මඩකලපුව වව්නතිව්හි පොලිස් ඝාතනය - 'මම දැනගෙන හිටියා ඔහු නිර්දෝෂියි කියා'

Image caption සෙල්වම් රාණි

"අපි හොඳාකාරව ම දැනගෙන හිටියා ඔහු නිර්දෝෂයි කියලා. මම මේ ගැන කියන්න පුළුවන් හැම තැනකට ම කිව්වා. මහත්තයාව මාස පහකට වැඩි කාලයක් රඳවාගෙන ඉන්නවා."

"අපිට දරුවන් පස් දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙක් ඉස්කෝලේ යනවා. ළමයි පුදුම ආකාරයට මානසිකව වැටුණා," එසේ පවසන්නී, සෙල්වම් රාණිය.

මඩකලපුව නගරයේ සිට කිලෝ මීටර් 10ක් පමණ දුරින් පිහිටි කරෙයියකාන්තිවූර් ගම්මානයේ පිහිටි සිය නිවසේදී රාණි බීබීසී සිංහල සේවය වෙත සිය කනස්සල්ල පැහැදිලි කිරීම ඇරඹුවේ එලෙසිනි.

සිය සැමියා වන අජන්තන් හෙවත් කදිරගාමර්තම්බි රාසකුමාරන් මාස පහකට අධික කාලයක් ආරක්ෂක අංශ අත්අඩංගුවේ පසු වීම නිසා තමන් මෙන් ම තම දරුවන් පස් දෙනා දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ඇය පෙන්වා දුන්නාය.

පසුගිය වසරේ මඩකලපුව වවුනතිව්හි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගැනුණු රාසකුමාරන් මේ වන විටත් ආරක්ෂක අංශ භාරයේ රඳවාගෙන සිටී.

අජන්තන් හෙවත් කදිරගාමර්තම්බි රාසකුමාරන් 41 හැවිරිදිය. ඔහු හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකි.

2009 වසරේදී ගැටුම් නිමා වීමෙන් අනතුරුව වසර දෙකක කාලයක් වව්නියාවේ පිහිටි නෙළුම්කුලම් කඳවූරේදී ඔහු පුනරුත්ථාපනය වී ඇත.

ඉන් පිට වීමේදී ධීවර කර්මාන්තයට අවශ්‍ය ආම්පන්න ඔහු වෙත ලබා දී තිබූ අතර පසුව සිය ගම්බිම් බලා පැමිණි රාසකුමාරන් ධීවර කර්මාන්තයේ යෙදෙමින් තම දරුවන් පෝෂණය කළේය.

රාසකුමාරන් හා රාණිගේ වැඩිමහල් පුතුගේ වයස අවුරුදු 17කි. බාලයා තෙමස් දියණියකි.

"එයාව පොලිසියෙන් අරන් ගියාට පස්සේ ධීවර ආම්පන්න කවුරු හරි හොරකම් කරලා. දැන් අපිට ජීවත් වෙන්න අදායම් මාර්ගෙකුත් නැහැ. ඒත් එයා දන්න රැකියාව ඒක. ඒ රස්සාව කරලා අපිට ආපහු සන්තෝෂයෙන් ඉන්න ඉඩ ලැබුණොත් ඇති," සෙල්වම් රාණි අපේක්ෂා සහගතව පැවසුවාය.

"ලොකු පුතා සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්නේ. ඔහු මානසිකව ඇද වැටිලා. අනිත් ළමයි පොඩියි. ඒ ගොල්ලෝ හැම තිස්සෙ ම අහනවා තාත්තා කෝ කියලා. මට දෙන්න උත්තරයක් තිබුණේ නැහැ."

මෙම සිදු වීමෙන් පසු ගම්වැසියන් තමන්ට මුහුණ නොදුන් බවත් සමහරු ඇනුම් පද කියමින් තමන්ට මානසිකව හිංසා කළ බවත් සෙල්වම් රාණි පැවසුවාය.

අජන්තන් අත්අඩංගුවට පත්වීමේ පසුබිම:

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ වව්නතිව් පොලිස් මුරපොළ තුළදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඝාතනය කරනු ලැබූහ. ඒ, ඔවුන් දෙදෙනා රාත්‍රී රාජකාරියේ යෙදෙන අතරතුරය.

2018 නොවැම්බර් 29 වන දා වාර්තා වූ එම සිදුවීමෙන් පොලිස් කොස්තාපල් නිරෝෂන් ඉන්දික සහ දිනේෂ් අලගරත්නම් මිය ගිය අතර ඝාතකයින් ඔවුන් සතුව තිබූ රාජකාරී ගිනි අවි දෙකක් ද පැහැර ගෙන ගොස් තිබිණි.

ගාල්ල, උඩුගම පදිංචිව සිටි ඉන්දික 35 හැවිරිදි වියේ පසුවූ අතර, 28 හැවිරිදි අලගරත්නම් කල්මුණේ පදිංචිකරුවෙකු විය.

මෙම ඝාතන සිදු වීමට දින කිහිපයකට පෙර වව්නතිව් ප්‍රදේශයේ පැවැත්වීමට ගිය මහා වීර දින උත්සවයක් සම්බන්ධයෙන් පොලිසිය සහ එම උත්සවයේ සංවිධායකයින් අතර බහින්බස් වීමක් සිදුව තිබිණි.

'ඊට පළිගැනීමක් ලෙස අජන්තන් විසින් පොලිස් නිලධාරීන් ඝාතනයට ලක් කළ බවට සැක කරමින් ඔහු අත්අඩංගුවට ගන්නට ඇතැයි' ඔහුගේ පවුලේ සාමාජිකයෝ විශ්වාස කරති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අජන්තන් හෙවත් කදිරගාමර්තම්බි රාසකුමාරන් අත්අඩංගුවට ගනු ලැබුවේ 2018 නොවැම්බර් 30 වන දා ය.

එතැන් සිට රඳවා ගැනීමේ නියෝගයක් මත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

නමුත් අප්‍රේල් 21 වන දින බෝම්බ ප්‍රහාර එල්ල කළ කණ්ඩායමේ නායකයා වශයෙන් සැලකෙන හෂීම් සහ්රාන්ගේ රියැදුරා අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව වවුනතීව්හි පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට හෂීම් සහ්රාන්ගේ කණ්ඩායම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර

"මේක දැන ගත්තට පස්සේ මම ජනාධිපතිතුමාටත් ලිව්වා. දැන් අපි ඔක්කොම බලන් ඉන්නේ ඔහු ගෙදර එනකම්" සෙල්වම් රාණි පැවසුවාය.

කියවන්න :

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර