ශ්‍රී ලංකාවේ පිපිරීම්: "කාත්තන්කුඩි කඳවුරේ සිටි" සහ්රාන්ගේ සොහොයුරා ගැන හෙළිදරව්වක්

Image caption 'කඳවුර' පිහිටි ඉඩමේ තිබී සොයා ගත් මෙම බට පුපුරණ ද්‍රව්‍ය පිරවීමට යොදා ගත හැකි බවට විශ්වාස කෙරේ

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ සහ්රාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම්ගේ ඇසකට සහ දෑත්වලට හානි වී ඇත්තේ කාත්තන්කුඩි හි පිහිටි 'කඳවුරේ' සිදු වූ පිපිරීමකින් බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

කාත්තන්කුඩි, ඔල්ලික්කුලම් ප්‍රදේශයේ පිහිටි එම ස්ථානය කාත්තන්කුඩි පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය විසින් වටලනු ලැබ ඇත්තේ, ඔවුන් වෙත ලැබුණු තොරතුරකට අනුවය.

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කිරීමට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට යොදාගෙන ඇතැයි විශ්වාස කෙරෙන මෙම 'කඳවුර' ආරක්ෂක අංශ විසින් සොයා ගනු ලැබුණේ මැයි 05වනදා ය.

තුවාල ලද රිල්වාන් හෂීම් කාත්තන්කුඩි සිට කොළඹට යවා ඇති අතර මාස දෙකක පමණ කාලයක් ඔහුට ප්‍රතිකාර ලබා දී ඇති බව අත්අඩංගුවට පත්, සහරාන් හෂීම්ගේ රියැදුරු ගෆූර් නැමැත්තා ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබේ.

සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක දී බෝම්බයක් පුපුරුවා ගනිමින් මරණයට පත් 15 දෙනා අතර රිල්වාන් හෂීම් ද වූ බව පොලිසිය මීට ඉහතදී පැවසීය.

රිල්වාන් හෂීම්ගේ ඇසකට සහ දෑත්වලට හානි සිදුව ඇති ආකාරය ජාතික තව්හිද් ජමාත් සංවිධානය පළ කළ ඡායාරූප ඔස්සේ දැකගත හැකිය.

සහ්රාන් හෂීම් ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා බව මුලින් වාර්තාවල දැක්වුණ නමුත් අමාත්‍ය රාජිත සේනාරත්න පසුව කියා සිටියේ ඔහු සංවිධානයේ නායකයා නොවන අතර, නායකයා මේවනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවය.

අදාළ කඳවුර පිහිටි ඉඩම සහරාන් හෂීම්ගේ යයි පවසමින් මාධ්‍ය වාර්තා පළ වුවත් එහි සැබෑ හිමිකරු යාසික් බාවා අබ්දුල් රාෆුෆ් නමැති 49 හැවිරිදි පුද්ගලයෙකු බව මූලික පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

දැනට පොලිස් අත්අඩංගුවේ පසු වන ඔහු සඳුදා (මැයි 06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන් ම කඳවුර පිහිටි ඉඩම අක්කර දහයක් පමණ විශාල වන බවට පළ වන මාධ්‍ය වාර්තා නිවැරදි නොවන බවත් ඉහත කී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

ඔහු පවසන පරිදි කඳවුර පිහිටි ඉඩම සම්බන්ධයෙන් මේ දක්වා හෙළි වී ඇති කරුණු:

  • යාසික් බාවා අබ්දුල් රාෆුෆ් විසින් ඉඩම මිලදී ගනු ලැබ ඇත්තේ 2016 වසරේ ජූනි 03 වන දාය.
  • ඉඩමේ විශාලත්වය අක්කර 01කි.
  • ඉන් අඩක් එනම් අක්කර ½ කැබලි කර තවත් පුද්ගලයන් පස් දෙනෙකුට අලෙවි කරනු ලැබ ඇත.
  • යාසික් බාවා අබ්දුල් රාෆුෆ් එම බිම් කොටස් 05 අලෙවි කර ඇත්තේ රුපියල් ලක්ෂ 59 ක මුදලකටය.
  • ඔහුට ඉතිරි වූ අක්කර ½ යේ ගොවිපළක් පවත්වා ගෙන ගොස් ඇත.

"මේ ගොවිපළේ ගහෙන් ගහට වෙන වෙන ම වතුර බට සවි කර තිබෙනවා. ඒ කියන්නේ පිට අය වැඩට ගන්න ඕන නැහැ. එක් කෙනෙකුට කරාම ටික අරින්න විතරයි තිබෙන්නේ," යනුවෙන් ඉහත කී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන පරිදි පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමට පෙර එනම් අප්‍රේල් 16 වන දා කාත්තන්කුඩි ප්‍රදේශයේ විවෘත භූමියක පිපිරීමක් සිදුව ඇත.

ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලදී, පිපිරවීමට යොදා ගත් යතුරු පැදියක චැසි අංකය සහිත කොටස සොයා ගෙන ඇති අතර එය සහරාන් හෂීම් ප්‍රමුඛ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකුට අයත් වූවක් බව අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබුණු බව බීබීසී සිංහල සේවයට වාර්තා වෙයි.

වත්මන් තත්ත්වය

පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පුද්ගලයන් 250 දෙනෙකුට වැඩි පිරිසක් මරණයට පත්ව තවත් හරසීයකට අධික පිරිසක් තුවාල ලැබූහ.

පසුව නිවේදනයක් නිකුත් කළ අයිඑස් සංවිධානය කියා සිටියේ තමන් ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බවය.

ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිද් ජමාත් සංවිධානය සක්‍රීයව සිටි බවට විශ්වාස කෙරෙන කාත්තන්කුඩි ඇතුළු නැගෙනහිර ප්‍රදේශ ගණනාවක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

කාත්තන්කුඩි, සයින්දමර්දු, කල්මුණේ, නින්දවූර්, සමන්තුරේ සහ මඩකලපුවේ කළ සෝදිසි මෙහෙයුම් මගින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගත් බව ආරක්ෂක අංශ පවසයි.

නැගෙනහිර පළාතේ මාර්ග බාධක ගණනාවක් ස්ථාපනය කර ඇති අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශ මෝටර් රථ දැඩි පරීක්ෂාවට ලක් කරන ආකාරය දැක ගත හැක.

එමෙන් ම පාසල් සහ කතෝලික දේවස්ථාන සඳහා ද යුද්ධ හමුදා සාමාජිකයන් යොදවා ඇති ආකාරය එහි කළ සංචාරයකදී බීබීසී සිංහල සේවයට දැක ගත හැකි විය.

මඩකලපුව සහ ඒ අවට ඇතැම් සංචාරක හෝටල් තුළ විදේශිකයන් දක්නට නොමැති ස්වභාවයක් දක්නට ලැබේ.

පසුගිය පාස්කු ඉරිදා දිනයේදී මඩකලපුව, සියොන් දේවස්ථානයට ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් ළමුන් සහ කාන්තාවන් ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

මේ අතර තම පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් කාත්තන්කුඩි සහ ඒ අවට ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් බියට පත්ව සිටින බවක් පෙනී යයි.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පාසල් වෙත සිසු සිසුවියන් පැමිණීම ද අඩු මට්ටමක පැවතිණි.

මේ අතර, නිවෙස්වල සහ වෙනත් ස්ථානවල ඇති කඩු, කිනිසි, උල්පිහි ආදිය පොලිස් ස්ථාන වෙත ගෙන ගොස් භාර දීමට දී තිබූ කාලය සඳුදා රාත්‍රී 12:00 සිට තවත් පැය 48ක් දීර්ඝ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ සඳහා ලබා දී තිබූ කාලය සඳුදා (මැයි 05) රාත්‍රී 12:00 ට පසු අවසන් වීමට නියමිතව තිබිණි.

තවත් කියවන්න: