ශ්‍රී ලංකාවේ පිපිරීම්: පාසල් දරුවන්ගේ පැමිණීම අවම මට්ටමක

දෙවන වාරය සඳහා 5 වසරට ඉහළ ශ්‍රේණි වෙනුවෙන් අද (මැයි 06) පාසල් ආරම්භ වූ අතර, සමස්තයක් ලෙස ගත් කල සැම පාසලක ම පාහේ ළමුන්ගේ පැමිණීම ඉතා අඩු මට්ටමක පැවති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව රජය වහා ම අවධානය යොමු කළ යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.

ලංකා ගුරු සංගමය ලබා දුන් තොරතුරු අනුව ප්‍රධාන පාසල් කීපයක ළමුන්ගේ පැමිණීම මෙසේ විය.

  • මහනුවර විද්‍යාර්ථ විදුහල - 46
  • මහනුවර ධර්මරාජ විදුහල - 40
  • මහනුවර උසස් කාන්තා විදුහල - 40
  • අනුරාධපුර මාධ්‍ය මහා විද්‍යාලය - 185
  • බදුල්ල විහාර මහා දේවි විදුහල - 450
  • මාතර රාහුල විදුහල - 50
  • කුරුණෑගල මලියදේව පිරිමි විදුහල - 85
  • කුරුණෑගල මලියදේව බාලිකා විදුහල - 75
  • කුරුණෑගල ශාන්ත ආනා විදුහල - 60

"කොළඹ ආරක්ෂක සේවා විදුහලේ ළමුන් 4000 ක් ඉන්නවා. අද ඇවිල්ල තියෙන්නේ 32 යි. ඒ කියන්නේ ආරක්ෂක අංශවලටත් ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් නැහැ කියල. ඒ වගේ ම ආණ්ඩුව කිව්වා ආරක්ෂාව දෙනවා ළමයි පාසලට එවන්න කියල. නමුත් දෙමාපියන් ආණ්ඩුවේ ආරක්ෂාව පිළිබඳව විශ්වාසක් නොමැති බව පෙනිලා ගිහින් තියනවා," ජෝසෆ් ස්ටාර්ලින් පැවසීය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ අදහස් පළ වී තිබිණි.

Image copyright Facebook/Ruwani Amarakoon
Image copyright Facebook/Thimbiriyagama Bandara

මේ අතර, සඳුදා (මැයි 06) දිනයේ තම දරුවන් ඉගෙන ගන්නා පාසල්වලට දී තිබූ ආරක්ෂාව ගැන සැලකීමේදී රජය සෑම පාසලකටම එක හා සමානව ආරක්ෂාවක් සලසා නැතැයි හලාවත මැරවල ගම්වාසීහු චෝදනා කරති.

මැරවල සාන්ත ජෝසෆ් විදුහලට මෙන් ම කාක්කපල්ලිය රජයේ විදුහල ඇතුළු ග්‍රාමීය මට්ටමේ පාසල්වලට රජයෙන් ලබා දී තිබූ ආරක්ෂාව පිළිබඳව මෙහිදී දැඩි විවේචන එල්ල වූ අතර හලාවත මැරවල ශාන්ත ජෝසෆ් විදුහලේ ආරක්ෂක කමිටුවේ සාමාජික දිනේෂ් තරංග ප්‍රකාශ කළේ, නිරායුධ පොලිස් නිලධාරියෙකු පමණක් ලබා දීම තුළින් ළමුන්ගේ හා දෙමාපියන්ගේ ආරක්ෂාව සැළසිය නොහැකි බවය.

Image caption හිස්ව තිබූ පන්ති කාමර

"අපේ පාසල්වලට දේශපාලකයන්ගේ දරුවෝ එන්නේ නැහැ. කොළඹ හා හලාවත නගරයේ පාසල්වලට තමයි ඒ අය යන්නේ. ඒ නිසා යුද්ධ හමුදාව, පොලිසිය මේ සියලු දෙනා ඉන්නේ ඒ පාසල්වල. අද ඒ පාසල්වලටත් ඇවිල්ලා ඉන්නේ ළමයි දහයක් දොළහක් පමණයි .අපේ පාසලට ඇවිල්ලා ඉන්නෙත් ඒ ගණන ම තමයි. ඇයි අපිට මෙහෙම සලකන්නේ කියල අහන්න කැමතියි. අපේ පාසැල තියෙන්නේ දේවස්ථානයක් අසල ඒ නිසා වැඩි ආරක්ෂාවක් ලබා දෙන්න තිබුණා." දිනේෂ් තරංග වැඩිදුරටත් පැවසීය .

"බය වෙන්න එපා!"

සඳුදා දිනයේ සිසු සිසුවියන් පාසල්වලට පැමිණීම අවම මට්ටමක පැවැතිය ද ඉදිරි දිනවලදී සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ පවසයි.

ඔහු පවසන්නේ, රජය පාසල්වල ආරක්ෂාව සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බැවින් දරුවන් පාසල් වෙත එවීමට දෙමව්පියන් බිය විය යුතු නැති බවය.

කාක්කපල්ලිය සිරි සුජාත රජයේ විදුහලට ගිය අවස්ථාවේදී දැක ගන්නට ලැබුණේ දෙමාපියන් විදුහලේ ගේට්ටුව අවහිර වන පරිදි මුර කරගෙන සිටින අයුරුය.

මෙහිදී ශිරෝමාලි සෙව්වන්දි නමැති මවක කියා සිටියේ තම පාසල්වලටත් කොළඹ හා අනෙක් නගරවල පාසල්වලට ලබා දී ඇති ආරක්ෂාව ලබා දිය යුතු බවය.

"කොළඹ පාසල්වල ඉන්නවා වගේ ම ළමයි තමයි ගමෙත් ඉන්නේ. මොනවා හරි දෙයක් වුණොත් අපිට තියෙන්නේ දුවන්න විතරයි."

ස්ථිර සහතිකයක්

හලාවත ශාන්ත මරියා විදුහලේ ළමුන් 1500 කට ආසන්න පිරිසක් සිටින අතර අද පැමිණ සිටියේ ළමුන් 11 දෙනෙකු පමණි.

එහි ආරක්ෂාවට පොලිස් නිලධාරීන්ට අමතරව, යුද්ධ හමුදාව ද යොදවා තිබූ අතර පෞද්ගලික ආරක්ෂක සමාගමක භටයන් පිරිසක් ද මේ අතර වූහ.

මෙහි ආරක්ෂාවට පැමිණ සිටි විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය හා ආරක්ෂක කමිටුව නියෝජනය කරන චමින්ද හැන්සා ප්‍රකාශ කළේ, තමන් පාසල මුර කිරීමට පැමිණියත් තම දරුවන් අද දිනයේ පාසල් නොපැමිණි බවය.

පාසල්වල ආරක්ෂාව පිළිබඳ රජය ස්ථිර සහතිකයක් ලබා දෙන තුරු තම දරුවන් පාසල් නොයැවීමට තීරණය කර ඇති බව ද ඔහු පැවසීය.

සමස්තයක් ලෙස සඳුදා දිනයේ පාසල්වලට ළමුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙතැයි තමනට පෙරවරු 11 වන විට වාර්තා වූ බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු පැවසීය .

රටේ ආරක්ෂාව පිළිබඳව රජයෙන් සහතිකයක් ලැබෙන තෙක් පාසල් වසා දැමීමට පියවර ගත යුතු බව ඔහුගේ මතයයි.

මේ අතර, පාසල් පවත්වන්නේ නම් සියලු පාසල්වලට එක හා සමාන ආරක්ෂාවක් සැලසිය යුතු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර