෙන් බලපෑමට ලක් වන දරුවන් සංඛ්‍යාව වැඩි බව ළමා සහ නව යොවුන් විය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන පෙන්වා දෙයි.

රටේ මතුව ඇති වත්මන් තත්ත්වය හමුවේ දරුවන්ට අසහනකාරී සිතුවිලි, මානසික ආතතිය සහ බිය, කනස්සල්ල වැනි තත්ත්වයන් ඇති විය හැකි බව ඇය කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"එම තත්ත්වය දිගට ම පැවතුණොත් මානසික ගැටලුවක් එහෙම නැතිනම් පශ්චාත් ක්ලමතය (Post-traumatic stress disorder), විෂාදය (Depression), කනස්සල්ල වැනි තත්ත්වයන් ඇති වීමට බලපා හැකියි," යනුවෙන් විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

එවැනි මානසික ගැටලුවක් ඇති නොවුණ ද ඉන් දරුවන්ගේ වර්ධනයට යම් බලපෑමක් සිදු විය හැකි බව විශේෂඥ මතය වේ.

"විශේෂයෙන් යාළු මිත්‍ර සම්බන්ධකම්වලදී, දරුවන් සමාජයත් පරිසරයත් සමග ගනුදෙනු කරන ආකාරයේ වෙනස්කම් ඒ තුළින් ඇති විය හැකියි."

Image copyright Getty Images

ළමා සහ නව යෞවන විය පිළිබඳ මනෝ විශේෂඥ වෛද්‍ය අපේක්ෂා හේවාගීගන පවසන පරිදි එවැනි තත්ත්වයකට මුහුණ පෑ දරුවෙකු තුළ දැකිය හැකි ලක්ෂණ:

  • නින්ද සහ කෑම රුචියට සිදුවන බලපෑම (නින්දෙන් බියට පත්වීම)
  • සෙල්ලම් කරන ආකාරයේ වෙනස්කම්
  • දෙමව්පියන්ගෙන් ඈත් වීමට අකැමැත්තක් දැක්වීම
  • හුදෙකලා වීමට උත්සාහ කළ හැක
  • නුරුස්සනසුලු ස්වභාවය

දරුවෙකු වෙතින් මෙවැනි ලක්ෂණ නිරීක්ෂණය වේ නම් දෙමව්පියන් වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ද?

විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙන පරිදි:

  • අවුරුදු දෙක හෝ ඊට අඩු වයස් කාණ්ඩයේ දරුවන් - වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් නැතත් සිය දෙමව්පියන්ගේ නොසන්සුන්භාවය හෝ ඔවුන් කලබලයට සහ චකිතයට පත්ව සිටීම දරුවන්ට දැනේ. මව නොසන්සුන් නම් දරුවා ද නොසන්සුන් වන බැවින් දරුවා අසල සන්සුන්ව හැසිරීම වැදගත්ය.
  • පෙර පාසල් වයසේ දරුවන් - වටපිටාවේ සිදුවන දෑ පිළිබඳ යම් අවබෝධයක් ඇති බැවින් මාධ්‍ය ඔස්සේ විකාශනය කෙරෙන පුවත්වලට නිරාවරණය නොකිරීම වඩාත් සුදුසුය.
  • රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දරුවන් ඉදිරියේ අදහස් දැක්වීමෙන් වැළකී සිටීම යෝග්‍යය. එසේ ම දරුවන් ඒ සම්බන්ධයෙන් කතා කරන්නේ නම් ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතුය.
  • මේ වන විටත් දරුවා ඒ සම්බන්ධ දර්ශන දැක ඇත්නම් සහ ඒ පිළිබඳ ප්‍රශ්න කරන්නේ නම් වයසට ගැලපෙන ආකාරයට පැහැදිලි පිළිතුරක් ලබා දිය යුතුය. එය සවිස්තරාත්මක පිළිතුරක් විය යුතු නොවේ.
  • එසේ ම මව පියා සහ දරුවන් සුරක්ෂිතයි යන හැඟීම දරුවන් තුළ ඇති කළ යුතුය.
  • ප්‍රාථමික පාසල් වයසේ දරුවන් - ඔවුන් සමග අදහස් හුවමාරු කර ගැනීම, ඒ සඳහා පෙළඹවීම සහ වත්මන් සිදුවීම් මාලාව පිළිබඳ ඔවුන්ගේ අවබෝධය කෙතරම්දැ යි දැන ගැනීම වැදගත්ය. මෙම වයසේ දරුවන් ද ඒ හා සම්බන්ධ පුවත්වලට නිරාවරණය වීම සුදුසු නොවේ.
  • සුහදත්වය පෙන්වීම සහ ඇහුම්කන්දීම වැදගත්ය.
  • නව යොවුන් වියේ පසුවන දරුවන් - අවබෝධය ඇතත් එය නිවැරදි නොවිය හැක. සමාජ ජාල සහ අන්තර්ජාලය භාවිත කරන බැවින් පරස්පර විරෝධී අදහස්වලට නිරාවරණය විය හැක.
  • තිගැස්මකට ලක්වන පණිවුඩ සහ අතිශයෝක්තියෙන් යුත් වාර්තාවලට නිරාවරණය වීමේ ඉඩකඩ වැඩි බැවින් දෙමව්පියන් විසින් දරුවන්ට නිවැරදි අවබෝධයක් ලබා දිය යුතුය.
  • මාධ්‍ය ආයතන පෙන්වන දර්ශනවලින් ඔබ්බට ගොස් සමාජ තුළ සිදුවන දෑ පිළිබඳ දරුවන්ට අවබෝධයක් ලබා දීමත් දෙමව්පියන් වෙත පැවරෙන වගකීමකි.

කියවන්න:

මේ අතර පෙර පාසල් වයසේ සිට නව යොවුන් විය දක්වා සියලු ම වයස් ඛාණ්ඩවල දරුවන් සැලකීමේදී ශ්‍රී ලාංකිකයන් වශයෙන් ප්‍රධාන වශයෙන් කරුණු තුනක් පිළිබඳ සැලකිල්ල යොමු කළ යුතු බව ළමා සහ නව යෞවන විය පිළිබඳ මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන පෙන්වා දෙයි.

ඇය පවසන පරිදි:

  1. වෛරය - යම් කිසි කාණ්ඩයක් හෝ කොටසක් සම්බන්ධයෙන් වෛරී අදහසක් ඇති වෙන ආකාරයේ හැඟීමක් දරුවන් තුළ ඇති නොකිරීම වැදගත්ය.
  2. වීරත්වය - මේ දක්වා සිදු වූ දේ වීර ක්‍රියා නොවේය යන්න දරුවන්ගේ මනසට කා වැද්දවීම
  3. ධනාත්මක බලාපොරොත්තු - කනගාටුදායක සිදුවීමක් වුවත් අවසානයේ සිය පවුලට, රටට නැවතත් පෙර සිටි තත්ත්වයට පත් විය හැකිය යන ධනාත්මක අදහසක්, අවබෝධයක්, බලාපොරොත්තුවක් දරුවන්ගේ සිත් තුළ ඇති කිරීම

දරුවන් සහ මානසික සෞඛ්‍ය ගැන වෙනත් පුවත්: