මාකඳුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙසින් පොලිසිය විසින් හඳුන්වනු ලබන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධූෂ් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත්කරන ලද බව පොලිසිය පවසයි.

පසුගිය පෙබරවාරි 04 වෙනි දින ඔහු ඇතුළු ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉන්පසුව මෙතෙක් ඩුබායි හි අත්අඩංගුවේ පසු වූ ඔහු එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඉරිදා (මැයි 05) අලුයම 5.00 ට කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය.

ගුවන් යානය මගීන්ට බැසීම සඳහා ගුවන් පාළම වෙත සමීප වනවාත් සමගම, ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි ආරක්ෂක නිලධාරීන්ගේ ග්‍රහණයට මධුෂ් පත්විය.

අනතුරුව ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ඔහු යොමු කිරීමට පියවර ගත්හ. ඒ අවස්ථාවේ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මාකඳුරේ මධුෂ් ඉදිරිපත් කළ N5480656 දරන ගුවන් ගමන් බලපත්‍රය අනුව ඔහු ගුවන් තොටුපොළේ පෙනී සිටියේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය අජිත් එරංග යන නමිනි. ඔහුගේ උපන් දිනය 1979.02.20 ලෙස එහි සඳහන් වී තිබූ අතර, ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය 790516478V ලෙස සඳහන්ව තිබුණි.

එම ගුවන් ගමන් බලපත්‍රය නිකුත් කර තිබුණේ 2015.04.30 දිනය.

මාකඳුරේ මධූෂ් දිවයිනේ විවිධ ප්‍රදේශ රැසක සිදු කර තිබූ මිනීමැරුම්, මංකොල්ලකෑම් සහ තවත් අපරාධ රාශියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලිසි ගණනාවකට මෙන්ම අධිකරණ රැසකට ද අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු වී සිටි බැව් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේය .

මේ වනවිට මාකඳුරේ මධුෂ් කටුනායක ගුවන් තොටුපළ තුළ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.

මෙම නිලධාරීහු ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටිති.