පාස්කු දින ප්‍රහාර හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ හෙට දවස

Image caption සංචාරකයන්ගෙන් හිස්වූ අලුත්ගම වෙරළ

"මම මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්. මට මේ රටේ දේශපාලනඥයෝ ගැන කතාවක් කියන්න තියෙනවා. හැබැයි මම ඒක කියන්නේ සම්පූර්ණ කතාවම දානවනම් විතරයි."

කතාවට මුල පුරත්ම පූර්ව කොන්දේසියකි.

"මේ අවුරුද්දේ සංචාරය කරන්න හොඳම රටවල් අතරින් පළමු රට ශ්‍රී ලංකාව කියලා ලෝන්ලි ප්ලැනට් එකෙන් කිව්වා. අද බලන්න වෙලා තියෙන දේ. මේ ඔක්කොටම වගකියන්න ඕනි දේශපාලනඥයෝ."

සමන් කුමාර සංචාරකයන් රැගෙන යන බෝට්ටු හිමියෙකි. මා ඔහු සමග සංවාදයකට මුල පිරුවේ පාස්කු දින ප්‍රහාරයත් සමග ඔවුන් මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ දැන ගැනීමේ අටියෙනි.

"මට බෝට්ටු හයක් තියෙනවා. අද වෙනකොට ඒ එකකටවත් හයර් එකක් නැහැ. මගේ ගෝලයෝ දරුවෝ ඉන්න තාත්තලා, ඒ අයට වෙන රස්සාවක් නැහැ."

ඔහුගේ හඬේ ඇත්තේ කෝපයක් ද නැතිනම් කලකිරීමක් දැයි යන්න පැහැදිලි නැත. ඔහු ඉදිරිපත් කළ පූර්ව කොන්දේසියට ප්‍රතිචාරයක් පළ කිරීමටවත් අවස්ථාවක් නොතබා ඔහුගේ මුවින් වචන ගලා එයි.

Image caption සමන් කුමාර

"රට හදන්න පුළුවන් මිනිස්සු නොවෙයි රට හදන තැන ඉන්නේ. මම කිසිම දේශපාලන පක්ෂයකට කැමති නැහැ. මොකද කවුරුත් රට හදන්නේ නැහැ. මේ ව්‍යසනේ නවත්ත ගන්න තිබුණනේ, මේ ප්‍රහාරය ගැන පණිවිඩයක් ලැබිලා තිබුණනේ. ඇයි ඒ මිනිස්සු ඒක හිතේ විතරක් තියාගෙන හිටියේ?,"

"ඒක වෙන්න ඉඩ දීලා අහිංසක මිනිස්සු මැරුණට පස්සේ දැන් මේ අය දේශපාලනය ගැනනේ මේ කතා කරන්නේ. ඊළඟට එන්න ඕනි කවුද? මේකට සුදුසු කෙනා කවුද? ඕවනේ දැන් කතා කරන්නේ. දේශපාලනඥයෝ රටේ මිනිස්සුන්ව ගොන්නුන්ට අන්දලා කතා කරන්නේ. ගලක් අරන් මැණිකක් කිව්වොත් මිනිස්සුත් ඒක විශ්වාස කරන තත්ත්වයක් තිබෙන්නේ."

"මේ රටේ මනුෂ්‍ය ජීවිතයට වටිනාකමක් නැහැ. සුමාන දෙකක් යනකොට ඔක්කොම අමතක වෙනවා,"

සමන් කුමාර විසින් සිය බෝට්ටු කර්මාන්තය පවත්වා ගෙන යනු ලබන අලුත්ගම කළුවාමෝදර පාලම අවට ඇත්තේ නිද්‍රාශීලී ස්වභාවයකි. ත්‍රී රෝද රථ ගාලේ තරුණයන් කිහිප දෙනෙක් සිය අසුන් තුළටම වී අලස සුවය විඳිති. පාලම අසල ස්ථාපනය කර ඇති හිටපු හමුදා ප්‍රධානියෙකු වූ ලුතිනන්ට ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ පිළිරුව දෙස මොහොතක් නැවතී බලා සිටින සංචාරකයෙකි.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවත් සමග අලුත්ගම අවට සුළු පරිමාණ හෝටල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව හෝටල් හිමියෝ පවසති.

එවැනි හෝටලයක් පවත්වා ගෙන යන මන්දු රජිත් ද සිල්වා කියා සිටියේ තමන් වෙත ලැබී තිබුණු කාමර වෙන් කර ගැනීම් (Bookings) විසි දෙකක් සංචාරකයන් විසින් අවලංගු කරනු ලැබ ඇති බවය.

"ප්‍රහාරය වෙද්දී අට දෙනෙක් හිටියා. විදේශිකයන් මිය ගිහින් කියලා දැනගත්තම ඔවුන් බය වුණා. හය දෙනෙක් නියමිත කාලයට කලින් ගියා. තවත් සංචාරකයෝ තිහක් පමණ එන්න හිටියා."

"මේක යුද්ධය, සුනාමියට වඩා මේක බරපතල තත්ත්වයක් විදිහට මම දකින්නේ. මොකද යුද්දේ තිබුණු කාලයේ සංචාරකයන්ට ප්‍රහාර එල්ල වුණේ නැහැ. හෝටල් කර්මාන්තයට විතරක් නෙමෙයි සංචාරක කර්මාන්තයේ සියලු දෙනාටම මේක බලපානවා. වැඩියම බලපාන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යසායකයන්ට. බලධාරීන්ගේ අවධානය යොමු වෙන්නේ බොහෝ විට මහා පරිමාණ ව්‍යාපාර ගැන පමණයි," යනුවෙන් ඔහු කියා සිටියේය.

"හැබැයි ශ්‍රී ලාංකිකයන් විදිහට සතුටු වෙන්න කාරණයක් තියෙනවා. මේ මොන දේවල් වුණත් අනිවාර්යයෙන් ලංකාවට එන සංචාරකයන් සුළු පිරිසකුත් ඉන්නවා. මොන ප්‍රශ්නය වුණත් ෆ්ලයිට්ස් තියෙනවා නම් අපි ලංකාවට එනවා කියලා ඔවුන් මැසේජ් කරලා තියෙනවා. එන්න බය අලුතින් ලංකාවට එන සංචාරකයන් තමයි "

කිතුනු භක්තිකයන් සහ විදේශිකයන් ගැවසෙන ස්ථාන පාස්කු ඉරිදා එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වූ බව පෙනෙන්නට තිබේ. එල්ටීටීඊ සංවිධානය කොළඹ ඇතුළු ස්ථාන ගණනාවකට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇතත් විදේශිකයන් ඉලක්ක නොවිණි.

මන්දු රජිත් ද සිල්වාගේ හෝටලයේ නාන තටාකය අසල විවේක සුවයෙන් පසුවන සංචාරකයන යුවලකි. ජර්මන් ජාතිකයන් වන මයික් සහ නීෆ් යුවල ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ප්‍රහාරය එල්ල වීමට දින කිහිපයකට පෙරදීය. සෙසු සංචාරකයන් හෝටලයෙන් ඉවත් වුවත් ඔවුහු තවමත් ශ්‍රී ලංකාවේ විවේක සුව විඳිති.

උණුසුම් සිනහවකින් මා පිළිගත් මයික් සහ නීෆ් වෙත මා ගියේ ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති වත්මන් තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ අදහස් දැන ගැනීමේ අරමුණෙනි. අති බහුතරය රටෙන් පිට වෙද්දී ඔවුන් දෙපළ ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට තීන්දු කළේ ඇයිදැයි ඔවුන්ගෙන් විමසුවෙමි.

ශ්‍රී ලංකාවෙන් පිට වූ පමණින් මෙවැනි ප්‍රහාරයක ඉලක්කයක් නොවනු ඇති බවට සහතිකයක් තිබේදැයි නීෆ් ප්‍රශ්න කරන්නීය.

Image caption මයික් සහ නීෆ්

"එංගලන්තයේ, බර්ලිනයේ, පැරීසියේ සෑමදිනකම සෑම සතියකම වගේ ලෝකයේ කිසියම් තැනක කුමක් හෝ සිදු වෙනවා. කොතැනක වුවත් එහි වෙනසක් නැහැ. නමුත් ශ්‍රී ලංකාව ගැන මට ඉතාමත් කණගාටුයි," යනුවෙන් ඇය සඳහන් කළේ සිය හදවත මත දෑත් තබා ගනිමිනි.

අලුත්ගම මග දෙපස පිහිටි මහා පරිමාණ අත්කම් වෙළෙඳසල්වලට අයත් රථ ගාල් හිස්ය. කුඩා පරිමාණයේ වෙළෙඳසල් සමහරක දොර අගුළු ලා ඇත. ඉඳහිට ඇවිද යන සංචාරකයෙකු හෝ දෙදෙනෙකු හැරුණු කොට . වෙරළ තීරය පාළුවට ගොස්ය.

පුටුවකට බර දී සයුර දෙස බලා සිටින යමෙකු වෙරළේ ඈතින් පෙනේ. ඇය අසල ඇති ලී වැටක එල්ලා ඇති සාරි පොට වැනි රෙදිකඩ සුළඟ සමග පොර බදයි. මා එහි ලංවෙත්ම ඇය කල්පනාවෙන් මිදී වටපිට බැලීය.

Image caption එච් නන්දාවතී

ඇය නමින් එච් නන්දාවතීය. අලුත්ගම වෙරළට පැමිණෙන සංචාරක කතුන්ට හිරු රැසින් ආරක්ෂා වීම සඳහා ඇය හිස් ආවරණය කෙරෙන රෙදි අලවි කරන්නේ අවසර හතළිහක සිටය.

"යුද්ධය තිබුණු කාලෙත් සංචාරකයෝ හිටියා. අපි මේ රෙදි විකුණලා තමයි එදා වේල හොයා ගන්නේ. ඉස්සරහටත් මෙහෙම වුණොත් අපි මොකද කරන්නේ?"

ඊට මදක් ඔබ්බෙන් පිහිටි කුඩා කඩ කාමරයකි. සංචාරක කතුන් වෙනුවෙන් සැකසුනු වෛවර්ණ ඇඟලුම් එහි අලෙවියට තබා ඇත. කඩ කාමරයේ එල්ලා ඇති ඇඟලුම් පහස ලබන්නේ සුළගෙන් පමණි.

Image caption ජයන්ත ගාමිණි

එහි හිමිකරු ජයන්ත ගාමිණි පවසන පරිදි සංචාරක කර්මාන්තයේ පසුබෑමෙන් ඇතිවන බලපෑම ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජා වෙත වක්‍රව බලපානු ඇත.

"මේ දවස් ටිකේම අපිට බිස්නස් නැහැ. මේක බලපාන්නේ අපිට පමණක් නෙවෙයි. අපි මේ රෙදි ගන්නේ පිටකොටුවේ මුස්ලිම් සහ දෙමළ මුදලාලිලගෙන්. අපිට බිස්නස් නැහැ කියන්නේ ඔවුන්ටත් නැහැ. මේක හරියට දම්වැලක් වගේ. එක්කෙනෙකුට එක්කෙනෙක් බැඳිලා ඉන්නේ"

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවට අනුව වාර්ෂිකව පැමිණෙන සංචාරකයන්ගේ ඉහළම අගය වාර්තා වී ඇත්තේ පසුගිය වසරේදීය. 2018 වසරේදී සංචාරකයන් විසි තුන් ලක්ෂ තිස් තුන්දහස් හත්සිය අනූ හය (2,333,796) දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය සංචාරකයන්ගේ පැමිණීමේ 10.3% වර්ධනයක් බව මහ බැංකුව පවසයි.

සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 5% පමණ ප්‍රතිශතයකට හිමිකම් කියන අතර 2018 වසරේ දී වැඩි වශයෙන්ම ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාව, චීනය සහ එක්සත් රාජධානිය යන රට වලිනි.

බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමග අත්‍යවශ්‍ය කරුණකට හැරුණු කොට වෙනත් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ සංචාරයේ නොයෙදෙන ලෙස එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවක් සිය පුරවැසියන්ට උපදෙස් දී තිබිණි.

කෙසේ නමුත් පවතින තත්ත්වය හමුවේ හෝටල් හිමියන්ට උපරිම ආර්ථික සහන ලබා දෙන බව ආණ්ඩුව පවසා ඇත.

මේ අතර 'ලෝන්ලි ප්ලැනට්' (Lonely Planet) විසින් 2019 වසරේ සංචාරය කිරීමට හොඳ ම රට ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ලැබුවේ 2018 වසර අගදීය.

'ලෝන්ලි ප්ලැනට්' යනු සංචාරක මාර්ගෝපදේශ පොත් ප්‍රකාශන ආයතනයකි. එය ලොව ජනප්‍රියතම සංචාරක මග පෙන්වීම් (Tourist Guide) ප්‍රකාශකයා ලෙස සැලකේ.

සංචාරය කිරීමට හොඳම රටවල් සහ කලාප 'ලෝන්ලි ප්ලැනට්' විසින් වාර්ෂිකව නම් කරනු ලබයි.

අලුත් සංචාරක නිකේතන, වඩාත් හොඳ ප්‍රවාහන සබඳතා සහ ඉහළ යමින් පවතින සංචාරක ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව සංචාරය කිරීමට හොඳම රට ලෙස තෝරා ගැනීම සඳහා 'ලෝන්ලි ප්ලැනට්' විසින් හේතු වශයෙන් දක්වනු ලැබිණි.

කෙසේ නමුත් 2018 වසර අග භාගයේදී ද ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල විය.

සංචාරක සමය ආරම්භවීමට ආසන්න මොහොතක ශ්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයටත් දැඩි බලපෑමක් වූ බව බව එම ක්ෂේත්‍රයේ රැකියාවල නිරත පිරිස් බීබීසී සිංහල සේවයට එවක පැවසුහ.

ඔක්තෝබර් 26 වන දා නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමෙන් පසු වර්ධනය වූ අවිනිශ්චිත දේශපාලන තත්ත්වය ඊට හේතු වූ බව හෝටල් හිමියෝ කියා සිටියහ.

හෝටල් සේවක මධ්‍යස්ථානය දෙසැම්බර් මස කියා සිටියේ දේශපාලන අර්බුදය හමුවේ විදේශීය සංචාරකයන් 20% සිට 35% දක්වා ප්‍රමාණයක් තම සංචාර අවලංගු කළ බවය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර